10. පුරාභෙද සූත්‍ර වර්ණනාව
කථං දස්සී යනු පුරාභෙද සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණු කුමක්ද? මේ සූත්‍රයට මෙන්ම, ඉදිරියට දැක්වෙන කලහ විවාද - චූලවියූහ - මහාවියූහ - තුවටක - අත්තදණ්ඩ යන සුත්‍ර පහද, සම්මා පරිබ්බාජනීය සූත්‍රයෙහි නිදාන කතාවට සමානය. ඒ මහා රැස්වීමේදී රාගය වැඩි දේවතාවුන්ට ගැලපෙන සේ දහම් දෙසීමට, ඉඳු බලයෙන් පෙන්වන ලද ‘බුදුරුව’ විසින් තමන්වහන්සේ ලවා කරුණු විමසනු ලදුව, සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේසනා කරන ලදී. මෙසේ ඒ හමුවෙහිදීම, ‘සිරුර බිඳීයාමට පෙර කුමක් කළ යුතුද?’ යන දෙවියන්ගේ සිතිවිලි දැන, ඔවුන්ට උපකාර පිණිස, හත්සිය පණහක් මහසඟ පිරිවරා ඉඳු බලෙන් පෙන්වූ බුදුරුවක් අහසින් වඩමවා, එමගින් තමන්වහන්සේ විමසන ලදුව මෙම සූත්‍රය වදාළහ. මෙහි වෙනස එයයි.
ඒ පෙන්වන ලද බුදුරද, කථං දස්සී තියුණු උසස් නුවණත් කථං සීලො උසස් සීලයත්, උපසන්තො උසස් සිත ගැනත් විමසයි. ඉතිරි කරුණු පැහැදිලිය.
භාග්‍යවතුන් වහන්සේ ඒ විසඳීමේදී, සුදුසු පරිදි, උසස් නුවණ ගැන විස්තර නොකොට, උසස් නුවණින් ලබන කෙලෙස් සංසිඳීමෙන් ඇතිවන උසස් සිත ගැන කීමට, නොයෙක් දේවතාවුන්ගේ සිත් අනුව බලා ‘වීතතණ්හො’ ආදී ගාථා දෙසූහ. එහි මුල පටන් ගාථා අටටම ‘තං බ්‍රෑමි උපසන්තො’- ඒ උසස් සිත වැඩු තැනැත්තා යයි කියමි’ යන ගාථා සම්බන්ධය දතයුතුය. එමෙන්ම හැම පසු පදයකින්ම ඔහු සන්සුන් වූයේය, සාන්ත වූයේ යයි කියනු ලැබේ. (සූත්‍රයේ අවසාන ගාථාවේ පාඨයද) යොදාගැනීමද සුදුසුය.
මෙතෙක් විස්තර නොවූ පද ගැන කීමේදී වීතතණ්හො පුරා හෙදා (සඳහන් වේ.) යම් කෙනෙක් සිරුර බිඳීයාමට පෙරම තණ්හාව නැති කළේද, පුබ්බමන්තමනිස්සිතො අතීතාදී කාලයේම එහි ඇසුර නැතිකරන ලද, වෙමජ්ඣෙ නූපසංඛය්‍යො වත්මන් කල්හිද ‘රාගී’ ලෙසින් හෝ සලකනු නොලැබිය යුතුය. තස්ස නත්‍ථි පූරක්‍ඛතං එබඳු තැනැත්තාට තණ්හා දිට්ඨි දෙකෙහි පෙරටුකොට නොගන්නා බැවින් අනාගතයෙහිද පෙන්වාදීමට දැනුදු (වත්මනෙහිද) කිසිදු දෙයක් නැත. (මතු භවයක උපතකට කරුණු නැත.) ‘ඔහු සැනසුනු කෙනෙකැයි කියමි’ මෙහිදී යොදාගත යුතුය. අදාල හැම තැනකදීම එපරිද්දෙනි. මින්පසුව එම යෙදුම නොදක්වාම විස්තර නොවූ වචන ගැන කියන්නෙමු.
අසන්තාසි ඒ ඒ දේවල් නොලැබීමෙන් තැති නොගන්නා වූ, අවිකත්‍ථි සීලාදී ගුණ නොකියන සුළු, අකුක්කුචො අත් ආදී (අඟපසඟින්) කළ දෙයින් කුකුස - පසුතැවිලි නැති, මන්තභාණි සිතාබලා වචන කියන, අනුද්ධතො උඩඟු නැති, සවෙ වාචායතො වචනයෙන් සංවරව සිවුදොස් රහිත වචන කියන ලද්දේ වෙයි.
නිරාසත්ති ආසා නැති, විවෙකදස්සී ඵස්සෙසු වත්මන්හි ඇස ගැටෙන පහස ආදියෙහිදී (අරමුණුවලදී) තමන් ලද විවේකය දකී. දිට්ඨිසු ච න නීයති සැටදෙකක් වූ මිසදිටු දැකීම්වල කිසිදු දැකීමකට නොඑළඹෙයි. දැඩිව නොගනී.
පතිලීනො රාගාදිය නැතිකළ බැවින් එයින් ඉවත් වූයේ, අකුහතො නැතිගුණ පෙන්වනු ලබන තුන්ආකාර වූ කරුණින් වෙන් වූ, අපිහාලූ බලාපොරොත්තු, පැතුම් ලෙසින් කිසිත් නැති, අමච්ඡරි පස්ආකාර වූ මසුරු බව නැති, අප්පගබ්භො කයෙන් වෙසෙස් නොකටයුතු දේ, අජෙගුච්ඡො සීලයෙන් යුතු බැවින්, පිළිකුල් නොකටයුතු, සේවනය කළයුතු මනාප වූ, පෙසුනෙය්‍යෙ ච නො යුතො දෙආකාර වූ කේලාම් කීමෙහි නොයෙදුණු,
සාතිසෙයූ අනස්සාවී පස්කම් ආසා ඇතිකරන දේවල ඇලීම් ඇසුරෙන් වෙන් වූ, සණ්හො කයෙන් කෙරෙන කටයුතු ආදියෙහි රළුනොවූ, පටිභානවා ඉගෙන දරාගත් දෙයෙහි, විමසූ විටකද මනාව වැටහීමෙන්, න සද්ධො කිසිවකුගේ ඇදහීමකින් තොරව තමන්ම අවබෝධ කරයි. න විරජ්ජති රාගය නැතිකළ බැවින් දැන් කිසිවක් නොඇලේ.