2. ගුහට්ඨක සූත්‍ර වර්ණනාව
සත්තො ගුහායං ගුහට්ඨක සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසද්දී ගරුකටයුතු පිණ්ඩොල භාරද්වාජ හිමි කොසඹෑ ගංඉවුරෙහි ජල වනය නම් උදේන රජුගේ උයනෙහි සිහිලැල් පෙදෙසෙහි දිවාකාලය ගතකරනු කැමතිව එහි ගියේය. වංගීස සූත්‍ර විස්තරයෙහි දී කියා ඇති පරිදි ගවම්පතී තෙරුන් තව්තිසාවට වඩිනා සේ, පිණ්ඩොල භාරද්වාජ හිමි ද පෙර පුරුද්ද පරිදි - වෙනත් දිනවල මෙන්, එදිනද එහි ගොස් ඇත. භාරද්වාජ හිමි, ගංතෙර රුක්මුලක හිඳ දිවා විහරණය පිණිස සමවතට පැමිණියේය. උදේන රජුද එදිනම උයන්කෙළියට ගොස්, බොහෝ සේ නැටුමෙන්, ගීතයෙන් දවසෙන් වරුවක්ම ගතකොට, පානය කළ දෙයින් මත්ව, එක් කාන්තාවකගේ ඇකයෙහි හිස තබා නිදා ගත්තේය. අනෙක් කාන්තාවෝ ‘රජ නිදි’ බැවින් උයනෙහි මල්පල ආදිය නෙලමින් සිටියදී තෙරුන් වහන්සේ දැක, ලජ්ජා බය ඇතිව, ‘නිහඬ වෙව’යි එකිනෙකා වළකා, නිහඬව එතැනට එළඹ උන්වහන්සේ පිරිවරා හිඳගත්හ. තෙරුන්වහන්සේ, සමවතින් නැගිට, ඔවුනට දහම් දෙසූහ. කාන්තාවෝ සතුටට පත්ව ‘සාධු සාධු’ නද පවත්වමින් දහම් අසති.
තම ඇකයෙහි රජු හිස තබාගෙන සිටි කාන්තාව, ‘මොවුන් මා හැරදමා කෙළිදෙලින් සිටිති’යි ඉසියෙන් යුතුව (තම) කලව සොලවා රජු පිබිද වූවාය. රජු (අනෙක්) කාන්තාවන් නොදැක, ‘මේ වසලියන් කොහිදැ’යි ඇසීය. ‘ඔබවහන්සේට උදව් නොවී, මහණකු සතුටු කරන්නාහ’යි කීවාය. රජු කිපී තෙරුන් හමුවට ගියේය. ඇතැම් කාන්තාවෝ රජු දැක නැගී සිටියහ. ඇතැම් කාන්තාවෝ ‘මහරජ, අපි පැවිදි කෙනෙකුගෙන් දහම් අසන්නෙමු’යි නොනැගී හුන්තැනම සිටියහ. රජු එයින් වඩාත් කිපී තෙරුන් වහන්සේට නොවැඳම, ‘කුමක් නිසා පැමිණියේදැ’යයි ඇසීය. ‘මහරජ, විවේකය පිණිස’ යැයි තෙරුන්වහන්සේ පිළිතුරු දුන්හ. රජු ‘විවේකයට අවුත්, මෙසේ කාන්තාවන් පිරිවරාගෙන ඇත, ඔබේ විවේකය මට කියව’යි කීය. ‘විවේකය පිළිබඳව පහදා දීමට හැකි වුවද මොහු විමසන්නේ දැනගැනීමට නොවේ’ යැයි දන්නා තෙරණුවෝ නිහඬ වූහ. ‘නොකියන්නෙහි නම්, දිමියන් ලවා කවවන්නෙමි’යි කී රජු, එක් අසෝක ගසෙක තිබුණු දිමිගොටුවක් (ඉවතට) ගැනීමේදී තමා මත්තෙහිම විසිරුණි. රජු ඇඟ පිසදා, වෙනත් දිමිගොටුවක් ගෙන, තෙරුන්වහන්සේ ඉදිරියට ගියේය. ගවම්පති තෙරුන්වහන්සේද, ‘රජතුමා මට අපරාධයක් කරන්නේ නම්, අපා දොරටුවෙහි සිටින්නේ’ යැයි ඔහුට අනුකම්පාවෙන්, ඉඳු බලයෙන් අහසට නැගී ගියහ.
එවිට කාන්තාවෝ, ‘රජතුමනි, වෙනත් රජවරුන් නම් මෙබඳු පැවිද්දකු දැක, මල්සුවඳ ආදියෙන් පූජා කරති. ඔබතුමා දිමිගොටුවකින් හිරිහැර කිරීමට සූදානම් විය. කුල පරම්පරාවේ සිරිත් වැනසීමට කටයුතු කරන ලදැ’යි කීහ. රජු තම වරද දැක නිහඬව, ‘වෙනත් දිනකදී ද තෙරුන්වහන්සේ මෙහි එන්නේදැ’යි උයන්පල්ලාගෙන් ඇසීය. ‘එසේය, මහරජ’ උයන්පල්ලා කීවේය. එසේනම් පැමිණිවිට මට දැනුම්දෙව’යි කීය. එක්දිනක තෙරුන් වහන්සේ උයනට පැමිණිවිට, රජුට දැන්වීය. රජු ද තෙරුන්වහන්සේ වෙත එළඹ, පැන විමසා දිවිහිමියෙන් (තෙරුවන්) සරණ ගියේය. දිමි ගොටුවෙන් හිරිහැරයට පත් තෙරුන්වහන්සේ එදින අහසින් ගොස් නැවත පොළවෙහි ගිලී, භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සුවඳ කුටියෙන් මතු වූහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව, දකුණුපසට හැරී, සීහ ඉරියවුවෙන් සැතපී සිටි අතර, ගවම්පතී තෙරුන් දැක, ‘භාරද්වාජ කිම? අකාලයෙහි පැමිණියෙහිදැ’යි ඇසූහ. ‘එසේය භාග්‍යවතුන් වහන්ස’ කියා සියළු තතු සැළ කළහ. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ, ‘ඔහුගේ විවේක කතාව’ නම්, කාමයෙහි ගැලීම’ යයි කියා දකුණු ඇලයෙන් හිඳිමින්ම, තෙරුන්වහන්සේට දහම් දෙසනු පිණිස මේ සූත්‍රය වදාළහ.
එහි සත්තො ඇලුනු තැනැත්තා ගුහායං සිරුරෙහි, රාගාදී සෙලවීම්වලට සිරුර තුල වාසය කිරීමට ඉඩ ඇති නිසා, ‘ගුහා’ යැයි කියනු ලැබේ. බහුනාභිඡන්නො හටගන්නා රාගාදී බොහෝ කෙලෙස්වලින් මනාව වැසුනේ, මෙයින් තමා (නොදැනුවත්වම) බැමිවලින් හිරකර ඇති බව පවසන ලදී. තිට්ඨං රාගාදි (සිතිවිලිවල) පිහිටා සිට, නරො මිනිසා මොහනස්මිං පගාළ්හො කාමයන්හි ඇති ගති සොබාවනට ‘මොහනය’ යැයි කියනු ලැබේ. එහිදී දෙවියෝද, මිනිස්සුද මුළාවෙති. ඒවායෙහි දැඩිසේ වෙළී, ඇතුලට බැස, එයින් බාහිරව ඇති බැඳීම් කියන ලදී. දූරෙ විවෙකාහි තථාවිධො සො එබඳු මිනිසා කාය විවේකාදී තුන් ආකාර විවේකයෙන් ඈත්වේ. ඊට හේතු කුමක්ද? කාමා හි ලොකෙ න හි සුප්පහායා ලෝකයෙහි කාමයන් පහසුවෙන් අත්හළ නොහැකි බැවිනි.
මෙසේ පළමු ගාථාවෙන්, ‘එබඳු තැනැත්තා විවේකයෙන් ඈත්වේ’ යැයි පහදා දෙමින්, නැවත එබඳු පුද්ගලයන්ගේ ගති සොබාව ඉච්ඡා නිදානා යන ගාථාවෙන් වදාළහ. ඉච්ඡා නිදානා තණ්හාව හේතුකොට, භවසාතබද්ධා සැප වේදනාදියෙන් සසරෙහි ඇළුම් ඇති, තෙ දුප්පමුඤ්චා ඔව්හු සසර ඇළුම් වඩන කටයුතුවල යෙදෙමින්, එහි බැඳී කැමැත්තටම ආසාවටම ඉඩදෙමින් මිදිය නොහැකිව සිටිති. න හි අඤ්ඤමොක්‍ඛා අන් කෙනෙකු විසින් ද එයින් මුදවා ගැනීමට නොහැකි වෙති. ඒ තැනැත්තන් මුදවා ගැනීම අපහසුය. කවර හෙයින්ද? වෙනත් කෙනෙකුන් විසින්ද මුදවා ගත නොහැකි හෙයිනි. යම් ආකාරයෙන් මිදෙන්නාහු නම්, තම උත්සාහයෙන්ම මිදිය යුතුයැයි මෙහි අරුතයි. පච්ඡා පූරෙ වාපි අපෙක්‍ඛමානා අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ තමා කැමති දේ පතමින්, ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං දැන් පවතින කැමැත්ත - කාමයන් ගැනද කලින් පැවති හෝ අතීතයේ හා අනාගතයෙහි ද දැඩිසේ ආසාවෙන් පතමින් මේ වචන දෙක (මුලදී සඳහන්) ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්‍ඛා’ යන පද සමග සම්බන්ධ වන බව දතයුතුය. අනෙක් තැනැත්තෝ ඒවා ගැනම පතමින්, ‘ඊට කුමක් කරත්ද? කළේ කුමක්දැ’යි කියමින් (කාමයෙහි) අවසානයක් නොලබති.