රට්ඨපාල ස්ථවිරගාථා වර්ණනාව
පස්සචිත්තීකතං යනාදී ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ගාථාවන්ය. මොහු වනාහි පදුමුත්තරස්ස පියුමතුරා බුදුන්ගේ පහළවීමට පෙරාතුවම හංසවතී නම් නගරයෙහි ගෘහපති මහාසාර කුලයක ඉපිද වැඩිවියට පත්ව පියාගේ ඇවෑමෙන් ගිහිගෙයි වසන්නේ, මාණික්ය ආදී වටිනා වස්තු ඇති භාණ්ඩාගාර පාලකයා විසින් පෙන්වන ලද ප්රමාණ රහිත වූ කුලවංසයෙන් පැවැත ආවා වූ ධනය දැක “මෙපමණ වූ මේ විශාල ධන රාශිය මගේ සීයා, මීමුත්තා ආදීහු පරලොව යන්නාහු අරගෙන නොගියාහ. මා විසින් වනාහි ඒවා රැගෙන යායුතුයැයි” සිතා දුගීමගී යාචකාදීන්ට මහදන් දුන්නේය. හෙතෙම අභිඤ්ඤාලාභී එක් තවුසකුට උපස්ථාන කළේ එයින් දෙව්ලොව යන මගට යොමු වූයේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙවියෙක්ව උපන්නේය. ඔහු ඒ දිව්යලෝකයෙහි දේවරාජ්යය කරවූයේ ආයු ඇතිතෙක් සිට එයින් චුතව බිඳුනු රටක් එක්තැන් කරන්නට සමත් වූ කුලගෙදරක එකම පුතාව උපන්නේය.
ඒ කාලයෙහි පදුමුත්තර බුදුන්වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දසක් පැවතුම් ඇත්තේ හික්මවිය යුතු සත්ත්වයන් නිර්වාණ නමැති මහා නගරය නම් වූ ආරක්ෂිත භූමියකට පත්කළේය. ඉක්බිති ඒ කුලපුත්රයා පිළිවෙලින් උගත්බවට පත්වූයේ එක් දිනක් උපාසකයන් සමග විහාරයට ගියේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනු දැක පහන්සිත් ඇත්තේ පිරිස් කෙළවර සිටියේය. එකල්හි භාග්යවතුන් වහන්සේ එක් භික්ෂුවක් ශ්රද්ධාවෙන් පැවිදි වූවන් අතර අගතැන්හි තැබුවේය. ඒ දැක හෙතෙම පහන් සිත් ඇත්තේ ඒ සඳහා ඇදීගිය සිත් ඇත්තේ දසදහසක් භික්ෂූන් පිරිවරා වැඩසිටි භාග්යවතුන් වහන්සේට මහත් ගරුසත්කාරයෙන් සත්දවසක් මහදන් පවත්වා ප්රාර්ථනා තැබීය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ ප්රාර්ථනය ඉටුවන බව දැක අනාගතයෙහි ගොතමස්ස ගෝතම නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්රද්ධාවෙන් පැවිදි වූවන් අතර අගතැන්පත් වන්නේයැයි විවරණ දුන් සේක. ඔහු බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් නමස්කාර කර අසුනින් නැගිට නික්ම ගියේය. ඔහු එහි දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මෙයින් දෙයානූවන කල්පයෙහි ඵුස්සස්ස ඵුස්ස බුදුන්ගේ කාලයෙහි රාජපුත්රයන් තුන්දෙනෙක් බුදුන්වහන්සේ උපස්ථාන කරන කල්හි ඔවුන්ගේ පිංකම්වලට සහාය විය.
මෙසේ ඒ ඒ භවයෙහි ඒ ඒ බොහෝ කුසල් රැස්කොට සුගතිවලම උපදින්නේ මේ බුදුන්ගේ කාලයේ කුරු රට්ඨෙ ථුල්ලකොට්ඨිත කුරුරට ථුල්ලකොට්ඨිත නම් නියම්ගමෙහි රට්ඨපාල සිටුවරයාගේ ගෙදර උපන්නේ රට්ඨපාල යයි පරම්පරා නාමයෙන් නම් තැබීය. ඔහු බොහෝ සැපසම්පතින් වැඩෙන්නේ පිළිවෙලින් තරුණ වියට පත්වූයේ මව්පියන් විසින් සුදුසු භාර්යාවක් ලබාදී බොහෝ වූ යසඉසුරෙහි පිහිටුවූයේ දෙව්සැප හා සමාන සැප අනුභව කරයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ කුරු රට්ඨෙ කුරු රටෙහි ජනපද චාරිකාවේ වඩින්නේ ථුල්ලකොට්ඨිතං ථුල්ලකොට්ඨිත ජනපදයට වැඩියේය. ඒ බව ඇසූ රට්ඨපාලො රට්ඨපාල කුලපුත්රයා බුදුන් වෙත පැමිණ බණ අසා ඇතිකරගත් ශ්රද්ධා ඇත්තේ දවස් හතක් ආහාර නොගෙන සිට ඉතා අමාරුවෙන් දෙමාපියන්ගේ අනුදැනුම ලබාගෙන බුදුන් වෙත පැමිණ බුදුන්ගේ අනුදැනීමෙන් වෙනත් තෙරනමක් ලඟ පැවිදිව යොනිසො මනසිකාරයෙන් කටයුතු කරන්නේ විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය. එබැවින් අපදාන පාලියෙහි මෙසේ කියා ඇත.
තාදී ගුණ ඇති ලෝකයට ශ්රේෂ්ඨ වූ පදුමුත්තර බුදුන්ට නගුලක් වැනි දළ ඇති හොඳට වැඩුණු උතුම් හස්තියෙකු මා විසින් දන් දෙන ලදී.
ස්වේතඡත්රය සහිත ඒ හස්තිරාජයා ඇතුළු සියල්ල මිලකොට සංඝාරාමයක් කරවූයෙමි.
මම පනස්හතර දාහක් වටිනා ප්රාසාදයක් කරවීමි. ඒවා භාග්යවතුන් වහන්සේට පූජා කළෙමි.
අග්ග පුද්ගල වූ මහාවීර වූ ස්වයංභූ වූ භාග්යවතුන් වහන්සේ සියළු ජනයා සතුටු කරවමින් ධර්මය දේශනා කළේය. පින් අනුමෝදන් කරවීය.
පදුමුත්තර නම් වූ ඒ බුදුන්වහන්සේ මට ඒ විවරණය දුන් සේක. භික්ෂු සංඝයා මැද සිට මේ ගාථාවන් වදාළහ. මම පනස් හතර දහසක් ප්රාසාද කරවීමි. එහි අනුසස් කියන්නෙමි. මා කියන්නක් අසන්න.
දහඅට දහසක් කුළුගෙවල් වන්නේය. පහළ වූවා වූ ඒ සියල්ල ස්වර්ණමය වන්නේය.
පනස්හතර දහසක් ප්රාසාදයන් මොහු විසින් කරවන ලදී. එහි විපාක ප්රකාශ කරන්නෙමි. ඒ වචනය අසව්.
පනස් වතාවක් ශක්ර දෙවෙන්ද්රව දේව රාජ්යය කරන්නේය. පනස් අට වතාවක් සක්විති රජ ද වන්නේය.
කල්ප ශතසහස්රයක් ගිය තැන ඔක්කාක කුලයෙහි පහළ වූ ගෞතම යන නමින් ශාස්තෲන් වහන්සේ නමක් ලොව පහල වන්නේය.
දෙව්ලොවින් චුතව මහා සැප සම්පත් ඇති උත්පත්තියෙන්ම පිරිසිදු වූ ධනවත් කුලයක පළමුව උපදින්නේය.
ඔහු පසුව ශාස්තෲ ශාසනයෙහි පැවිදිව රට්ඨපාල යන නමින් ප්රකට වන්නේය.
හෙතෙම උපශාන්ත වූයේ ප්රධන් වීර්යයෙන් යුක්ත වූයේ සියළු ආසවයන් ප්රහාණය කර රහත්බවට පත්වන්නේය.