8. පසූර සූත්‍ර වර්ණනාව
ඉධෙව සුද්ධී යනු පසුර සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩවසන කල වාදයෙහි සමත් පසුර නම් පිරිවැජියෙක්, මම මුළු දඹදිවම වාදයෙන් මුල්තැන ගනිමි, දඹදිවෙහි දඹගස (හඳුනාගැනීමේ) සලකුණ මෙන් මම ද එසේ පතළවීමට සුදුස්සෙක්මි’ යැයි දඹ අත්තක් කොඩියක් සේ ඔසවාගෙන, මුළු දඹදිවෙහිම තමා හා පෙරළා වාද කරන්නෙකු නොලබමින්, පිළිවෙලින් සැවැත් නුවරට අවුත්, නගරදොරටුවෙහි (අසළ) වැලි ගොඩක් කොට, එහි අත්ත සිටුවා ‘මා සමග වාදයට සමතකු වෙත් ද, ඔහු අත්ත කඩාදමනු ඇතැ’යි කියා නගරයට පිවිසියේය. මහජනයා එහි රැස්ව සිටියේය. ඒ වේලාවෙහි ගරු කටයුතු සැරියුත් තෙරුන්වහන්සේ, දන් වළඳ, සැවැත්නුවරින් නික්මෙති. ඒ දුටු තෙරණුවෝ එහි සිටි බොහෝ ගම්දරුවන්ගෙන් ‘දරුවනි, මේ කුමක්දැ’යි විමසූහ. ඔව්හු ඒ සියළු තතු කීහ. ‘එසේනම්, ඔබ හැම එය උදුරා පයින් පාගා දමව, වාදයට කැමති කෙනෙකුට විහාරයට පැමිණෙන ලෙස කියවයි පවසා එතැනින් පිටත්ව ගියහ.
පසුර පිරිවැජියාද පිඬු හැසිර අහර ගෙන, පැමිණ, උදුරා, කඩාදමා ඇති දඹඅතු දැක, ‘මේ කරන ලද්දේ කවුරුන්දැ’යි විමසීය. ‘බුදුසව්වකු වන සැරියුත් තෙරුන්’ යැයි කී විට, ‘මට අද ජයය, සමණයාට පරාජය. නුවණැති පණ්ඩිතයෝ දකිත්වා’යි පැන විමසීමෙහිලා කටයුතු කරන තීරකයෙකු කැඳවාගෙන ඒමට සැවැත් නුවරට පිවිස වීදි -මංසන්‍ධි ආදියෙහි සැරිසරමින්, ‘සමණ ගෝතමයන්ගේ අග සව්වකු සමග වාදයේදී මාගේ නුවණින් ඉදිරිපත් කරන කරුණු ඇසීමට කැමති පින්වතුන් එත්වා’යි හඬ නැගීය. පඬිවරුන්ගේ වදන් අසන්නෙමු’යි සසුනෙහි පැහැදුනු, නොපැහැදුනු බොහෝ මිනිස්සු පැමිණියහ. පසුර මහජනයා පිරිවරා, ‘මෙසේ කී විට, මෙසේ කියන්නෙමි’යි සිත සිතා, විහාරයට ආවේය. තෙරුන් වහන්සේද, විහාරයෙහි මහත් හඬින් කෑකෝ ගැසීම් හා බොහෝ ජනයා රැස්වීමේදී අපහසු නොවේ’යැයි සළකා ජේතවන දොරටුවෙහි අසුනක් පනවා වැඩහුන්හ.
පිරිවැජියා තෙරුන් වෙත එළඹ, ‘එම්බා පැවිද්දාණනි, ඔබ මගේ දඹඅතු කොඩිය කඩා දමවන ලදදැ’යි කීය. ‘එසේය, පිරිවැජිය’, කී විට, ‘අප අතර කිසියම් කතාබහක් වේ’යැයි පැවසීය. තෙරුන් වහන්සේ විසින්ද ‘පිරිවැජිය, එසේ වේ’ යැයි පිළිගන්නා ලදුව, ‘මහණ, ඔබ විමසව, මම විසඳන්නෙමි’යි පසුර කීවේය. ‘පිරිවැජිය අපහසු කුමක්ද? ඇසීමද? නැතිනම් විසඳීමද? තෙරුන් වහන්සේ ඇසූහ. ‘පැවිද්දාණනි, විසඳීම අපහසුය. විමසීමේ ඇති අපහසුව කුමක්ද? ඔබට විමසීමට දෙයක් ඇත්නම්, අසන්න’ යයි කීය. ‘එසේ නම්, පිරිවැජිය, ඔබ අසව. මම විසඳන්නෙමි’යි තෙරුන් වහන්සේ කීහ. එවිට පිරිවැජියා ‘යහපත් පෙනුම ඇති මහණ, එකවරම අත්ත බිඳවීයැයි පුදුමයට පත්ව, ‘මිනිසාගේ කැමැත්ත කුමක්දැ’යි තෙරුන් වහන්සේගෙන් ඇසීය. ‘මිනිසාගේ කැමැත්ත, සංකල්පවලට ඇති රාගය හෙවත් ඇලීම’ යැයි කීහ. පසුර ඒ අසා, තෙරුන් වහන්සේ හා එකඟ නොවන ලෙසින්, පරාජයට පත් කරනු පිණිස, ‘පැවිද්දාණනි, විසිතුරු විසිතුරු අරමුණු වන දෑ මිනිසාගේ කැමැත්ත යැයි නො කියන්නෙහිදැයි ඇසීය. ‘එසේය, පිරිවැජිය නොකියමි.’ එවිට පසුර පිරිවැජියා තෙවරක්ම ගිවිස්වා එය තහවුරු කරවා, ‘පින්වතුනි, සමණයාගේ වාදයෙහි වැරදි අසත්වා’යි වාද පැන තීරණයකයන් අමතා පැවසීය. ‘පින්වත් පැවිද්දාණනි, ඔබ හා සමව පැවිදි පිළිවෙතෙහි යෙදෙන්නන් කැලයෙහි වසත්දැ’යි ඇසීය. ‘එසේය, පිරිවැජිය වාසය කරති.’ ‘ඔවුන් එහි වසනවිට, කාම සිතිවිලි ආදිය සිත සිතා සිටින්නාහුද?’ ‘එසේය, පිරිවැජිය, බොහෝ දෙනෙක් වහා සිත සිතා සිටිති’. ‘එසේනම්, ඔවුන්ගේ මහණකම කොතැනද? ඔවුහු ගෙවල වසන කම්සුව විඳින්නෝ නොවෙතිද?’ අසා මෙසේද පැවසීය -
තෙ න වෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගඤ්ච වදෙසි කාමං
සංකප්පයං අකුසලෙ විතක්කෙ
භික්‍ඛුපි තෙ හෙස්සති කාමභොගී
‘ලොව විසිතුරු දේ කැමැත්ත නොවේ යැයි ද කැමැත්ත යනු සංකල්පවලට ඇති රාගය යැයිද කියහ. මේ සංකල්ප අයහපත් සිතිවිලිය. ඒ පැවිද්දෝ ද කම්සැප විඳින්නෝ වෙති.’
එවිට තෙරණුවෝ පිරිවැජියාගේ වාදයෙහි වැරදි දකිමින් සංකල්පවලට ඇති මිනිසාගේ ඇල්ම, කැමැත්ත හෙවත් කාමය යයි නො කියහිද? ඒ විසිතුරු විසිතුරු අරමුණු කාමය යැයි කියහි’දැයි ඇසූහ. ‘පැවිද්දාණනි, එසේය’ - එහිදී තෙරුන් වහන්සේ ද (පසුර පිරිවැජියා) තෙවරක්ම (එම අදහසෙහි) ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි ගිවිස්වාගෙන, ‘ඇවැත්නි, පිරිවැජියාගේ වාදයෙහි වැරැද්ද බලව’යි වාදපැන තීරකයන් අමතා, ‘ඇවැත්නි පවුර, ඔබගේ (සසුනෙහි) මගපෙන්වන නායකයෙකු ඇත්දැ’යි ඇසූහ. ‘එසේය, පැවිද්දාණනි, ඇත’, ‘ඔහු ඇසින් හඳුනාගෙන රූප අරමුණු දකී ද?’ හඬ ආදී අරමුණු ඇසුරු කරයි ද?’ ‘එසේය, පැවිද්දාණනි, ඇසුරු කරයි.’, ‘එසේනම්, ඔහුගේ නායකකම, මඟපෙන්වීම කොයින්ද? ඔහුද ගෙයක වසන, කම්සුව විඳින්නකු නොවේදැ’යි විමසා ඊට පසු මෙසේ ද කීහ -