4. සුද්ධට්ඨක සූත්‍ර වර්ණනාව
පස්සාමි සුද්ධං යනු සුද්ධට්ඨක සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? පෙර කසුප් බුදුරදුන් කල, බරණැස වැසි එක්තරා කෙළෙඹියෙක් බඩු ගෙනඒම සඳහා ගැල් පන්සියයකින් පිටිසර ජනපදයකට ගියේය. එහි කැලයෙහි හැසිරෙන මිනිසකු සමග මිතුරුව, ඔහුට තුටුපඬුරු දී, ‘යහළුව, මෙහි සඳුන් හර දැක තිබේදැයි විමසීය. ‘එසේය හිමියනි, කී විට, ඔහු සමගම සඳුන් වනයට පිවිස, ගැල් සියල්ලම අරටුව, ඇති සඳුන් දැවයෙන් පුරවා, ඒ මිතුරාට ‘බරණැස පැමිණෙන විට සඳුන් හර ද ගෙන එව’යි කියා බරණැසටම ගියේය. පසුකලක, ඒ වනචාරී මිතුරා සඳුන් හරද ගෙන කෙළඹියාගේ නිවසට පැමිණියේය. කෙළඹියා ඔහු දැක සියළු පිළිසඳර කතාකොට, සවස්කල සඳුන්හර කුඩුකොට, කරඬු පුරවා, ‘මිතුර, දිය නාගෙන එන්නැ’යි තම සේවකයෙකු සමග නාන තොටුපලට යැවීය. ඒ කාලයෙහි බරණැස උත්සවයකි. බරණැස වැසියෝ උදෑසනම දානය පිරිනමා, පිරිසිදු වත් හැඳ මල්සුවඳ ආදිය ගෙන කසුප් බුදු මහසෑය වැඳීමට යති. ඒ වනචාරිකයාද ඔවුන් දැක, ‘මහජනයා කොහි යන්නේදැ’යි ඇසීය. ‘විහාරය, සෑය වැඳීමට බව අසා, ඔහු ද ගියේය. එහිදී මිනිසුන් හිරියල් මනෝසීල ආදියෙන් නොයෙක් ආකාරයෙන් සෑයට පූජා කරනු දැක, එබඳු විසිතුරු දෙයක් කිරිමට නොදැන, ඒ සඳුන් ගෙන මහා සෑයෙහි රන්ගඩොල් මත ලෝහ පාත්‍රයක් තරම් කවාකාර ලෙස සකස් කළේය. හිරු උදාවන විට එය හිරු රැසින් පැහැපත් විය. ඔහු එය දැක පැහැද, ‘ඉපදෙන, ඉපදෙන හැම වරකම, මෙබඳු රැස් දහරක් මගේ ළයෙන් විහිදේවා’යි පැතීය. ඔහු කළුරියකොට, තව්තිසාවෙහි උපනි. ඔහුගේ ළයෙන් රැස් නැගුණි. ළයමඬල සඳමඬල මෙන් බබළයි. ‘චන්ද්රාභ’ දෙව් පුත් යැයි හැඳින්වීය.
චන්ද්රාභ දෙව් පුතු ඒ සම්පතින් යුතුව, දෙව්ලෝ සයෙහිම අනුලෝම පටිලෝම ලෙස හෙවත් ඒ ඒ දෙව්ලෝ පිහිටි පිළිවෙළින් (ඉපිද) වැස එක් බුද්ධාන්තරයක් ගෙවා අප ගොතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල, සැවැත්නුවර බමුණු මහසල්කුලයෙක උපන්නේය. ඔහුගේ ළයෙහි සඳමඬල සදිසි රැස් මඩුල්ලක් විය. නම් තබන දවසෙහි, සිරිත් ඉටුකොට, බමුණෝ ඒ රැස් මඬුල්ල දැක, ‘මේ කුමරු බොහෝ යසඉසුරින් පින් ලකුණින් හොබනේ යැයි පුදුමව ‘චන්ද්රාභ’ නමින්ම හැඳින්වූහ. චන්ද්රාභ වැඩිවිය පත් කල, ඔහු අලංකාර කොට, පටරෙදි ඇඳුමින් උඩුකය පොරවා, යානාවක නංවා ‘මේ මහා බ්‍රහ්මයා’ යැයි පූජාකොට, ‘චන්ද්‍රාභය දකින තැනැත්තකු ධනය, කිතුරාව ලබන බවද, මරණින් පසු සඟලොව උපදනා බවත් හඬනගා කියමින්, ගම් නියම්ගම් රාජධානිවල ඇවිදිත්. ගිය ගිය තැන්හි මිනිස්සු. ‘මේ පින්වත් චන්ද්රාභ දැකීමෙන් කිතුගොස, ධනය, සඟසැප ලබති’යි පොරකමින් එති. මුළු දඹදිවම මෙයින් කලබල විය. බමුණෝ හිස්අතින් පැමිණෙන්නවුන්ට චන්ද්රාභ දැකීමට ඉඩ නොදෙති. (කහවණු) සියයක් හෝ දහසක් හෝ රැගෙන පැමිණෙන්නන්ටම පෙන්වති. මෙසේ චන්ද්රාභ රැගෙන සැරිසරන බමුණෝ කෙමෙන් සැවැත්නුවරටද පැමිණියහ.
ඒ වනවිට, භාග්‍යවතුන් වහන්සේ උතුම් දම්සක් පවත්වා, අනුපිළිපිලිවෙලින් සැවැත් නුවරට අවුත්, බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසමින්, ජේතවනාරාමයෙහි වසති. සැවැත්නුවරෙහිදී චන්ද්රාභ සමුදුර පත් කුඩා ගඟක් බඳු විය. ‘චන්ද්රාභ’ යැයි කියන කෙනෙකුදු නැත. සවස් කල මහජනයා මල් සුවඳ ගෙන ජේතවනාරාමය දෙසට යනු දුටු ‘චන්ද්රාභ’ ‘කොහි යවුදැ’යි ඇසීය. ‘බුදුවරයෙක් ලොව උපන්හ. උන්වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසති. එය අසන්නට ජේතවනාරාමයට යමු’යි ඔවුහු කීහ. ඒ අසා බමුණු පිරිස පිරිවරා ඔහු එහි ගියේය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ වේලාවේ දම් සභාවෙහි උතුම් බුදු අස්නෙහි වැඩසිටියහ. චන්ද්රාභද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, මිහිරි පිළිසඳර කතාකොට, එකත්පස්ව හුන්නේය. එකෙණෙහිම ඔහුගේ ආලෝකය අතුරුදහන් විය. බුදුරදුන්ගේ ආලෝකය (බුදුරැස්) හමුවේ අසූරියනක් දුරට වෙනත් ආලෝකයක් නොවිහිදේ ‘චන්ද්‍රා’ ‘මගේ ආලෝකය නැති වී’ යැයි හුන් තැනින් නැගී ඉවතට යාමට සූදානම් විය.
එවිට එක් මිනිසෙක් ‘කිම? චන්ද්රාභ, සමණ ගොතමයන්ට බියවී යන්නෙහිදැ’යි ඇසීය. ‘මම බය නොවෙමි, එහෙත් එතුමන්ගේ තේජසින් මගේ ආලෝකය විහිදෙන්නේ නැතැ’යි කියා නැවත භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිඳ දෙපතුල සිට හිසකෙස් අග දක්වා රූසිරි ලකුණු සම්පත් දැක, ‘සමණ ගොතම මහා බලවත්ය, මගේ ළමැදෙහි කුඩා ආලෝකයක් විහිදුණි. එපමණකින් බමුණෝ මා රැගෙන මුළු දඹදිවම හැසිරෙති. ඒ උතුම් සම්පත් ලකුණින් හෙබි සමණ ගොතමයන්ගේ කිසිදු මානයක් හෝ උඩඟුකමක් හෝ නැත. නිසැකවම, ‘එතුමන් උසස් ගුණෙන් යුතු, දෙවිමිනිසුන්ට යහමග පෙන්වන්නෙකැ’යි බොහෝ පැහැද සතුටු සිතින් භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැවිදි කරන ලෙස ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මොහු පැවිදි කරන්නැ’යි වෙනත් තෙරනමකට දැන්වූහ. තෙරුන් වහන්සේ ඔහු පැවිදිකොට, සිරුරෙහි කෙස් සිට සම දක්වා කමටහන් පහදා දුන්හ. පැවිදි වූ චන්ද්රාභ විදසුන් වඩා නොබෝ කලකින්ම අරහත් බවට පත්ව, චන්ද්රාභ තෙරුන් යැයි හැඳින්වීය. අනෙක් හිමිවරු, ‘ඇවැත්නි, පෙර ඇස් නැමති දොරකඩට අරමුණු වූ චන්ද්රාභගේ රුව දුටුවන්, ඒ දැමෙන් ධනය හෝ යසස ලැබ ඇත, සගලොව හෝ ගොසිනි. පිරිසිදු බවට හෝ පත්ව ඇතැයි කතාබහ කළහ. ඒ අදහස් පාදකකොට භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය වදාළහ.
පළමු ගාථාවෙහි අරුත නම්, ‘මහණෙනි, මෙබඳු දැකීමෙන් පමණක් පිරිසිදු බව ඇති නොවේ. එහෙත් කෙලෙස් කිලුටෙන්, අපිරිසිදු කෙලෙස් රෝගයෙන් ඈත් නොවී, එයින් රෝගීවම, චන්ද්රාභ බමුණු හෝ වෙනත් මෙබඳු රුවක් දැක අනුවණයා දැඩිව ගත් හැඟීමෙන් එය මෙනෙහි කරන්නේ පස්සාමි සුද්ධං පරමං අරොගං යනුවෙනි. එබඳු දිට්ඨි දැඩිව ගත් දැකීමෙන්, හැඟීමෙන්, සංසුද්ධි නරස්ස හොති, ඔහු මෙසේ අහිජානන්තො ඒ දැකීම ‘උසස්’ යැයි දැන එය දැඩිව සිතට ගැනීමෙන් සුද්ධානුපස්සී එයම (තම අරමුණ කරා) නුවණින් යා යුතු මග යැයි සිතයි. එය නුවණ ලබන මග නොවේ. එහෙයින් දැකීමෙන්ද, පිරිසිදු බවින්ද..... යන දෙවන ගාථාව කීහ.