3. දුට්ඨට්ඨක සූත්‍ර වර්ණනාව
වදන්ති වෙ දුට්ඨමනාපි දුට්ඨට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මුල් ගාථාවෙන්ම එය සඳහන් වේ. මුනි සූත්‍රයෙහි ද දැක්වූ පරිදි භාග්‍යවතුන් වහන්සේට සහ සඟ පිරිසට ලද සිවුපස ලාභ සත්කාර ඉවසිය නොහැකි වූ වෙනත් සමයවාදීහු සුන්දරි පිරිවැජි යොදවා ගත්හ. ජනපදයටම සුන්දරියක් වූ ඇය, සුදුවත් හැඳ පිරිවැජියක් වූවාය. භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සැවැත්නුවර වාසීන් ජේතවනාරාමයෙන් නික්ම යන වේලාවට, ඇය මැනවින් දිය නා, හොඳින් හැඳපෙරවා, මල් සුවඳ විලවුන් දරමින් ජේතවනාරාමය දෙසට යන්නීය. මිනිසුන් කොහි යන්නෙහිදැ’යි විචාරන ලදුව, ‘සමණ ගෝතමයන්ද, සව්වන් සමගද සැපවිඳ සතුටුවන්නට යමි’යි කියා, ජේතවන දොරකොටුව (අසළ) හැසිර, එය වැසූ කල, නගරයට පිවිස, උදෑසන ජේතවනාරාමයට ගොස් සුවඳ කුටිය ළඟ මල් සොයන්නියක මෙන් හැසිරෙන්නීය. බුදු උවැටනට ආ මිනිසුන් ‘කුමක් නිසා පැමිණියෙහිදැ’යි ඇසූවිට කිසියම් දෙයක් කියන්නීය. මෙසේ අඩමසක් පමණ ගත වූ කල වෙනත් සමයවාදීහු ඈ මරා, දිය අගල අසළ වළලා, උදැසනම ‘සුන්දරී නොදුටුවෙමු’යි කලබලකොට, රජුටද දන්වා රජුගේ අවසරයෙන් ජේතවනාරාමයට අවුත්, සොයන්නාක් මෙන්, ඒ වැළලූ තැනින් පිටතට ගෙන, මැස්සක තබා නගරයට ගෙනවුත් නින්දා අපහාස කළහ. මේ විස්තර සියල්ල පෙළෙහි දක්වා ඇති අයුරින් දතයුතුය.
භාග්‍යවතුන් වහන්සේ, එදින අළුයම බුදු ඇසින් ලොව බලත්ම, ‘අර සමයවාදීන් අද නින්දා උපදවති’යි දැන, ඔවුන්ගේ කීම අදහා, මා වැනි (බුදු) කෙනෙකු කෙරෙහි සිත කෝපයෙන් පුරවාගෙන, මහජනයා අපායෙහි නොයේවා’යි (සුවඳ කුටියෙහි දොර වසා) කුටිය තුළම සිටියහ. පිඬු පිණිස නගරයට නොවැඩියහ. දොර වසා ඇති බව දුටු සංඝයා වහන්සේලා පෙර පරිදිම පිඬු පිණිස වැඩියහ. මිනිස්සු උන්වහන්සේලා දැක නොයෙක් ලෙසින් නින්දා කළහ. එවිට ගරුකටයුතු අනඳ හිමි, ‘භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත සැළකොට, හිමියනි, අන් සමයවාදීන් මහත් නින්දා උපදවන ලදී. මෙහි විසීමට නොහැකියි. දඹදිව් විසාලයි. වෙනත් පෙදෙසකට යමු’යි කීය. ‘ආනන්ද, එහිදීත් අපහාස ලදොත් කොහි යන්නෙහිද?’ ‘භාග්‍යවතුන් වහන්ස, වෙනත් නගරයකට’ (අනඳ හිමි පැවසීය.) ‘ඉවසන්න, ආනන්ද, අපහාස හඬ සත් දවසක් පමණි. සත් දිනකින් පසු, අපහාස කළ තැනැත්තන්ටම පෙරළා එනු ඇතැ’යි කියා, ආනන්ද හිමිට දහම් දෙසනු පිණිස ‘වදන්ති වෙ’ යන මේ ගාථාව වදාළහ.
වදන්ති භාග්‍යවතුන් වහන්සේටද, බික්සඟණටද දොස් නගති. දුට්ඨමනාපි එක අථොපි වෙ සච්චමනාපි එකෙ ඇතමෙක් නපුරු සිතින්ද, ඇතමෙක් එය එසේයැයි සිතාගෙන, වෙනත් සමයවාදීන් දොස් නඟන්නේ නපුරු සිතිනි. (ඇතැම්හු) ඔවුන්ගේ වචන පිළිගත්හ. එය ඇත්ත යයි යන අදහසයි. වාදඤ්ච ජාතං එම අපහාස වචන කීම ඇරඹිණ. මුනි නො උපෙති බුද්ධ නම් වූ මුනිවරයා එසේ නොකරන හෙයින් ද, කෝප නොවන හෙයින් ද ඔවුන්ගේ මගට නොපැමිණෙත්. තස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි ඒ නිසා මේ මුනිවරයාට රාගාදී උල් නැත.
භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව කියා, ‘ආනන්ද, මෙසේ දොස් නගා අවමන් කරනු ලබද්දීත්, සංඝයා කුමක් කියත්දැ’යි විචාළහ. ‘හිමියනි, කිසිවක් නොකියති.’ ‘ආනන්ද, මා සිල්වතෙක් යැයි’ හැමවිටම නිහඬ විය යුතු නැත. මෝඩයන් සමග පණ්ඩිතයා (මෙබඳු) කතා නොකරන බව ලෝකයා දනී. ආනන්ද, සංඝයා ඒ මිනිසුන්ට පෙරළා කියත්වා’යි සිදුනොවූ - බොරු දේවල් සිදුවූවක් සේ පවසන තැනැත්තා නිරයට යයි’. අභූතවාදී නිරයං උපෙති යන ගාථාව වදාළහ. ආනන්ද හිමි ද එය ඉගෙන ‘ඔබලා විසින්, ඒ මිනිසුන්ට මේ ගාථාවෙන් පිළිතුරු දිය යුතු’ යැයි පැවසීය. සංඝයා වහන්සේලා එසේ කළහ. දැනුම් තේරුම් ඇත්තෝ නිහඬ වූහ. රජතුමාද ඔහුගේ මිනිසුන් හැමදෙසටම යවා, වෙනත් සමයවාදීන් - තීර්ථකයන් විසින් සළෙලුන්ට අල්ලස් දී ඇය මරවන ලද බවත්, ඒ මගින් අපහාස කරන ලද බවත් ඔවුන්ගෙන් දැන, ඒ තීර්ථකයන්ට අවමන් කළේය. මිනිස්සුද, ‘භාග්‍යවතුන් වහන්සේට අවමන් කළේ යැයි ඒ තීර්ථකයන් දැක කැටකැබලිතිවලින් ගසති. ඔවුන්ගේ සිරුරුවලට පස් විසිකරති. ඒ දුටු ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. එවිට සකං හි දිට්ඨිං -පෙ- වදෙය්‍යාසි යන ගාථාව ආනන්ද හිමිට වදාළහ.