8. සල්ල සූත්‍ර වර්ණනාව
අනිමිත්තං යනු සල්ල සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරිමට හේතුව කුමක්ද? භාග්‍යවතුන් වහන්සේට උවටැන් කරන එක් උපාසකතුමෙක් විය. ඔහුගේ පුතා මළේය. ඔහු පුතු මළ සොවින් සත්දිනක්ම නිරාහාරව සිටියේය. ඔහුට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ නිවසට වැඩමකොට ශෝකය දුරුකරනු පිණිස මෙම සූත්‍රය වදාළහ.
අනිමිත්තං යම් කටයුතුවල නිරතවීමට නොහැකිවීමයි. ‘මා යම් වේලාවක ඇසින් ඉඟි කරද්දී හෝ, ඇහි බැම ඉහළට නැංවීම වැනි ඒ නිමිති අනුව (ඒ හඟවන ලකුණු අනුව) ඒ දෙය ඉවතට ගෙන යන්න’ මේ ආදී ලෙසට කටයුතු කරනු ඇත. ජීවිතය මෙසේ නොවේ. ලබාගැනීමට නොහැකිය. මම මේ ලෙස හෝ කරන්නම්, එතෙක් ඔබ ජීවත්වන්න, මැරෙන්න එපා! (මෙපරිදි තිර බවක් නැත.) අනඤ්ඤාතං මෙපමණ කලක් මොහු ජීවත්විය යුතුයැයි, ඉපිද ජීවත්වන කාලය හෝ, ආයු කාලය අවසානය හෝ ඒකාන්තයෙන් දැනගත නොහැකි ය. චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුකාලය මෙපමණකැයි දක්වා ඇතත්, (මිනිසුන්ට) එසේ නොවේ. මච්චානං මෙසේ නිසැකවම දැනගත නොහැකිය.
කසිරං නොයෙක් කරුණු, දේවල් හා සම්බන්ධවන බැවින් සුවසේ යැපීම අපහසුය. ඒ අනුව හුස්ම ගැනීමත්, හුස්ම පහළ හෙළීම ද මහාභූතවලින් සකස්වීමත්, පිඬු ලෙස ගන්නා ආහාරයත්, උණුසුමත්, හැඳිනීමේ, සිතීමේ හැකියාවත් අතර ඇති සම්බන්ධය නොතිබේ නම්, නොකිය හැකි වුවත්, නොදැකිය හැකි වුවත් ජීවත් නොවේ. සිවු ධාතුන් අතරින් පඨවි ධාතුව කෝප වීමෙන්, වෙනස් වීමෙන් විස සපෙකු ඩසිනු ලැබූ විටකදී මෙන් ලී කැබැල්ලක් මෙන් සිරුර තද බවට - දරදඬු බවට පත්වේ. එහෙයින් කියා ඇත -
පත්‍ථද්ධො භවතී කායො දට්ඨො කට්ඨමුඛෙන වා
පඨවීධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙව සො’
ආපෝ ධාතුව කිපීමෙන් - වෙනස් වීමෙන් සිරුර කුණු වූ ගතියට පත්ව, සැරව මස් ලේ වැගිරීමෙන් ඇටසම පමණක් ඉතිරි වේ.
පූතියො භවතී කායො දට්ඨො පූතිමුඛෙන වා
ආපො ධාතුප්පකොපෙන හොති පූතිමුඛෙව සො
තේජෝ ධාතු කිපීමෙන් - වෙනස්වීමෙන් ගිනි අඟුරුවලකට දැමුවාක් මෙන් සිරුර හාත්පස දැවෙයි.
සනතත්තො භවතී කායො දට්ඨො අග්ගිමුඛෙන වා
තෙජො ධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙව සො
වායෝ ධාතුව කිපීමෙන් - වෙනස්වීමෙන් ජරාවට පත්වන සිරුරේ හන්දි බැඳුම් ගලෙක දමා කොටන ලද පරිදි ඇට බිඳී යයි.
සඤ්ජින්නො භවති කායො දට්ඨො සත්‍ථමුඛෙන වා
වායොධාතුප්පකොපෙන හොති සත්‍ථමුඛෙවසො
මෙසේ ධාතු සතර නියම ලෙස සම සමව නොවූ විට සිරුර නොපචතී. ඒ ධාතු එකිනෙක මැනවින් පවතිමින්, සම ලෙස ඇතිතාක් ජීවිතය පවතී. මෙසේ ජීවිතය මහාභූත හා බැඳී ඇත. දුබික් කාලවලදී ආහාර නොලැබීමෙන් ජීවිත නැසෙන අයුරු පැහැදිලිය. කැබලිකොට, පිඬුකොට ගන්නා ආහාරය ජීවිතය හා බැඳෙන්නේ මෙසේය. එසේ ආහාරපානාදිය දිරවීමේදී (සිරුරෙන් ලැබෙන) උණුසුම නිසි පරිදි නොලැබුණු විට, ජීවිතය නැසෙන සැටි ද පැහැදිලිය. එසේම ජීවිතය, උණුසුම හා බැඳී පවතී. පණ හෙවත් සිත් පරම්පරාව නැති වූ කල්හි, එතැන් පටන් ජීවිතය හෝ ජීවී පුද්ගලයකු නැත. මෙයද ලොවෙහි පැහැදිලි දෙයකි. මෙසේ ජීවිතය, විඤ්ඤාණය හා බැඳී ඇත. මේ අයුරින් නොයෙක් හේතු නිසා ජීවිත පැවැත්ම අපහසු යැයි දතයුතුය.
පරිත්තඤ්ච අල්පය. දෙවියන්ගේ ජීවිතය හා සළකන විට, තණ අග පිනිබිඳක් හා සමානය. අසුරු සැනකින් හෝ සිත ඉදිරියට නොනැඟෙන තරම් අල්ප වෙයි. බොහෝ කලක් ජීවත්වන්නකු අතීතයේ තිබූ සිතින්ම ජීවත් වූයේ නොවේ. දැන් ජීවත් වේනම්, ඒ සිතින්ම ජීවත්වන්නේද නොවේ. අනාගතයෙහිද ජීවත්වන්නේ නොවේ. වත්මනෙහි දැන් ජීවත්වන්නේ ද අනාගත සිතකින් නොවේ. වත්මනෙහිද ජීවත් නොවේ. ජීවත් වන්නේද නොවේ. ජීවත් වුයේද නොවේ. කියන ලදී -
‘ලැබී ඇති ජීවිතය හුදෙක් සැප දුක පමණි. එක් සිතකින් යුතුව, ඒ මොහොතෙහි ඇතිවී, ගෙවී යන ඉක්මන් වූ මොහොතක්ම වෙයි. කප් අසූහාර දහසක් කල් දෙවියෝ සිටිත්ද, සිත් දෙකකින් ඔව්හු ද ජීවත් නොවෙතියි’ ද යනුවෙනි..
තඤ්ච දුක්‍ඛෙන සඤ්ඤුතං ඒ ජීවිතය මෙසේ නියමිත කාලයක් නැතිව, කොතෙක් කල් ජීවත්වේදැයි නොදැන, අපහසුවෙන්, සීතලෙන්, උණුසුමෙන්, ඩැහැලේ බොන මැසි මදුරු ආදීන්ගෙන් වන ගැහැටෙන්ද, සාපිපාසා නිසා ඇතිවන දුක්පීඩාවෙන් ද, ඒ සියළු කරුණු හේතුකොට ලබන දුකින්ද (නිරතුරුවම) වෙනස්වීම නිසා ඇතිවන දුකින්ද, හැම ලෙසකින්ම දුක් සමූහයකින්ම සමන්විත වේ. එසේ කියන ලද්දේ කුමක් නිසාද? මිනිසුන්ගේ ජීවිත මෙබඳුය. එහෙයින් ඔබ ජීවිතය අවසන් වනතුරු දැහැමි හැසිරීමෙහි යෙදෙන්න. පුතු වෙනුවෙන් සෝක නොවවයි (අදහසිනි)
එමෙන්ම සියළු අවැසි දෙය සපයා දෙමින්, මැනවින් පුතු රැක බලා ගත්තද, ‘ඔහු මළේ ය, සෝක කෙරෙමි’යි ඔබ සිතන්නෙහිද? එසේ කණගාටු නොවන්න. න හි සො උපක්කමො අත්‍ථි යෙන ජාතා න මීයරෙ උපන් සතුන් නොමැරෙත්වා! රැකගනිත්වා’යි කියනු ලැබූවත්, ඊට කළ හැකි කිසිදු පිළියමක් නැත. එහිදී උපාසකතුමා ‘හිමියනි, ජරාවට පත්වීනම්, මරණය සුදුසුය. ඉතා තරුණ වියෙහිම මගේ පුතු මළේ යැ’යි සිතූ පරිදි, ‘ජරාවට පත්වුවද නොවූවද මරණය සිදුවෙයි. එහි නියමයක් නැතැ’යි වදාළහ.