‘ලෝකයෙහි විසිතුරු දේ කාමය යැයි ද සංකල්පවලට ඇති රාගය කාමය නොවේ යැයිද කියහ. මනරම් රූප දකිමින්, මනරම් නාද අසමින්, මනරම් සුවඳ විඳිමින්, මනරම් රස විඳිමින්, මනරම් පහස ලබමින් ඔබගේ නායකයා ද කම්සුව විඳින්නෙක් වන්නේය.’
මෙසේ කී විට නොවැටහුණු පිරිවැජියා ‘මේ පැවිද්දා වාදයෙහි සමත්ය, මොහු ළඟ පැවිදිවී වාද ඉගෙන ගනිමි’යි සැවැත් නුවරට ගොස් පාසිවුරු සපුරාගෙන, ජේතවනාරාමයට පිවිස, එහිදී රන්පැහැ සිරුරින් යුතු, සිරුරු ඉරියව් පවත්වා ගැනීමේදී හාත්පස පැහැදෙන සුළු ලාලුදායි තෙරුන් දැක, ‘මේ පැවිද්දා ද මහා නුවණැති වාදයෙහි සමතෙකැ’යි ඒ හිමියන් වෙතින් පැවිදිව, වාදයෙන් අපහාසයට පත්කොට, ඒ පැවිදි ලෙසින්ම කලින් සිටි තීර්ථක අරමට පැමිණ, නැවතත් ‘සමණ ගොතම සමග වාද කරන්නෙමි’යි පෙර පරිදිම සැවැත්නුවරටම හඬගා කියා, මහජනයා පිරිවරා ‘මෙසේ සමණ ගොතමයන්ට අවමන් කරන්නෙමි’යි කියමින්, ජේතවනාරාමයට ගියේය. ජේතවන දොරටුවෙහි අරක්ගත් දේවතාවා ‘මොහු නොවැදගත් ලෙසට පත්කරමි’යි ඔහුට කතා කළ නොහැකි සේ මුව අවහිර කළේය. පසුර භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ගොළුවකු මෙන් හුන්නේය. මිනිස්සු දැන් ‘විමසන්නේය, දැන් විමසන්නේ’ යැයි ඔහුගේ මුහුණ බලා ‘පසුර, කියව, පසුර කියව’යි මහා හඬින් කෑගැසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, පසුර මොනවා කියන්නදැ’යි අසා එහි පැමිණි පිරිසට දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
එහි මුල් ගාථාවෙහි කෙටි අදහස නම් මේ දැකීම්, හැඟීම් තදින් වැළඳ ගත්තෝ තම තමන්ගේ ඒ මතවාද ඉධෙව සුද්ධිං මෙයම සුද්ධිය යයි කියති. අඤ්ඤෙසු ධම්මෙසු (වෙනත් ලෙසකින්) පිරිසිදු බව නොකියති. කරුණු මෙසේ නම්, තමන්ගේ (දැඩි මතවාදයේ) නායකාදීන් පිළිබඳව, නස්සිතා තත්‍ථෙ ‘මේ ආදී වූ, මේ කියන අදහස යහපත්’ යැයි මෙසේ සුභවාදීව බොහෝ මහණ බමුණෝ ‘ලෝකය සදා පවතී’ ආදී අදහස්වලින් පච්චෙකසච්චෙසු නිවිට්ඨා. වෙන වෙනම ඇතුළත් කළහ.
මෙසේ ඒ හැඟීමෙන් මුල් බැසගත් ඔවුන් ගැන ‘තෙ වද කාමා’ යන ගාථාවෙන් දැක්වේ. බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං ‘මේ අනුවණයෙකැ’යි මිනිස්සු එකිනෙකා ගැන අනුවණ ලෙසම සලකති. මෝඩ යැයි සළකති. වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං ඔව්හු එකිනෙකා ඒ මගපෙන්වන නායකයන් නිසා, කලහ-විවාද කරති. පසංසකාමා කුසලා වදානා දෙකොටසම (ඒ මත අනුව බෙදී) පැසසුම් කැමතිව, ‘අපි යහපත් ලෙස කියමු, අපි උගත් වැදගත් ලෙස කියමු’යි මේ හැඳිනීමෙන් යුතුව,
මෙසේ කියන්නවුන් අතර, එක්කෙනෙක් තමන් නිසි පරිදි කියන බව ‘යුත්තො කථායං’ ගාථාව (පෙන්වා දෙයි.) යුත්තො කථායං විවාද කථාවෙහි උත්සාහවත්ව, පසංසමිච්ඡං විනිඝාති හොති තමාට පැසසුම් කැමතිව, ‘කෙසේ (අනික් මතවාදියාට) අපහාස කරන්නෙම්දැ’යි සැක සහිතව කලින්ම වාදයට යෙදෙයි. අපාහතස්මිං ‘ඔබ අදහස මතු නොවන පරිදි කියන ලදී, වචන හෝ කරුණු නිරවුල්ව නොකියන ලදැ’යි පැන විමසන තීරකයන්ගෙන් අවමන් ලබයි. නින්‍දාය සො කුප්පති මෙසේ වාදයෙහි අපහාසයට ලක්ව ඔහු කිපෙයි. රන්‍ධමෙසි අනුන්ගේ සිදුරු (වැරදි) සොයයි.
කෝපවීම පමණක් නොවේ. ‘යමස්ස වාදං’ යන ගාථාවෙන් තවදුරටත් කරුණු දක්වති. එම ගාථාවේ, පරිහීණමාහු අපාහතං අරුත් පැහැදිලි කිරිම, වචන ආදිය නොගැලපෙන බව, උසස් නොවන බව කියති. පරිදෙවති ඒ නිමිතිකොට ඔහු ‘අනික් තැනැත්තන් තමා ගැන විමසිල්ලෙන් සිටිති’යි යනාදී ලෙසින් විලාප නගයි. සොචති ‘ඔහුට ජය’ යැයි සෝක කරයි. උපච්චගා මං අනුත්‍ථුනාති ‘ඔහු මා හා වාදයෙන් වාදකොට මා ඉක්මවූයේ යැයි වැඩියෙන් විලාප කියයි.
එතෙ විවාදා සමණෙසු මෙහි සමණා යනුවෙන් බාහිර සසුන්හි පිරිවැජියෝ, ඒ බාහිර සසුන්හි පිරිවැජියන් අතර වන විවාද, එතෙසු උග්ඝාති නිඝාති හොති ඒ වාද විවාදවලදී ජය ලැබීම, පරාජය වීම අනුව සිතට ගැටීමකට, පීඩනයට පත්වෙමින් (සිතිවිලි අතර) ගැටෙයි. පීඩා විඳියි. විරමෙ කථොජ්ජං කලහය දුරුකරන්නේය. න හඤ්ඤදත්‍ථත්‍ථි පසංසලාභා මෙහි පැසසුම් ලැබීමට වඩා වෙනත් දෙයක් නැත.
සයවැනි ගාථාවේ අරුත නම්, එසේ පැසසුම් ලැබේ නම්, එය උසස්ම ලැබීම යයි ද, ‘මෙය යහපත්’ යැයි ද සළකයි. තත්‍ථ ඒ හැඟීමෙන් පසංසිතො වා පන හොති ඒ වාද අදහස් වාදං පරිසමජ්ඣෙ ඉදිරිපත්කොට, සො තෙන එයින් ජයගෙන, සතුටුව හෝ දත් පෙන්වා සිනහසෙමින් හෝ හසති, මානයෙන් ද ච උන්නමති, ඊට හේතුව කුමක්ද? තං ඒ ජය සිතේ හැටියට ලැබුණියි (සිතයි.) මෙසේ උඩඟුවීම පිළිබඳව ‘යා උන්නතී’ ගාථාවෙන් කරුණු දැක්වේ. ඒ ගාථාවෙහි මානාතිමානං වදතී පනෙසො එසේ ඇතිවන ඒ උඩඟුකම ‘විඝාතභූමි’ වැනසීමට මුල්වන තැනකැයි නොවැටහීමෙන් ද, මානයෙන් ද තවත් උඩඟු වීම ගැනද සඳහන් කරයි.
මෙසේ වාදයෙහි දොස් දක්වා, මීළඟට ඔහුගේ වාදය පිළිනොගනිමින් ‘සූරො’ යන ගාථාව වදාළහ. එම ගාථාවේ, රාජඛාදාය රාජබොජුන් කා වැඩුණු (යුද්ධයෙහි) මනාව සමත්කම් දක්වන, අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං ඔහු තමා හා ‘කරට කර’ සටන් කළ හැකි සමතෙකු බලාපොරොත්තුව වහසි බස් කියමින් එයි. මෙය දැකීම්, හැඟීම් දැඩිව ගත්තෙකුට නිදසුන්ය. යෙ නෙව සො තෙන පලෙහි එයින් සමත්කම් දක්වන ඒ තැනැත්තා ළඟටම ඔබ යව, පුබ්බෙව නත්‍ථි යදිදං යුධාය කෙලෙස්වලින් ඇතිවන යම් යුද්ධයක් වේද, එය මුලසිටම නැත. බෝමුල්හිදීම ඒවා නැති කරන ලද බව පෙන්වා දෙති. ඉතිරි ගාථාවල සම්බන්ධතාව පැහැදිලිය.
විවාදයන්ති විවාද කරති. පටිසෙනිකත්තා විරුදුව අදහස් පළකරන්නෙකු, විසෙනිකත්‍වා කෙලෙස් සේනාව වනසා දමා, කිං ලභෙථ පිළිමල්ව ආ තැනැත්තා කුමක් ලබන්නෙහිද? පසූර ඒ පිරිවැජියා අමතති. යෙසී ද නත්‍ථි එබඳු දේ මෙහි නැත.