නිදානගාථා වර්ණනාව
මෙසේ වෙන් කර දැක්වූ ප්‍රමාණ අනුව මේ ග්‍රන්‍ථ දෙකින් ථෙරගාථාව මූලික වේ. පළමු කෘතියයි. එහිද :-
“සීහානං ව නදත්තානං - දාඨිනං ගිරිගබ්භරෙ
සුණාථ භාවිතත්තානං - ගාථා අත්තූපනායිකා”
යන මේ ගාථාව පළමු මහා සංගීති අවස්ථාවෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් ඒ තෙරවරුන්ට ස්තූති කිරීම් වශයෙන් දෙසූ පළමු ගාථාවයි. එහි “සීහානං” යනු සිංහයන්ගේ “සීහ” ශබ්දය “මහණෙනි! මෘගයන්ගේ රජ වූ සිංහයා” (සීහො භික්ඛවෙ මිගරාජා) යන තැන්හි සිංහයාට යෙදුණි. “ඉක්බිති සීහ සෙන්පතියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය” යනාදියෙහි ප්‍රඥප්ති නාමයකැයි දත යුතුයි. පුද්ගලයෙකුගේ නමකි. “මහණෙනි! “සීහ” යනු තථාගත වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට යෙදෙන තවත් නාමයකි. (අධිවචනං) යනාදී තැන්හි තථාගතයන්ට ම යෙදී ඇත. තථාගතයන්ට සිංහයාට සමාන ඉරියවු පැවතුම් ඇත. මෙසේ මෙහිදී ද සමාන වූ පැවතුම් ඇතිවීම් වශයෙන් යෙදුණු බව දත යුතුයි. එනිසා “සීහානංව” යනුවේ. සීහානං+ඉව යන දෙපදය සන්‍ධිවීමේදී පරස්වරය ලොප් වේ. “එවංස තෙ” යනාදියෙහි මෙනි. මෙහි “ඉව” යනු නිපාත පදයකි. “සුණාථ” යනු ආඛ්‍යාත (ක්‍රියා) පදයකි. සෙසු පද නාම පද වේ. සීහානං (සිංහයන්ගේ) යනු සම්බන්‍ධාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මෙහි ඒකාන්තයෙන් සම්බන්ධය ද ස්වරූප වශයෙන් නොකියන ලදී. අර්ථ වශයෙන්ම කියන ලද්දේය. යම්සේ “ඔට්ඨස්සෙව මුඛං එතස්ස” යන තැන්හි “ඔට්ඨස්ස” යැයි පැවසු විට “ඕට්ඨ ස්ස මුඛං විය මුඛං එතස්ස” (ඔටුවාගේ මුව මෙන් මොහුගේ මුව වේ) යන මේ අර්ථයම කියන ලදී. එසේම මෙහිද “සීහානංව” (සිංහයන් මෙන්) යැයි පැවසු විට, “සීහානං නාදො විය” (සිංහයන්ගේ නාදය මෙන්) යැයි අර්ථ ගත යුතුයි. එහි “මුඛ” ශබ්දය සමීප කිරීම් අර්ථයෙහි වේ. මෙහිද “නදන්තානං” (නද දෙන) පද සන්නිධානයකි. පද සමීප කිරීමකි. එනිසා “සීහානංව” යන පදය මෙහි නිදසුන් පදයකි. “නදන්තානං” යනුවෙන් ඒ නිදර්ශනය කළ දෙයෙහි සබඳතාව දක්වන ලදී. “දාඨිනං” යනු එයට යෙදුණු විශේෂණයකි.
“ගිරිගබ්භරෙ” යනු ඒ සිංහයන් සිටින තැන දැක්වීමකි. “සුණාථ” යනු ඇසීමෙහි යෙදවීමයි. “භාවිතත්තානං” යනු ඇසිය යුත්තාගේ ලක්‍ෂණ ප්‍රභාව දැක්වීමයි. “ගාථා” යනු ඇසිය යුතු වස්තුව, කාරණය දැක්වීමයි. “අත්තූපනායිකා” යනු එහි විශේෂණ දැක්වීමකි. කැමති නම් මෙහි “දළ ඇති නද දෙන සිංහයන්ගේ” යනුවෙන් පුරුෂ ලිංගයෙන් ඇති පදවල ලිංගය වෙනස් කර, “සිංහ ධේනුන්ගේ” (සීහීනං) ආදී ලෙස ස්ත්‍රී ලිංග වශයෙන් ද අර්ථ කිව යුතුයි. ඒක ශේෂ වශයෙන් හෝ අර්ථ ගත යුතුයි. සිංහයෝ ද සිංහ ධේනුහු ද සිංහයෝම ය. ඔවුහු දෙපිරිසම “සීහ” (සිංහ) නාමයෙන් ගැනීම සාධාරණය. එබැවින් මේ නිදාන ගාථා තුන ථෙරගාථාවන්ට ද ථෙරී ගාථාවන්ට ද සාධාරණම වේ.
එහි ඉවසීම් වශයෙන් ද (සහනතො) නැසීම්, වැනසීම්, වශයෙන් ද (හනනතො) “සීහ” නම් වේ. මෘගයන්ගේ රජ වූ සිංහයාගේ විශේෂ බලය යෙදීම් ආදී උපද්‍රව ද ඔහු ඉවසන්නේ මය. ගොදුරු පිණිස යන්නේ ද තේජස් බලයෙන් මත් වූ ගන්‍ධ හස්තීන්, වන මී මුන් ආදීන් වෙත පැමිණ නිර්භය බැවින් හා තැති නොගැනීමෙන් ඔවුන් අභි භවනය කරයි. එසේ මැඩ පවත්වමින් ඔවුන් ඒකාන්තයෙන් මරා, මෘදු මස් කා සුවසේ වෙසෙයි. මේ අයුරින්ම රහතන් වහන්සේලා ද ආර්ය බල විශේෂයක් යෙදීමෙන් සියල්ලන්ගෙන්ම වන උපද්‍රව ඉවසන සේක්, රාගා දී කෙලෙස් ධර්මයන් මැඩ පවත්වා, ඉවසන සේක් - දුරු කළ සේක් පිරුණු තේජසින් කවරෙකු කෙරෙහි වුවත් නිර්භයව, තැති නොගෙන ධ්‍යානාදී සුවයෙන් වෙසෙන සේක්, ඉවසීමෙන් ද නැසීමෙන් ද සිංහයන් මෙන් වූවාහු “සිංහයෝ” (සීහා) නම් වෙති. ශබ්දාර්ථ වශයෙන් යම් සේ “කන්තන” අර්ථයෙන් මුල - අග විපර්යාස වීමෙන් “තක්ක” යැයි කියනු ලැබේද, එසේම “හිංසන” අර්ථයෙන් “සීහො” යැයි පද සිද්ධ වූ බව දත යුතුයි. එසේම “සහන” අර්ථයෙන් ද “සිහො” නම් වේ. සෝදරාදී ප්‍රතික්‍ෂේප කරන නිරුක්ති න්‍යාය අනුව කියනු ලබන කල්හි, කිව යුත්තක් නැත්තේමය.
නැතහොත් මෘගරාජ වූ කේසර සිංහයා තමාගේ පිරුණු තේජස් බල මහිමය නිසා තනිව හැසිරෙමින් වාසය කරයි ද කිසිම සහායයෙකු (දෙවැනියකු) අපේක්ෂා නොකරයි ද, මෙලෙසින්ම පිරුණු තේජස් බල මහිම නිසාත් විවේකයෙහි ඇලුණු නිසාත් හුදෙකලාව - “තනිව හැසිරේ” යන අර්ථයෙනුත් සිංහයන් මෙනැයි රහතන් වහන්සේලා “සීහ” නම් වෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සීහංවෙකචරං නාගං” (සිංහයෙකු මෙන් ඇතෙකුමෙන් තනිව හැසිරෙන) යනුවෙන්.
නැතහොත් තැති නොගන්නා ජව පරාක්‍රමාධි විශේෂ බල මහිමයෙන් සිංහයන් මෙන් වූ යන අර්ථයෙන් මේ මහතෙරවරු “සිහ” නම් වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළහ.
“මහණෙනි! මෙලොව දෙදෙනෙක් හෙන ගසද්දී තැති නොගනිති. කවර දෙදෙනෙක් ද? රහතන් වහන්සේ සහ මෘග රාජ වූ සිංහයා යන දෙදෙනයි.”
සිංහයා ජවයෙන් ද එසේම පරාක්‍රමයෙන් ද (වේගවත්බව, උත්සාහය) අන් සතුන් අභිබවා සිටියි. එසේම සිංහයා උසභ සීයක් (උසභයක් යනු රියන් 140කි.) වුවත් පැන, වන මීමුන් මත වැටෙයි. පනිනුයේත් මඳ වැගිරෙන උතුම් මහා ඇතුන්ගේ හිසට පැන කුම්භස්ථලය බිඳ දන්ත කළීර මාංසය කයි. මේ රහතන් වහන්සේ ද ආර්ය මාර්ග ජවයෙන් ද සෘද්ධිමය ජවයෙන් ද අන්‍යයන් හා අසමාන වෙති. සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද අන්‍යයන් අභිබවා සිටිති. එනිසා “සීහානංවා” යනුවෙන් සිංහයන් හා සමාන වූවෝ වෙති. මෙහිදී සිංහයාට සම කළ හැකි අනිකකු නොසිටින බව දත යුතුයි. අතිශයින් විශිෂ්ඨ වූ ඉවසීම් ආදී අර්ථාදිය රහතන් වහන්සේ තුලම දක්නට ලැබෙන බැවින්, උන්වහන්සේ සිංහයාට සමාන වෙති.
“තදන්තානං” යනු ගර්ජනය කරන්නා වූ, නද දෙන, ගොදුරු පිණිස යෑම, පරාක්‍රමය, සතුට, දොළදුක් ආදියෙහි දී සිංහයෝ තමා වසන තැනින් නික්මවුත් කිළිපොලා සිංහ නාදය නම් වූ අභීත නාදය පවත්වති. එසේම රහතන් වහන්සේ ද ආධ්‍යාත්මික අරමුණු, ප්‍රත්‍යවේක්‍ෂණ, ප්‍රීති වාක්‍ය පහළ කිරීම් ආදියෙහි දී මේ අභීත වූ නාදය පවත්වති. එනිසා “සිංහයන් මෙන් නද දෙන” යැයි කියන ලදී. “දාඨිනං” යනු දළ ඇත්තවුන් අතර ප්‍රශස්ත වූ විශේෂ දළ ඇත්තා වූ, උසස් දළ ඇත්තාවූ යන අර්ථයි. යම්සේ සිංහයෝ අතිශය දැඩි වූ තියුණු වූ සතර දළයන්ගේ බලයෙන් ප්‍රතිවිරුද්ධ වූවන් මැඩලා, සිය මනදොළ පුරවා ගන්නාක් මෙන් සතරක් වූ ආර්ය මාර්ග නම් දළයන්ගේ බලයෙන් ඇරඹුමක් නැති සංසාරයෙහි පෙර මැඩලීමට නොහැකි වූ කෙළෙස් සතුරන් නසා, සිය මනදොළ (ප්‍රාර්ථනාව) ඉටු කරගන්නා රහතන් වහන්සේ දැකිය යුතුයි. මෙහි “දළ මෙන්” (දාඨා විය) යන තැන්හි “දාඨා” යන්නේ පරිසංකල්පනා වශයෙන්ම අර්ථ දත යුතුයි.