6. ජරා සූත්‍ර වර්ණනාව
අප්පං වත ජීවිතං යනු ජරා සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතුව කුමක්ද? එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් වසා, (බුදුවරුන් අනුගමනය කරන පරිදි) කායික නිරෝගී බවද, නොපැනවූ සිකපද පැණවීමද, දමනය කොට හික්මවා ගැනීමට සුදුස්සන් හමුවද, ඊට සුදුසු පරිදි ජාතක කතා ආදිය කීම වැනි කරුණු සළකා ජනපද චාරිකාවෙහි පිටත් වූහ. අනුපිළිවෙලින් සැරිසරමින්, සවස්කල සාකේත නුවරට පැමිණ, අඳුන් වනයට පිවිසියහ. සාකේත වාසීහූ ඒ බව අසා, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කාලය නොවේ’ යැයි (සිතා) රැය පහන් වූ පසු, මල් සුවඳ ආදිය රැගෙන සමීපයට ගොස්, වැඳුම් පිදුම් තුටු පහටු කතාකොට, උන්වහන්සේ ගමට පිවිසෙන වේලාව පැමිණෙනතුරු පිරිවරා සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බික්සඟණ පිරිවරා සාකේත නුවරට පිඬු පිණිස වැඩම කළහ. එහි වසන මහා සම්පත් ඇති එක්තරා බමුණෙක් නගරයෙන් පිටතට යන අතර, නගර දොරටුවෙහිදී (බුදුහිමි) දැක පුතු සෙනෙහස උපදවා පුත, මා ඔබ බොහෝ කලකින් දුටුවෙහි’ යැයි හඬමින් ඉදිරියට ගියේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, මේ බමුණා කැමැත්තෙන් කරන යම් දෙයක් නොවළක්වන’ ලෙස මහ සඟනට කීහ.
බමුණාද වසුපැටවාට ලොල්වන ගවදෙනක සේ අවුත්, ‘පුත, බොහෝ කලකින් දුටුවෙහි, ඔබ නැතිව බොහෝ කල්’ යැයි කියමින් බුදු සිරුර ඉදිරියෙන් ද පසුපසින් ද දකුණු පසින් ද, වම්පසින් ද හාත්පසින්ම වැළඳගත්තේය. ඔහුට එසේ ඉඩ නොලැබුණි නම්, ළය පැලී මියයනු ඇත. ‘භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේටද, පැමිණි මහා සඟණටද දානය පිරිනැමීමට මම තනිවම සමත් වෙමි, මට උපකාර වනු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසූහ. බමුණා පාත්‍රය ගෙන ඉදිරියෙන් යන අතර, ‘පුතා ආවේය, ආසන පැණවිය යුතු යැයි බැමිණියට පණිවුඩයක් යැවීය. ඇය එසේ කටයුතු කොට, පෙරමග බලා සිටින්නී, ඇතුලු වීදියෙහිදීම භාග්‍යවතුන් වහන්සේ දැක, පුතු සෙනෙහස උපදවා ‘පුත, ඔබ බොහෝ කලකින් දුටුවෙහි’ කියමින් දෙපා අල්ලාගෙන හඬා, නිවසට කැඳවා ගොස්, මැනවින් වැළඳවීය. වළඳා අවසන, බමුණා පාත්‍රය ඉවතට ගත්තේය. ඔවුන්ගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසූහ. දේසනය අවසන දෙදෙනාම සෝවාන් පල ලදහ. භාග්‍යවතුන් වහන්ස, මේ නුවර වසන තාක් කල් අප නිවසෙන්ම ආහාර ගත යුතු’ යැයි ඉල්ලා සිටියහ. ‘බුදුවරුන් මෙසේ නිති එකම තැනකටම නොයතැ’යි එය නොපිළිගත්හ. ‘එසේනම් හිමියනි, මහසඟණ සහ පිඬු හැසිරුණද, ඔබවහන්සේ මෙහිම බත්කිස කොට, දහම් දෙසා විහාරයට වඩිනු මැනවැ’යි පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට උපකාර පිණිස එසේ කළහ. මිනිස්සු බමුණාටද - බැමිණියටද බුදු පියා - බුදු මවු ලෙසටම ඇමතූහ. ඒ පවුල ද ‘බුදු කුලය’ යැයි නම ලැබීය.
ආනන්ද තෙරුන් වහන්සේ, ‘මම ඔබවහන්සේගේ මවුපියන් ගැන දනිමි, මොවුන් කුමක් නිසා, ‘මා බුදු පියා ය, මා බුදු මව’ යැයි කියත්දැ’යි ඇසූහ. ආනන්ද, මේ බමුණාත්, බැමිණියත් ඉපදුණු පන්සිය වාරයකදීම නිරතුරුවම මව්පියෝ වූහ. පන්සිය වාරයකදීම මවුපියන්ගේ දෙටුපුත් ද, පන්සිය වාරයකදීම ඒ මවුපියන්ගේ කනිටු පුතුද විය. ඔව්හු ඒ පෙර සිට වූ ආදර සෙනහසින් එසේ කියන බවද, පහත සඳහන් අරුත් ඇති ගාථාවක්ද වදාළහ.
‘පෙර එක්ව විසීමෙන් ද (එයින්) වත්මනෙහි ඇතිවන හිතවත් බව නිසාද සෙනහස මතුවන්නේ උපුල් මල හා ජලය මෙනි.’
සාකේත නගරයෙහි කැමතිතාක් කල් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ, නැවත චාරිකාවේ යෙදෙමින් සැවැත් නුවරටම පැමිණියහ. ඒ බමුණාද බැමිණියද සංඝයා වහන්සේ කරා පැමිණ සුදුසු දහම් දෙසුමක් අසා ඉතිරි මගපලවලට පත්ව අනුපාදිසෙසව පිරිනිවන්පෑහ. නගරවැසි බමුණෝ ‘අපගේ නෑයන්ට සත්කාර කරන්නෙමු’යි එහි රැස්වූහ. අප හා සම දහමක් පිළිපැද්දා වූ - දැහැමි වූ ඔවුනට සත්කාර කරන්නෙමු’යි සෝවාන්, සකදාගාමි, අනාගාමි උපාසක උපාසිකාවෝ ද රැස්වූහ. ඒ සියල්ලෝම කම්බිලි රෙදිවලින් කුළුගෙයක් තනා මල්සුවඳ ආදියෙන් පූජා කරමින් නගරයෙන් පිටතට ගෙන ගියහ.
භාග්‍යවතුන් වහන්සේද එදින අළුයම් වේලෙහි බුදු ඇසින් ලොව බලනවිට, ඔවුන්ගේ පිරිනිවන දැන, ‘මා එහි ගියකල දම්දෙසුම අසා බොහෝදෙනාට දහම් අවබෝධය ලැබෙන්නේ’ යැයි දැන, පාසිවුරු ගෙන, සැවැත්නුවරින් ආදාහන මළුවට පිවිසියහ. මිනිස්සු ඒ දැක, මවුපියන්ගේ අවසන් කටයුතු කරනු කැමතිව, භාග්‍යවතුන් වහන්සේ පැමිණියේ යැයි නමස්කාර කොට සිටියහ. නගර වැසියෝද පූජා පවත්වමින් කුළුගෙය ආදාහන මළුවට ගෙනවුත්, ‘මගපල ලැබූ ගිහි උතුමන්ට කෙසේ පිදිය යුතුදැ’යි විමසූහ. භාග්‍යවතුන් වහන්සේ ‘රහතන් වහන්සේට පූජා කරනු ලබන අයුරින්ම, මොවුන්ටද පූජා කළයුතු යැයි ද පවසා, ඔවුන් අරහත් බවට පත් මුනිවරයන් බව දැක්වීමට,
‘නිති කයෙන් සංවර වූ, කිසිවකුට කරදරයක්, හිරිහැරයක් නොකරන ඒ මුනිවරු සෝක නොකරන, ‘නිවන’ නම් තැනට යති’යි අරුත් ඇති මේ ගාථාව වදාළහ.
එහි පිරිස ගැන සළකා, ඒ මොහොතට ගැළපෙන ලෙස දහම් දෙසමින් මෙම සූත්‍රය වදාළහ.
අප්පං වත ජීවිතං ඉදං නිසැකවම මිනිස් ජීවිත කෙටිය. අල්පය. සුළු කාලයක් පවතී, ආදී ලෙසින් සල්ල සූත්‍රයේදී මෙම ගති සොබාව කියන ලදී. ඔරං වසස්සතාපි මීයති (ඉපදී) අවුරුදු සියයක් ඉක්මවීමට පෙර (මවුකුස) කලලයව තිබියදී ද මියයයි. අතිච්ච අවුරුදු සියය ඉක්මවා, ජරසාපි මීයති ජරාවට පත්ව මියයයි.