4. අට්ඨක වර්ගය
1. කාම සූත්‍ර වර්ණනාව
කාමං කාමයමානස්ස කාම සූත්‍රයයි. මෙම සූත්‍ර දේසනයට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන කල එක්තරා බමුණෙක් සැවැත්නුවරටත්, ජේතවනාරාමයත් අතර, අචිරවතී ගංතෙර, ‘යව වපුරමි’යි සිතා කෙතක් සී සායි. භාග්‍යවතුන් වහන්සේ, බික්සඟන පිරිවරා පිඬු පිණිස යද්දී, ඒ දැකවිමසා බලනවිට, ‘මේ බමුණාගේ යව අස්වනු වැනසෙන්නේ’ යැයි දුටහ. නැවතත් විමසා බලද්දී, බමුණාට සෝවාන් පල ලැබීමට හේතු සම්පත් ඇති බවද දැක, ‘කවදා ඊට පැමිණෙනේදැ’යි විමසද්දී, ‘අස්වනු වැනසුනු පසු, කණගාටුවෙන් පසුවෙද්දී, දහම් අසා’ යයි ද දුටහ. ‘එදිනටම මම බමුණා කරා යන්නෙම් නම්, ඔහු මගේ අවවාද නො ඇසිය යුතු’ යැයි සිතන්නේය. බමුණෝ නම් නොයෙක් රුචි ඇත්තාහ. එබැවින්, අද සිටම එහි ගොස්, ඔහුට උපකාර වෙමි, මෙසෝ මා කෙරෙහි මුදු සිත් ඇතිව, එදිනට මගේ අවවාද අසන්නේ’ යැයි සිතා, බමුණා ළඟට ගොස්, ‘බමුණ, කුමක් කරන්නෙහිදැ’යි ඇසූහ. බමුණා ද ‘මෙබඳු උසස් කුලීන ගොතම මහණද මා සමග කතා කරති’යි එපමණකින්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇතිව, ‘ගොතමයනි, කෙත සීසාමි, යව වපුරමි’යි කීවේය. ඉක්බිති සැරියුත් හිමි ද ‘භාග්‍යවතුන් වහන්සේ බමුණා සමග පිළිසඳර කතා කළහ. හේතුවක් නැතිව තථාගතයන් වහන්සේලා එසේ නො කරති. මම ද බමුණා සමග කතා කරමි’යි සිතා ඔහු කරා ගොස් කතාබහ කළහ. මෙසේ, මහ මුගලන් හිමි ද, අසූමහා සව්වන් ද පිළිසඳර කතා කරද්දී බමුණා බොහෝ සෙයින් සතුටුවිය.
මේ අතර, භාග්‍යවතුන් වහන්සේ, අස්වනු පැසෙන කාලයේදී, දිනක් වැළඳීමෙන් පසු සැවැත් නුවරින් ජේතවනාරාමයට වඩිනා මගින් ඉවත්ව, බමුණා ළඟට ගොස්, ‘බමුණ, ඔබේ යවකෙත සරු’ යැයි කීහ. ‘එසේය, පින්වත් ගොතමයනි, කෙත සරුය. අස්වනු නෙලාගත් පසු ඔබටද තෑගි කරන්නෙමි’යි කීය. සිවුමසක් ගත වූ පසු යව පැසිණ. බමුණ, ‘අද හෝ හෙට හෝ කපන්නෙමි’යි ඊට අදාල කටයුතු ගැන සිතා සිටියදීම, මුළු රැයක්ම පුරා වූ මහා වැස්සකින් අචිරවතී ගග උතුරා, මුළු යව කෙතම යටවිය. බමුණා මුළු රැයෙහිම නොසතුටු වී, පහන් වූ කල ගංතෙරට ගොස්, කෙතට වූ විපත දැක, ‘මම නැසුණෙමි, දැන් කෙසේ ජීවත් වන්නෙම්දැ’යි බලවත් සේ සෝක විය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ රැයෙහි අළුයම් කාලයෙහි බුදු ඇසින් ලොව බලද්දී, ‘අද බමුණාට දහම් දෙසීමට සුදුසු කාලය බව දැන, පිඬු හැසිරෙමින්, සැවැත් නුවරට පිවිස බමුණාගේ ගෙය දොරකඩ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ දුටු බමුණා ‘සෝකයෙන් පෙළුණු මා අස්වැසීමට සමණ ගොතමයන් පැමිණ ඇතැයි සිතා අසුනක් පනවා, පාත්‍රය ගෙන, උන්වහන්සේ හිඳවූයේය. භාග්‍යවතුන් වහන්සේ, ‘ඇයි බමුණ නොසතුටු සිතින්?’ යැයි ඇසූහ. ‘එසේය, පින්වත් ගෝතමයනි, මගේ යවකෙත මුළුමනින්ම වතුරෙන් යටව වැනසුනේ යැයි කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘බමුණ, විපත් වූ කල දොම්නසත්, ඉටු වූ කල සතුටු වීමත් නොකළ යුතුයි. කැමති වන දේ - බලාපොරොත්තු අලාභ ගෙන දෙයි. සමහරවිටක ඉටුවෙතැයි පවසා, ඒ බමුණාගේ සිත දහම් දේසනයට යොමුවීමට තරම් සුදුසු බවට පත්වූ විට, මේ සූත්‍රය වදාළහ. කෙටියෙන් එහි වචන තේරුම් පමණක් කියන්නෙමි. විස්තර නිද්දෙසයෙහි දක්වා ඇති පරිදි දතයුතුය. එය මෙම සූත්‍රයට මෙන්ම, මින් පසු දැක්වෙන සියලුම සූත්‍රවලටම අදාල වේ.
කාමං තුන් භවයෙහිම උපන් සත්වග කැමති වන, සිත ඇළුම් කරන, රූප ආදී දේවල්, කාමය මානස්ස බලාපොරොත්තු වන කෙනෙකුට, තස්ස චෙ තං සමිජ්ඣති එසේ කැමති වූ තැනැත්තාට ඒ කැමති දේ ලැබී බලාපොරොත්තු ඉටු වේද, අද්ධා පීතිමනො හොති නිසැකවම සතුටු සිත් ඇත්තේ වෙයි. ලද්ධා ලැබී, මච්චො පුද්ගලයා, ජීවියා, යදිච්ඡති කැමති යම් දෙයක්,
තස්ස චෙ කාමයානස්ස ඒ කැමැත්ත ඉටුවන පුද්ගලයාට, ඡන්‍දජාතස්ස හටගන්නා වූ තණ්හාව, ජන්තුනො මිනිසාට ජීවියාට තෙ කාමා පරිහායන්ති එසේ කැමති දෙය නැතිවූ විට - නොලැබුණු විටද, සල්ල විද්ධො රුප්පති ඉක්බිති යකඩ උලකින් විඳිනු ලැබූසේ පෙලෙයි.
තුන්වන ගාථාවෙහි කෙටි අරුත නම්, යො මේ (කියන ලද) කාමෙ කැමැත්ත - ඡන්‍දරාගය යටපත් කිරීමෙන් හෝ තම පාදයෙන්, සප්පස්ස සිරං මෙන්, සො මහණ මුළු ලොවෙහිම (නොඇලී) ඈත්ව සිටි බැවින්, ලොකෙ විසත්තිකා එසේ හඳුන්වනු ලබන තණ්හාව, සතො (සිහි ඇතිව) සමතිවත්තී.
මින්පසු දැක්වෙන ගාථා තුනෙහි මේ කෙටි අරුතයි. යො ඒ හැල් කෙත් ඛෙත්තං ආදී හෝ, නිවාස-වතුපිටි සම්පත් හෝ, කහවණු හෝ අමු රන්, ගවයන් අසුන් ආදී ලෙසින් ගවාස්සං කාන්තාවන් හෝ ථියො වා, නෑදෑ සබඳතාදී බන්‍ධූ වෙනත් සතුට දනවන රූපාදිය පුථු කාමෙ අනුගිජ්ඣ තං පුද්ගලයා දුබලයකු බවට පත්කරන කෙලෙස්, බලීයන්ති යටත් කරති. පාගා දමති. සැදැහැ ආදී බලය නැතිවීමෙන් ඒ තැනැත්තන් අබලා, කෙලෙස්වලින් බලීයන්ති දුබල බැවින් පෙළනු ලබතියි අරුතයි. තං එවිට ඒ කැමැත්තෙහිම ගැලුනු, කැමැති දෙයම රැකගැනීමේදී සිංහයන් ආදී සතුන්ගෙන් වන පැහැදිලිව පෙනෙන උවදුරුවලින්ද, කයෙහි දුසිරිත්හි යෙදීමෙන් නොපැහැදිලි, නොපෙනෙන උවදුරුවලින්ද මඩිති. තතො පැහැදිලිව නොපැහැදිලි, නොපෙනෙන උවදුරුවලින්ද මඩිති. තතො පැහැදිලිව නොදකින උවදුරුවලින් මඩනා ලද තං පුද්ගලයා ඉපදීම ආදී දුක්‍ඛඤ්ච භින්නං නාවං උදකං මෙන් අන්‍වෙති, තස්මා කයෙහි ඇති තතු භාවනා ආදියෙන් සිහියෙන් දකින, ඡන්තු සදා සතො මැඩපැවැත්වීම හෝ මුළුමනින්ම රූපාදී දේවල් කෙරෙහිද හැම ආකාර වූ ඡන්‍දරාගාදී කෙලෙස් කැමති බවද දුරුකරමින් කාමානි පරිවජ්ජයෙ. මෙසේ තෙ ඒ කාමයන් පහාය ඒවා නැතිකරන ලද ආකාරයටම සතරාකාර වූ, තරෙ ඔඝං එතර වන්නේය. එතරවීමට හැකිවන්නේය. ඒ අනුව යම් මිනිසෙක් ජලයෙන් පිරුණු නාවං සිඤ්චිත්‍වා නැවෙහි සැහැල්ලු බවෙන් නොබෝ කලකින්ම පාරගු එතරට යන්නේය. එසේම තම ජීවිතය නැමති නැවෙහි පිරි ඇති කෙලෙස් නැමති ජලය හිස්කොට සැහැල්ලු ජීවිතයෙන් (සසර) එතර වන්නේය. සියළු දෙයින්ම එතරට ගිය නිවනට ගියේ වෙයි. අරහත් බවට පත්වන්නේය. මතු සසර නොඉපදෙන සේ අනුපාදිසෙස නිවනින් පිරිනිවන් පාන්නාහ’යි අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසන බමුණාද බැමිණියද සෝවාන්පලෙහි පිහිටියහ.