9. මාගන්දිය සූත්‍ර වර්ණනාව
දිස්වාන තණ්හං යනු මාගන්‍දිය සූත්‍රයයි. මෙම සූත්‍රයට අදාල කථා පුවත කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසද්දී අළුයම බුදු ඇසින් ලොව බලමින්, කුරු රට කම්මාසදම්ම නියම්ගමෙහි වසන මාගන්දිය නම් බමුණාත්, බැමිණියත් රහත්පල ලැබීමට හේතු සම්පත් ඇති බව දැක, එකෙණෙහිම සැවැත්නුවරින් එහි ගොස්, එම නියම්ගම අසල, එක්තරා වන ලැහැබක හිඳ රන්පැහැ ආලෝකයක් මුදාහළහ. මාගන්දිය බමුණාද එහි මුව දෝවනය පිණිස ගියේ ඒ රන්පැහැ ආලෝකය දැක, ‘මේ කුමක්දැ’යි වටපිට බලනවිට, භාග්‍යවතුන් වහන්සේ දැක සතුටට පත්විය. ඔහුගේ දියණිය රන්පැහැ ඇත්තීය. ඇය බොහෝ කැත්කුල කුමාරවරුන් ආදීන් වළකනු ලබන බැවින්, (සුදුසු කෙනෙකු) නො ලබන්නීය. මාගන්දිය බමුණා ඇය, රන්පැහැ සමණයෙකුටම දෙමි යන අදහස තිබුණි. ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක, ‘මොහු මගේ දුවගේ සමාන පැහැය ඇත. මොහුට ඇය (පාවා) දෙමි’යි සිතුවේය. එහෙයින් දුටු පමණින්ම සතුටට පත්විය. ඔහු වහා නිවසට ගොස්, ‘සොඳුර, සොඳුර, මා දුවගේ සමාන පැහැ ඇති පිරිමියෙක් දක්නා ලදී. දැරිය සරසව, ඔහුට ඇය දෙමු’යි බැමිණියට කීවේය. බැමිණිය, දැරිය සුවඳ දියෙන් නාවා ඇඳුම්, මල් සැරසීම් ආදියෙන් අලංකාර කරන අතරම, භාග්‍යවතුන් වහන්සේට පිඬු පිණිස කාලයද පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ කම්මාසදම්ම ගමෙහි පිඬු පිණිස වැඩියහ. ඒ දෙදෙනාම දියණිය සමග භාග්‍යවතුන් වහන්සේ සිටි දෙසට ගියහ. එහිදී උන්වහන්සේ නොදුටු බැමිණිය, වටපිට බලන්නී, වැඩසිටි තණ ඇතිරිය දුටුවාය. බුදු අදිටන් බලෙන් වැඩසිටි තැන පා සටහනද පැහැදිලිව තිබුණි. ‘බමුණ, මේ හිඳ සිටි තණ ඇතිරිය’ යැයි බැමිණිය කීවාය. ‘එසේය සොඳුරිය, එසේනම්, බමුණා අප පැමිණි අරමුණ ඉටු නො වන්නේ ය’, ‘කුමක් නිසාද, සොඳුරිය?’, ‘බමුණ, තණ ඇතිරිය තැලී-පොඩිවී නැත, කාමය මඬනා ලද කෙනෙකු පරිහරණය කර ඇතැ’යි කීවාය. බමුණාද, සොඳුර, යහපත සොයද්දී අවකැපෙන දේ නොකියව’යි කීය. නැවත ද, බැමිණිය වටපිට බලන්නී, භාග්‍යවතුන් වහන්සේගේ පා සටහන දැක, ‘බමුණ, බලන්න, පා සටහන, මේ තැනැත්තා කාමයන්හි ගැලුනේ නොවේ’ යැයි කීවාය. ‘සොඳුර, ඔබ කෙසේ දන්නෙහිදැ’යි විමසූවිට, තම දැනුමෙහි බලය පෙන්වමින්, -
‘රාගී තැනැත්තාගේ පාදය තදින් බිම වැද, මැද වක්වී ඇත, නපුරු තැනැත්තාගේ පාදය බිම ඇදී ගොස් ඇත, මුළාවූ (අනුවණ) තැනැත්තකුගේ පාදය තදින් බිම හෑරී ඇත. මේ පා සලකුණ රාගාදී දොස් සිඳලූ තැනැත්තකුගේය.’ යැයි කීවේය.
භාග්‍යවතුන් වහන්සේ වළඳා ඒ වන ලැහැබට පැමිණෙද්දී ඔවුන්ගේ කතාබහ අඩාල විය. බැමිණිය, උතුම් ලකුණින් යුතු, බඹයක් පමණ රැස් වලල්ලකින් වටකරන ලද භාග්‍යවතුන් වහන්සේගේ රුව දැක, ‘බමුණ, ඔබ දුටුවේ මොහුදැ’යි ඇසුවාය. ‘සොඳුරිය, එසේය’ ‘එසේනම්, බලාපොරොත්තුව පැමිණි කරුණ ඉටු නොවන්නේය. මෙබඳු තැනැත්තන් කම්සුව වැළඳීම නම් සිදුවිය නොහැකි දෙයකැ’යි බැමිණිය කීවාය. ඔවුන් මෙසේ කතාබහ කරද්දීම භාග්‍යවතුන් වහන්සේ තණ ඇතිරියෙහි හිඳගත්හ. එවිට බමුණා, දියණිය වම් අතින් අල්ලාගෙන, දකුණතින් පැන් කෙණ්ඩිය ගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, ‘පින්වත් පැවිද්දාණනි, ඔබ ද රන්පහැ ඇත්තෙහිය. මේ දැරියත් රන්පහැ ඇත්තීය. මැය සුදුසු ඔබටය. මම මේ දැරිය පිංවත් ඔබට බිරියකොට ඇතිදැඩි කරගැනීමට දෙමි. අතපැන් වත්කිරීමෙන් දැරිය පිළිගත මැනවැ’යි කියා ඇය පාවාදෙනු කැමතිව සූදානම් විය. භාග්‍යවතුන් වහන්සේ බමුණා හා කතා නොකරමින්, වෙනත් කෙනෙකු සමග කතා කරන්නා සේ, ‘දිස්වාන තණ්හං’ යන මේ ගාථාව කීහ.
එහි අරුත නම්, අජපාල නුගමුලදී, නොයෙක් රූ මවා, පොළඹවා ගැනීමට ආ මර දූවරුන් දිස්වාන තණ්හං අරතිං රගඤ්ච ඡන්‍දො ලිංගික හැසිරීමෙහි කිසිදු කැමැත්තක් ඇති නොවීය. මුත්තකරීසපුණ්ණං මේ දැරියගේ (මෙබඳු) රූපය දැක කෙසේනම් (ඇල්මක්) වේද? හැමවිටම පාදාපි නං සම්ඵුසිතූං ඉච්ඡෙ මේ සිරුර පයිනුදු පෑගීමට නො කැමැතියෙමි. එසේනම්, මැය හා එක්ව විසීමක් කොයින්ද?
එවිට මාගන්දිය, ‘මිනිස් කම්සුව හැර, දෙව් කම් සුව ඇමැතිව පැවිදි වූවෝ වෙති. මොහු දෙව් කම්සුවයද නොකැමති වේ, මේ ද කාන්තා රුවනකි. ඇය පිළිබඳව හැඟීම කෙබඳුදැ’යි? විමසීමට දෙවන ගාථාව කීය. එහි එතාදිසඤ්චෙ රතනං දේව කාන්තා රුවනක් ගැන කියයි. නාරිං තමන්ගේ දියණිය ගැනයි. දිට්ඨිගතං සීලවතානුජිවිතං හැඟීමද, සීලයද, වත්පිළිවෙතද, ජීවිතය ගැන ද, භවූප්පතතිඤ්ච වදෙසි කීදිසං තමාගේ සසර උපත කෙබඳුදැ’යි කියනු මැනවි.
මෙයින් පසු දැක්වෙන ගාථා දෙක, පිළිතුරු දීම හා විමසීම අනුව කරුණු දක්වයි. එහි පළමු ගාථාවේ කෙටි අරුත නම්, තස්ස මාගන්දිය, සැටදෙකක් වූ හැඟීම් (මතවාද) ධම්මෙසු, තීරණය කොට ‘මෙයම ඇත්තය, අනික් සියලු කරුණු බොරු’ යැයි මෙසේ ඉදං වදාමීති සමුග්ගහීතං න හොති (අදහසක්) මට නැත. අදාල නොවේ. ඊට හේතු කවරේද? පස්සන්තො දිට්ඨිසු මම කිසිදු දැකීමක් දැඩිසේ නොගෙන, ඇති තතු (ඇති ආකාරයෙන්ම) පවිචිනන්තො, තමා තුළ රාගාදී හැඟීම් තිබෙන බැවින්, අජ්ඣත්ත සන්තී එයින් ඈත් වූ සැනසීම නම් වූ නිවණම දුටුවෙමි.