7. සේල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු සෙල සූත්‍රයයි. මෙයට මුල් වූ කරුණු සූත්‍රයෙහිම දැක්වේ. අරුත් විස්තරද පෙර සඳහන්ව ඇති පරිදි දතයුතුය. විස්තර නොවූ වචන, පැහැදිලි කරන ලද පද ඇසුරු කරමින් විස්තර කරන්නෙමි. අංගුත්තරාපෙසු යනු ඒ ජනපදයයි. උතුරු දෙසින් ‘ආප’ නම් ගඟය. එයට ආසන්නව පිහිටි බැවින් ‘උත්තරාපාති’ යැයි ද කියනු ලැබේ. ඒ ආප යැයි නම් වූ පෙදෙස උතුරින් පිහිටියේ කිනම් ගඟකින් ද? මහාමහි ගඟටය.
මේ එම ගංගාව ඇති වූ අයුරු මුලසිටම විස්තර දැක්වීමයි. මේ දඹදිව යොදුන් දසදහසක් පමණය. එහි යොදුන් හාර දහසක පමණ පෙදෙසක් ජලයෙන් යටව ‘මුහුද’ යැයි හැඳින්වේ. තුන් යොදුනක් පමණ පෙදෙසක මිනිස්සු වසති. යොදුන් තුන් දහසක පෙදෙසක හිමාලය පිහිටියේය. උසින් යොදුන් පන්සියයකි. අසූහාර දහසක් කඳු මුදුනින් යුතුය. හාත්පසින් ගලායන ගංගා පන්සියයකින් මනහරය. පූරළාස සූත්‍ර විස්තරයෙහි කියන ලද පරිදි පළලින් ද, ගැඹුරින් ද යොදුන් පණහක් පණහක් බැගින් වූ යොදුන් එකසිය පණහක පමණ බිම් පෙදෙසක් වසා පැතිරුණු අනොතත්ත ආදී මහාවිල් සත පිහිටියේය.
ඒ විල් අතරින් අනොතත්ත විල සුදස්සන, චිත්ත, කාල, ගන්‍ධමාදන, කෙලාස යන කඳු පහකින් වටව ඇත්තේය. සුදස්සන කඳුපව්ව සිය යොදුනක් උස, රන්මය වූ, ඇතුලතට නැමුණු කපුටකුගේ මුව බඳුව, මුළු විලම වසා සිටියේය. චිත්තකූටය මුළුමනින්ම රුවනින් කළා සේද, කාල නම් කූටය අඳුන්මය ලෙසින්ද සිටියේය. ගන්‍ධමාදන පව්ව සානුවක් සේ, ඇතුලත මුං පැහැයෙන් නොයෙක් නොයෙක් ඔසුපැලවලින් ද යුතුව, අමාවක පොහෝදින දිලිසෙන ගිනි අඟුරු මෙන් සිටී. කෙලාසකූටය රිදීයෙන් නිමවූයේය. සියළුම කඳු පව් සුදස්සන කුළ මෙන් සම උසින් යුතුව ඒ විල ආවරණය කළා සේ පැතිර සිටී. දේව බලයෙන් ද නාගයන්ගේ බලයෙන් ද සැමතැනටම වැසි වසී. එයින් ගංගාද ගලයි. ඒ සියළු ජලය අනොතත්ත විලටම ගලා එයි. සඳ හිරු දකුණු දෙසින් හෝ උතුරු දෙසින් හෝ ගමන් කරමින් කඳු පව් අතරින් විල බබළවයි. හිරු සඳු කෙළින් ගමන් කරද්දී බැබළීමක් නැත. එහෙයින් ‘අනොතත්ත’ යැයි එය හැඳින්විණ.
අනොතත්ත විලෙහි මනහර ගල් පුවරුවලින් ද, මසුන් ඉදිබුවන් නොමැති, පලිඟුවන් පිරිසිදු ජලයෙන් ද යුතු මැනවින් පිළියෙල වූ නාන තොටවල් ඇත. ඒවායේ බුදු, පසේබුදු, මහරහත්හු ඉසිවරු නාති. දෙවිවරු, යක්කු උයන්කෙළි කෙළිති.
විලෙහි සතර පැත්තෙහි සිංහ, මුව, ඇත් මුව, අස් මුව, ගව මුව ලෙස මුව හතරකි. එයින් ගංගා සතරක් ගලයි. සිංහ මුවෙන් නික්මෙන ගංගාවේ ඉවුරෙහි බොහෝ සිංහයෝ වෙති. ඇත්, අස්, ගව මුවින් නික්මෙන ගංගා ඉවුරුවල ඒ ඒ සත්තු බොහෝ වෙති. නැගෙනහිර දෙසින් නික්මෙන ගංගාව අනොතත්ත විල තෙවරක් පැදකුණු කොට, අනෙක් ගංගා තුන කරා නොපැමිණ, හිමවතට බටහිර දෙසින්, මිනිස් වාසයෙන් තොර පෙදෙසින් මහ සයුරට එක්වෙයි. බටහිරින්ද උතුරෙන්ද නික්මෙන ගංගාද එසේම විල පැදකුණු කොට, හිමවතට බටහිර දෙසින්ද, හිමවතට උතුරු දෙසින්ද මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරට ගලයි. දකුණු දිසාවෙන් නික්මෙන ගඟ තෙවරක් අනොතත්ත විල පැදකුණු කොට ගල්තලාවෙහි නොවක්ව ගලාගොස්, කඳු පව්වෙහි වැදී, එයින් තුන්ගවු පමණ ජල දහරක් ඉහළට නැගී, සැටයොදුනක් අහසින් ගලා ගොස්, ‘තියග්ගල’ නම් ගල්තලයෙහි වැදී, ජල ධාරා වේගවත්ව බිඳී යොදුන් පණහක් පමණ වූ ‘තියග්ගල’ නම් පොකුණ සකස් වෙයි. පොකුණු ඉවුර බිඳ, ගල්තලයට පිවිසෙන ජල පහර සැටයොදුනක් ගලා ගොස්, තද පොළව බිඳගෙන, සැටයොදුනක් උමගින් ගොස්, විජ්ඣ නම් පව්වෙහි ගැටී, අත්ලෙහි ඇඟිලි පහ මෙන්, දිය දහරා පහක්ව විහිදෙයි. එම දිය දහරා අනොතත්ත විල පැදකුණු කොට ගිය තැන, ආවට්ට ගඟ (වටසුළි ගඟ) යැයි කියනු ලැබේ. ගල්තලාවෙහි සැටයොදුනක් නොවක්ව ගලා ගිය තැන්හි කාල ගංගා (කළු ගඟ) නම් වෙයි. අහසින් සැටයොදුන් ගිය තැන ආකාස ගංගාව හෙවත් අහස් ගඟ නමින්ද, තියග්ගල ගල්පව්වෙහි පර්ස් යොදුනක් පැතිරුන තැන තියග්ගල නම් පොකුණද වෙයි. ඒ පොකුණු ඉවුර බිඳ ගල්තලයට පිවිස සැටයොදුනක් ගියතැන උම්මග්ග ගංගා හෙවත් උමං ගඟ යැයි හැඳින්වෙයි. විජ්ඣ නම් පව්ව හරහා වැදුණු ජල දහරා පහ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යයි හඳුන්වනු ලබයි. මෙසේ ඒ මහා ගංගා පහ හිමාලයෙන් ඇරඹේද, ඒ පන ගංගාව මහා මහි යැයි අදහස් වේ. මහාමහී ගඟට උතුරෙන් ‘ආපො’ නම් පෙදෙස වේද, ඊට ආසන්නව ඇති ජනපදය අංගුත්තරාප යැයි දතයුතුය.