මෙබඳු ගුණ විභූතියක් යම් යහපත් ප්‍රතිපදාවක නියැලීමෙන් ඒ මහ තෙරවරුන් විසින් අවබෝධ කරන ලද්දේ ද එය දැක්වීමට “ඒ ඒ තැන විදසුන් වඩා (තත්‍ථ තත්‍ථවිපස්සිත්‍ථා....) යනාදී ගාථාව දැක්විණි. “තත්‍ථ තත්‍ථ” ඒ ඒ අරණ්‍ය - රුක්මුල් - පර්වතාදියේ විවේකී සෙනසුන්වල නැතහොත් “තත්‍ථ තත්‍ථ” යනු ඒ ඒ ප්‍රීති වාක්‍ය (උදාන) පහළ කිරීමට පෙර කාලයෙහි “විපස්සිත්‍ථා” යන විමසා බලා නාමරූප ව්‍යවස්ථා කිරීම්, ප්‍රත්‍යවේක්‍ෂාදියෙන් දෘෂ්ටි විශුද්ධිය, කංඛාවිතරණි විශුද්ධිය සම්පාදනය කොට, කලාප සිහි කිරීම් ආදී වශයෙන් විදර්ශනාව උත්සාහ ගන්වා “ඵුසිත්‍වා” යනු පැමිණ, සාක්‍ෂාත් කර “අච්චුතං පදං” යන නිවණයි. එහි තමාම අනිර්වචනීය ධර්මතාව අවබෝධ කළ උතුමන්ගේ නූපදින හේතු - නොමැරෙන හේතු දැක්වීමයි. “මෙහි චුතුවීමක් නැත” (නත්‍ථි එත්‍ථි චුතී) යනු “අච්චුතං” (නිවණයි) සංඛත ධර්මයන් සමග අමිශ්‍ර බව දැක්වීම පිණිස ද එය කැමැත්තන් විසින් පිළිපැදිය යුතු බව දැක්වීම පිණිස ද “පදං” යැයි කියයි. “කතන්තං” යනු කල යුත්තෙහි කෙළවර, යම් ඒ ආර්ය මාර්ගයක් ඒ තෙරවරුන් විසින් තමාගේම උත්සාහයෙන් උපදවන ලද ද එය “කරන ලද” (කතො) නම් වේ. ඒ ආර්ය මාර්ගයේ අවසාන වූ ඵලයට පැමිණියේය යන අර්ථයයි. එසේ අවසන් කරන ලද අග්‍ර ඵලයේ ඇති. නැතහොත් හේතු ප්‍රත්‍යයන් විසින් කරන ලද, නිපදවන ලද බැවින් සංඛත ධර්මයෝ “කත” නම් වෙති. එහි නික්මීම - සිඳ දැමීම කරන ලද බැවින් “කතන්තො” යනු නිවණයි. ඒ නිවණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ “මවිසින් ආර්ය මාර්ගය අවබෝධ කෙළෙමි” යනුවෙන් ආර්ය ඵල නිවන් විමුක්ති ඤාණ දර්ශනයෙන් ප්‍රතිපත්තිය සිහිපත් කර බලමින්. නැතහොත් සත්‍යාවබෝධ කිරීම් වශයෙන් යමක් ආර්යයන් විසින් නොකළ යුතු විශේෂයෙන් දැන ගැනීම් (පරිඤ්ඤා) ආදී දොළොස් වැදෑරුම් කෘත්‍ය (කටයුතු) අග්‍ර ඵලයෙහි සිටියහු විසින් නිපදවන ලද බැවින් ද පර්යේෂණ කොට සොයා ගත් බැවින් ද “කතං” (කරන ලද) නම් වේ. මෙසේ නිවණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ මෙයින් තමාම ප්‍රහීණ කරන ලද කෙළෙස් පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂාව දක්වන ලදි. පූර්ව න්‍යාය අනුව අනික් ප්‍රත්‍යවේක්‍ෂාවෝ යි “ප්‍රත්‍යවේක්‍ෂා දහ නවයක්” දක්වන ලද්දේ වේ.
“ඉමමත්‍ථං” යන මෙහි ‘ඉමං’ යනු “සියලු ථෙරථෙරී ගාථා” යන අර්ථයයි. තමාගේ ද සෙසු එහි රැස් වූ ධර්ම සංග්‍රාහක මහ තෙරවරුන්ගේ ද බුද්ධිය පෙරලා දමනු ලැබීමට ආසන්න වූ ප්‍රත්‍යක්‍ෂවීම් ඇතැයි කියන ලදි. “අත්‍ථං” යනු “මාගේ කුටිය සෙවිලි කරන ලදි” යනාදී ගාථාවලින් කියනු ලබන තමා පිළිබඳව වූත්, අනුන් පිළිබඳව වූත් ලෞකික - ලෝකෝත්තර කරුණු ප්‍රතිසංයුක්ත වූ අර්ථයයි. තේරුමයි. “අභාසිංසු” යනු ගාථා බැඳීම් වශයෙන් වදාළහ. එම ගාථා ප්‍රකටව දක්වමින් “මේ මවිසින් කියනු ලබන ඒ වඩන ලද සිත් ඇති මහ තෙරවරුන්ගේ තමා පිළිබඳව පැවසෙන ගාථා අසවු” යන අර්ථ යෝජනාවයි. ඒ මහ තෙරවරු ද මෙසේ දේශනා කරමින්, තමාගේ යහපත් පිළිවෙත් පැවසෙන ගාථාවලින් ශාසනයේ ඒකාන්ත නෛර්‍ය්‍යාණික බව දැක්වීමෙන්, අන්‍යයන් ද ඒ යහපත් පිළිවෙතෙහි යොදවමින් මේ අර්ථ දක්වයි. ආයුෂ්මත් ධර්ම භාණ්ඩාගාරික තෙරණුවෝ මෙසේ ගෙනහැර දක්වමින්, මෙම ගාථාවලින් ඒ මහතෙරවරුන්ට ස්තුති කිරීම් ද උන්වහන්සේලාගේ එම වදන්හි නිදාන භාවය ප්‍රකටවම උඩුකුරු කර දක්වන්නේ යැයි ද දත යුතුයි.
නිදාන ගාථා වර්ණනාව නිමියේය.
1. ඒකකනිපාතය
ප්‍රථම වර්‍ගය
සුභූති ස්ථවිරගාථා වර්ණනාව
දැන් “ඡන්නා මෙ කුටිකා” යනාදී වශයෙන් පවතින ථෙරගාථාවන්ගේ අර්ථවර්ණනාව දැක්වේ. ඒ මේ අර්ථ වර්ණනාව ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්තිය පවසා, අනතුරුව දක්වනු ලබන්නේ නම් අර්ථය ඉතා ප්‍රකට වේ. ධර්ම කරුණු දැනගත හැකි ද වේ. එනිසා ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්ති දක්වා පසුව අර්ථවර්ණනාව කරන්නෙමි.
“එහි ජන්නා මෙකුටිකා” යන ගාථාවෙහි උපත කෙසේවීද? කියනු ලැබේ. මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ නොවූ කල්හිම හංසවතී නම් නුවර එක්තරා බමුණු මහසල් කුලයක එක් පුතෙක් ඉපදුණි. ඔහුට “නන්ද මාණව” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ ත්‍රිවිද්‍යා උගෙන, එහි සාරයක් (අර්ථයක්) නොදැක, තමාගේ පිරිවර වූ සතලිස් සතර දාහක් තරුණයන් සමග පර්වතයක් පාමුල සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අට සමවත් උපදවා, පංච අභිඤ්ඤාවන් ද ලබා ගත්හ. අතවැසි ආදීන්ට ද කමටහන් ප්‍රකාශ කරන අතර ඔවුහු ද නොබෝ දිනකින් ම ධ්‍යාන ලාභීහු වූහ.
මේ කාලයේදී පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක්, හංසවතී නුවර ඇසුරු කරමින් වාසය කරන සේක්. එක් දිනක් අළුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්, නන්ද තාපසයාගේ අතවැසි ජටිලයන් රහත්වන බව ද නන්ද තාපසයාගේ අංග දෙකකින් යුක්ත ශ්‍රාවක තනතුරකට කරන ප්‍රාර්ථනාව ද දැක උදෑසනම සිරුර පිළිදැගුම් කොට නිමවා පෙරවරු සමයෙහි පා සිවුරු ගෙන අන් කිසි භික්‍ෂුවක් නො කැඳවා සිංහයෙකු මෙන් හුදෙකලාව, නන්ද තාපසයාගේ අතවැසියන් ඵල ඵල්ලව ගෙන ඒමට ගිය කල්හි “මාගේ බුද්ධ භාවය දැන ගනීවා” යි පෙනෙමින් ම අහසින් බැස නන්ද තාපසයා ඉදිරියේ පොළොවෙහි සිටි සේක. නන්ද තාපසයා බුද්ධානුභාවයත් එමෙන්ම පිරිපුන් ලක්‍ෂණ සම්පත්තියත් දැක, ලක්‍ෂණ ශාස්ත්‍රය සිහිපත් කර බලා “මේ ශරීර ලක්‍ෂණවලින් යුතු තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජ කෙනෙක් වේ. පැවිදි වුවහොත් ලොව ඇලීම ඉවත් කළ (බැහැර ලූ) සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නමක් වේ. මේ උත්කෘෂ්ඨ පුද්ගල තෙම අනිවාර්යයෙන්ම (නිසැකවම) බුදුවරයෙකි”යි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩ සිටි සේක. නන්ද තාපසයා ද තමාට යෝග්‍ය වූ අසුනක් ගෙන එකත් පසෙක සිටියේය.