3. මහා වර්ගය
1. පබ්බජ්ජා සූත්ර වර්ණනාව
පබ්බජ්ජං කිත්තයිස්සාමි යනු පබ්බජ්ජා සූත්රයයි. එම සූත්රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන කල, ‘සැරියුත් ආදී මහරහත් සාවකයන් වහන්සේලාගේ පැවිද්ද අගය කරන ලද බවත්, ඒ තොරතුරු අනෙක් සඟ පිරිස හා උපාසකවරුන්ද දන්නා බවත්, බුදුරජාණන් වහන්සේගේ පැවිදිවීම එසේ අගය කොට වදාරා නැති බවත්, ‘ගරු කටයුතු ආනන්ද හිමියන්ට සිතුණි. එහෙයින් ‘මම එය විස්තරකොට කියන්නෙම් නම් මැනවැ’යි ජේතවන මහා විහාරයෙහි දහම් අසුනෙහි හිඳ විසිතුරු වටාපොත ගෙන, සඟ පිරිසට භාග්යවතුන් වහන්සේගේ පැවිදිවීම විස්තර කරමින් මෙම සූත්රය කීහ.
එහිදී පැවිද්ද ගැන කියන්නේ නම්, පැවිදි වූ ආකාරය (මුල සිටම) සඳහන් කළ යුතු වේ. එසේ පැවිදි වූ අයුරු කියන්නා විසින් ඒ පිළිබඳව විමසූ කෙනෙකුට පැහැදිලි වන අයුරින් කිවයුතුය. එහෙයින් ‘පැවිදිවීම ගැන කියන්නෙමි’යි කියා ‘පැවිදි වූ අයුරු’ මුලසිටම කීහ. චක්ඛුමා ඇස් පහකින් යුතු, (පසැස් යනුවෙන් තථාගතයන් වහන්සේ අදහස් වේ.) ඉතිරි කරුණු මුල් ගාථා විස්තරයේදී සඳහන්ව ඇත.
දැන් යථා වීමංසමානො එම කරුණු පවසමින්, සම්බාධොයං ගාථාව කීහ. සම්බාධො අඹුදරුවන් ආදීන්ගෙන් වන දුක්පීඩාවලින් ද, කෙලෙස් පීඩාවලින්ද කුසලමය කටයුතුවලට ඉඩ නොමැති වීමෙන්, රජස්සායතනං අසුන්ට කාම්බෝජ දේසය මෙන් (ගිහි දිවිය) රාගාදී දූවිලිවලට නිජබිමයි. අබ්භො කාසො ඒ කියන ලද අවහිරතාවනට සතුරුවන අයුරින් අහස මෙන් පැතිරුණා වූ, ඉති දිස්වාන පබ්බජි. ගිහිගෙයි විසීමේදී ඇතිවන රෝග, ජරාව, මරණය ආදියෙන් පොළඹවන ලදුව, මෙසේ එහි ගැහැට දැන, පැවිදිවීමෙහි යහපත සළකා, සියළු දෙයම අත්හැර, නික්ම ගොස්, අනොමා ගංතෙරදී කඩුවෙන් කෙස් සිඳ දෑඟුල් පමණ කෙසින් යුතුව, ඝටීකාර බ්රහ්මයා පුදන ලද අටපිරිකර පිළිගෙන ‘මෙසේ හැඳිය යුතුය. මෙසේ පෙරවිය යුතුයැ’යි කිසිවෙකුගෙන් උපදෙසක් නොමැතිව, සිය දහස් වර උපන් නොයෙක් ජීවිත පැවතුමෙන් හික්මවන ලද පැවිදි බවට නතු වූ සිතින්ම පැවිදි වූයේය. එක් කසාවතක් හැඳ, එකක් උතුරු සළුවක් සේ සිවුරක් කොට උඩුකය වසා, මැටි පාත්රයක් උරහිසෙහි එල්ලාගෙන, පැවිදි වෙස් දැරීමට අදිටන් කළේ යැයි කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලිය.
මෙසේ භාග්යවතුන් වහන්සේගේ පැවිදිවීම ගැන කියා, ඊට පසු පැවිදි පිළිවෙතද, අනෝමා නදී තෙර සිට කෙලෙසුන් නැතිකිරිමේ උත්සාහවත් ගමනද දැක්වීමට පබ්බජිත්වාන කායෙන ආදී ලෙසින් සියළු විස්තර කීහ. එහි කායෙන පාපං කම්මං විවජ්ජයී කයෙන් කෙරෙන තුන් ආකාර දුසිරිත් හැර දැමීය. වචී දුච්චරිතං සතරාකාර වූ වචනයෙන් වන වැරදිය. ආජීවං පරිසොධයී වැරදි දිවිමග අත්හැර, නිවැරදි දිවිමග අනුගමනය කළේය.
මෙසේ ආජීව අට්ඨමක සීලයෙන් පිරිසිදුව, අනෝමා ගංතෙර සිට තිස්යොදුන් මග සත්දිනකින් ගෙවා, අගමා රාජගහං බුද්ධො රජගහනුවරට එසේ ගියද බුදුබව ලබා නැත. එහෙත් බුදුවරයකුගේ මුල් ජීවිත රටාවට අදාල කොට එසේ කීම නිවැරදිය. මෙහි රජෙක් උපන්නේය. මෙහි රජකම ගත්තේය’ යනුවෙන් පොදු කතාබහ අනුව යොදන වචන මෙනි. මගධානං මගධ ජනපදයට, නගරයට යයි ද කියන ලදී. ගිරිබ්බජං මෙය ද එයට නමකි. එය පණ්ඩව, ගිජිකුළු, වෙභාර, ඉසිගිලි, වෙපුල්ල නම් පර්වත පහක් මැද කොටුවක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යැයි කියනු ලබයි. පිණ්ඩාය අභිහාරෙසි ආහාර පිණිස ඒ නගරයෙහි හැසිරුණේය.
බිම්බිසාර රජුට තම පැමිණීම දන්වන්නේ නම්, සුද්ධොදන රජු පුතු සිද්ධත්ථ කුමරු පැමිණ ඇතැයි, මට බොහෝ පුද පඬුරු පිරිනමන්නේය. දන්වා සිවුපසය ලබාගැනීම පැවිද්දෙකුට සුදුසු නොවේ. පිඬු පිණිස හැසිරෙමි’යි එතුමා නගර දොරටුවෙහි සිට සිතුවේය. එහිදී දෙවියන් දෙන ලද පංසුකූල සිවුර පොරවා, මැටි පාත්රය ගෙන, බටහිර දොරටුවෙන් නගරයට පිවිස, ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරුණේය. එහෙයින් ගරු කටයුතු ආනන්ද හිමියෝ, පිණ්ඩාය අභිහාරෙසි යැයි කීහ. ආකිණ්ණවරලක්ඛණො සිරුරෙහි විසිරුණාක් මෙන් පිහිටියා වූ උතුම් ලකුණුවලින් හෙබි, බොහෝසෙයින් පැතිරුනු ලකුණින් ගැවසුණු, ‘නපුරුකමින් පිරුණු මිනිසා මෙන් ද - අපිරිසිදු දේ තැවරුණු කිරිමවකගේ හැඳිවතක් මෙන් ද, ‘ආකිණ්ණලුද්දො පුරිසො ධාතිචෙලංව මක්ඛිතො’ කියා ඇති අයුරිනි. බොහෝ නපුරු, දරුණු යන අදහසයි.
තමද්දසා ඊට සත්දිනකට පෙර නගරයෙහි නැකත් කෙළි උළෙල නිවේදනය කරන ලදී. මෙදින නැකැත් නැකැත් උළෙල අවසන් වී, අදාල කටයුතු (නැවත) ඇරඹීමට අණබෙර යැවීය. එවිට මහජනයා රජමිදුලට රැස්වෙයි. රජුද ‘කටයුතු සංවිධානය කරන්නෙමි’යි සී මැදුරු කවුළුව විවරකොට බලකාය දෙස බලද්දී, පිඬුසිගා ඉදිරියට යන ඒ මහබෝසත් දුටුවේය. එහෙයින් ගරුකටයුතු ආනන්ද හිමියෝ තමද්දසා බිම්බිසාරො පසාදස්මිං පතිට්ඨිතො යැයි ද ඉමමත්ථං අභාසථ මේ අදහස (රජු විසින්) ඇමතිවරුන්ට පවසන ලදැයිද (ගාථාවෙන් සඟ පිරිසට) දැන්වූහ.
මීළඟට රජු ඇමතිවරුන්ට කී අයුරු ඉමං භොන්තො යන ගාථාවෙන් පැහැදිළි කළහ. එහි ඉමං යනුවෙන් ඒ රජු බෝසතුන් පෙන්වයි. භොන්තො යැයි ඇමතියන් අමතයි. නිසාමෙථ බලවු, අභිරූපො දැකුම්කළු අඟපසඟ බ්රහා උසට සරිලන මහතින් යුතු, සුචී සම පිරිසිදු පැහැපත්, චරණෙන ගමනින්,