අධිමුත්ත ස්ථවිරගාථා වර්ණනාව
විසිවන නිපාතයෙහි යඤ්ඤත්‍ථං යනාදී වූ ආයුෂ්මත් අධිමුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. උන්වහන්සේද පෙර බුදුවරයන් සමීපයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවවල පින් රැස් කරන්නේ අත්‍ථදස්සී බුදුන් කල පොහොසත් කුලයක ඉපිද ව්‍යක්ත බවට පත්ව බුදුන් පිරිනිවන්පෑ කල්හි භික්‍ෂු සංඝයාට උපස්ථාන කරන්නේ මහදන් පැවැත්වීය. ඔහු ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පත්ති කාලයෙහි ආයුෂ්මත් සංකිච්ච තෙරුන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අධිමුත්ත යැයි මොහුට නම් ලැබිණ. ඔහු වැඩිවිය පත්වූයේ තම මාමා වූ තෙරුන්වහන්සේ ලඟ පැවිදිව විදර්ශනා වඩන්නේ සාමණේර අවස්ථාවේදීම රහත් බවට පත්විය. එබැවින් අපදානයෙහි මෙසේ කියන ලදී.
ලෝකයට පිහිට වූ උතුම් අත්‍ථදස්සී බුදුන්වහන්සේ පිරිනිවන්පෑ කල්හි පහන් සිතින් භික්‍ෂු සංඝයාට උපස්ථාන කළේය.
ඍජු ගුණෝපේත වූ සමාහිත වූ සිත් ඇති සංඝරත්නයට ආරාධනාකොට මණ්ඩපයක් සාදවා උතුම් සංඝරත්නයට උක්ගස් වැළඳවීය.
යම් යම් දේව ආත්මයක හෝ මනුෂ්‍ය ආත්මයක උපදින්නෙම්ද මේ පින් බලයෙන්, සියළු සත්ත්වයන් පරදවා ඉදිරියෙන් සිටින්නෙමි.
එකල්හි කල්ප දහඅටක් යම් දානයක් දුන්නෙම්ද, දුගතියක නූපදින්නෙමි. ඒ මේ උක්ගස් දානයේ ඵලවිපාකයයි.
මා විසින් කෙලෙස් තවන ලදී. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි.
රහත්බවට පැමිණ සමාපත්ති සුවයෙන් කල්ගෙවන්නේ උපසපන් වනු කැමැත්තේ මවගෙන් විමසන්නෙමියි මව් සමීපයට යන්නේ අතරමගදී දේවතාවියකට බිලිපූජාවක් කිරීම සඳහා මස් සොයමින් ඇවිදින්නා වූ සොරුන් පන්සියයකට මුනගැසිණ. දේවතාවියට බිල්ලක් වේවායි ඔහුවද සොරු අල්ලා ගත්හ. සොරුන් විසින් අල්ලාගන්නා ලද නමුත් භය නැතිව තැති ගැන්මකින් තොරව ප්‍රසන්න මුහුණින් යුතුව සිටියේය. ඔහුව දැක පුදුමයට පත් සිත් ඇති සොරදෙටුවා ඔහුට ප්‍රශංසා වශයෙන්.
යඤ්ඤත්‍ථං වා ධනත්‍ථං වා යෙ හනාම මයං පුරෙ,
අවසෙ තං භයං හොති වෙධන්ති විලපන්ති ච.
තස්ස තෙ නත්‍ථි භිතත්තං භීය්‍යො වණ්ණො පසීදති,
කස්මා න පරිදෙවෙසි එවරූපෙ මහබ්භයෙ.
යනුවෙන් ගාථා දෙකක් පැවසීය. එහි යඤ්ඤත්‍ථං යනු යාගය පිණිස දෙවියන්ට බලි පූජාවක් කිරීම සඳහා යන අර්ථයි. ‘වා’ ශබ්දය විකල්ප අර්ථය සඳහාය. ධනත්‍ථං යනු සන්තක සියළු දේ පැහැරගැනීම සඳහාය. යෙ හනාම මයං පුරෙ සියළු දේ පැහැරගැනීම සඳහා. යෙ හනාම මයං පුරෙ යනු අපි පෙර යම් යම් සත්ත්වයන් ඝාතනය කෙළෙමුද යනුවෙන් අතීත අර්ථයෙහි වර්තමාන ක්‍රියාපදය යෙදීය. අවසෙ යනු ඉතිරි නොකොට, තං යනු ඔවුන්ගේ අවසෙස යැයිද පාඨයක් ඇත. අප විසින් අල්ලාගත් පසු එකකු හැර ඉතිරි අයට, අයං එව වා යනුවෙන් ද පාඨයක් ඇත. භයං හොති යනු මරණ භයයි. යම්හෙයකින් ඔව්හු කම්පාවෙත්ද, වැළපෙත්ද, සිතෙහි බිය නිසා කම්පාවෙත්ද ස්වාමීනි! නුඹලාට මේ මේ දේ දෙන්නෙමු. දාසබවට පත්වන්නෙමු ආදිය කියමින් වැළපෙත්.
තස්සතෙ යනු යම් ඒ නුඹ වනාහි අප විසින් දේවතාවියට බිලිදීම සඳහා මරණයට පත්කිරීමට ඔසවන ලද කඩු දැක බියට පත්වූයේ තැති ගනී. භීතං යනු බියසුළු බව. භයවෙත් යනු අර්ථයි. භීය්‍යොවණ්ණො පසීදති යනු ප්‍රකෘති වර්ණයටත් වඩා වැඩියෙන් තාගේ මුහුණෙහි පැහැය බබලයි. ඉදින් මොවුන් මා දැන්ම මරන්නේ නම් උපාදාන රහිතව පිරිනිවන් පාන්නෙමි. දුක් සමූහය බැහැර යන්නේ යැයි විශාල සොම්නසක් ඒ තෙරුන්ට ඇතිවිය. එවරූපෙ මහබ්භයෙ යනු මෙබඳු මහත් වූ මරණ බියක් එළඹි කල්හි හේත්‍වර්ථයෙහි මේ ආධාර වචනයයි.
දැන් තෙරුන් වහන්සේ සොරදෙටුවාට පිළිතුරු දීමේ ස්වරූපයෙන් බණ කියන්නේ.
නත්‍ථි චෙතසිකං දුක්‍ඛං අනපෙක්‍ඛස්ස ගාමණී,
අතික්කන්තං භයා සබ්බෙ ඛීන සංයොජනස්ස චෙ.
ඛීණාය භවනෙත්තියා දිට්ඨෙධම්මෙ යථා තථෙ,
නභයං මරණෙ හොති භාරනික්‍ඛෙපණෙ යථා.
සුචිණ්ණං බ්‍රහ්මචරියං මෙ මග්ගෙචාපි සුභාවිනො,
මරණෙ මෙ භයං නත්‍ථි රොගනමිව සංඛයෙ.
සුචිණ්ණං බ්‍රහ්මචරියං මෙ මග්ගෙචාපි සුභාවිනො,
නිරස්සාදා භවා දිට්ඨා විසං පීත්‍වාව ඡඩ්ඩිතං.
පාරගු අනුපාදානො කත කිච්චො අනාසවො,
තුට්ඨො ආයුක්‍ඛයා හොති මුත්තො ආඝාතනා යථා.
උත්තමං ධම්මතං පත්තො සබ්බලොකෙ අනත්‍ථිකො,
අදිත්තාච ඝරාමුත්තො මරණස්මිං න සොචති.
යදත්‍ථි සංගතං කිඤ්චි භවො වා යත්‍ථ ලබ්භති,
සබ්බං අනිස්සරං එතං ඉතිවුත්තං මහෙසිනා.
යො තං තථා පජානාති යථා බුද්ධෙන දෙසිතං,
න ගණ්හාති භවං කිඤ්චි සුත්තතංච අයොගුලං.
න මෙ හොති අහොසින්ති භවිස්සන්ති න හොතිමෙ,
සංඛාරා විගමිස්සන්ති තත්‍ථ කා පරිදෙවනා.
සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සන්තතිං,
පස්සන්තස්ස යථාභූතං නභයං හොති ගාමණී.
තිණකට්ඨසමං ලොකං යදා පඤ්ඤාය පස්සති,
මමත්තං සො අසංවින්‍දං නත්‍ථි මෙති න සොචති.
උක්කණ්ඨාමි සරීරෙන භවෙනාම්හි අනත්‍ථිකො,
සොයං භිජ්ජස්සති කායො අඤ්ඤොච න භවිස්සති.
යං වො කිච්චං සරීරෙන තං කරොථ යදිච්ඡථ,
න මෙ තප්පච්චයා තත්‍ථ දොසො පෙමඤ්ච හෙහිතී ති.
මේ ගාථා ප්‍රකාශ කරන ලදී.
ඔහුගේ පුදුම සහගත ලොමුදැහැගන්වන වචනය අසා ආයුධ පසෙක දමා ඒ මානවකයෝ මෙය කීවාහ.