ගෝධික ස්ථවිරගාථා වර්ණනාව
“වස්සති දෙවො” යනාදී ගාථා සතර ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය යන මේ සතර තෙරවරුන්ගේ ගාථාවෝ ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? මොවුහු සිව් තෙරවරු ම පූර්ව බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයෙහි දී අපමණ පුණ්යසම්පත්තීන් රැස්කරගෙන, මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙවල්වල උපන්හ. වියපත් ඒ සතර දෙන ඔවුනොවුන් යහළු මිත්‍ර ව එකට හැසිරුණහ. ඔවුන්ගෙන් එක් අයෙක් සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක සැන්දක් පුරවා භික්ෂාව පිළිගැන්වීය. දෙවැන්නා පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දේය. වැඳ ඇඳිලිබැඳගෙන සිටියේ ය. තෙවැන්නා පහන් සිතින් එක් මල් මිටකින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේය. සිවුවැන්නා සමන් මලින් බුදුරදුන් පිදුවේය. මෙසේ ඒ සිවු දෙනම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සිත පහදවා රැස් කරගත් ඒ පුණ්යරාශියේ විපාක වශයෙන් දෙව් ලොව උපන්හ. පසුව ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස් කරගත් ඔවුහු දෙව් මිනිසුන් අතර සැරි සරා, කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි සිටු කුලයේ ඉපිද, එක්වම ගොස් පැවිදිව මහණදම් පිරූහ. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි මල්ල රජවරු සිවුදෙනෙකුගේ පුතුන් ව ඉපදුණු ඔවුහු, ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය නාමයෙන් ප්‍රකට වූහ. ඔවුනොවුන් දැඩිසේ මිත්‍රව විසූ ඒ සතර දෙන කිසියම් කටයුත්තකට කපිලවස්තුවට ගියහ. එ සමයේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට වැඩමවා නිග්‍රෝධාරාමයේ වැඩ වසමින්, යමක මහා ප්රාතිහාර්ය දක්වා සුදොවුන් ප්රමුඛ ශාක්‍ය රාජ කුල රජදරුවෝ දමනය කළසේක. එ දින මල්ල රජදරුවෝ සතර දෙන එම ප්රාතිහාර්ය දැකීමෙන් ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි ව විදසුන් කර්මස්ථාන වඩන්නාහු නොබෝ කලකින් ම සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලබාගත්හ. එම තෙරවරු සිවුදෙන තම චරිතාපදාන මෙසේ දැක්වූහ -
“මම රන්වන් වූ ලෝකයාගේ පූජාවන් ලබන්නා වූ පූජාවන්ට ගෙයක් වැනි වූ වන ලැහැබින් නික්මුණු තණ්හාව ක්ෂය කර, ප්‍රඥාවෙන් උපශාන්ත වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
තාදී ගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේට මම සැන්දක් පමණ භික්ෂාව පිදුවෙමි.
සූර්ය්ය බන්ධු වූ බුදුරජාණන් වහන්සේ පියවරින් පියවර ලුහුබැඳ යන මහජනකාය දහම් වැස්සෙන් නිවන කල් හි මට මහත් වූ ප්‍රීතියක් ඇතිවිය.
මීට කල්ප අනූ හතරකට පෙර යම් දානයක් පූජා කළෙම් ද මේ දක්වා ම දුගතියෙහි නූපන්නෙමි. භික්ෂාදානයේ විපාකය මෙවැනිය.
මෙයින් කල්ප අසූ හතකට පෙර සත්රුවනින් හෙබි මහාරේණු නම් සක්විති රජවරු සත් දෙනෙක්ව උපන්නෙමි.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මේ ගෝධික ථේර චරිතාපදානයයි.
1.6.2
“රන්වන් වූ ශරීර ඇති උතුම් ආජානීයයකු වැනි ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමද ගලිත මාතංග නම් ඇත් කුලයේ උපන් ශ්‍රේෂ්ඨ ඇත් රජෙකු බඳු වූ මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිශා බබුළුවන ලෝක ජ්‍යෙෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දුටු මම, ඒ උතුමන් වහන්සේගේ නුවණෙහි සිත පහදවා, ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දෙමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර කරන ලද ඒ පින්කමේ බලයෙන් මේ දක්වා මම දුගතියකට නොගියෙමි. බුද්ධ ඥානය වන්දනා කිරීමේ විපාකය එබඳුය.
මෙයින් කල්ප සැත්තෑ තුනකට පෙර සත් රුවනින් හෙබී, මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ සක්විති රජවරු දාසය දෙනෙක් ව මම උපන්නෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.
මේ සුබාහු ථේර චරිතාපදානයයි.
1.6.3
“එකල්හි මම තිවරා නුවර වෙසෙන මල් කරුවෙක් වූයෙමි. පහවූ කෙලෙස් ඇති ලෝකනායක වූ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ මහ මඟ වැඩම කරනු දුටු මම, පහන් සිතින්, සතුටු වූයෙම් උපුල් මල් මිටකින් උන්වහන්සේ පිදුවෙමි.
දැන් ඒ මම යහපත් වූ මල්ල රජවරු පිරිවරාගෙන පෙර තමා කළ පින්කමෙහි ඉෂ්ට විපාක විඳින්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.