එසේ එක් සක්වළක් දිගින්ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තුන්දහස් හාරසිය පනහකි. ඒ සක්වළ වටින් යොදුන් තිස්හය ලක්ෂ දසදහස් තුන්සිය පනහකි.
එහි,
මහපොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනය.
යොදුන් හාරලක්ෂ අසූදහසක ජලය පිරි පවතී. එපමණ ඝනකමකින් දිය පොළව දැරූ වා තලය (වා පොළව) පිහිටියේය.
එහි නවලක්ෂ යොදුන් අහස උසට නැගෙන වාතය පවත්නා මේ ලෝකය (කළු) සැටදහසක් පවතී.
මෙසේ පිහිටි එක් සක්වළක තොරතුරු මෙසේය.
‘යොදුන් අසූහාර දහසක් මහ සයුරෙහි ගිලී සිටි මහාමේරු පව්ව එකෙණෙහිම උඩට නැඟුණි.
එහි අඩක් පමණ වූ, හෙවත් යොදුන් හතළිස් දෙදහසක් මුහුදෙහි ගිලුණු, එපමණින් ඉහළට නැගණු, දිව රුවනින් විසිතුරු වූ,
යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්ධර, විනතක, අස්සකණ්ණ නම් වූ මහමෙර වටා පිහිටි මෙම සත්කුළු පව් දෙවියන්, වාසය කරන්නා වූ මහරජවරුන්ටද නිවහනකි.
හිමාලයෙහි යොදුන් පන්සියයක් උස, දිගින් පළලින් යොදුන් තුන්දහසක් වූ ගිරිකුළු (කලු) අසූහාර දහසකි.
යොදුන් පහළොවක් වට කඳින් යුතු, යොදුන් පනහක් උසට අහසට නැගි මහ කදකින් ද හාත්පස වටා විහිද ගිය අතුපතරින් හෙබි යොදුන් හතක් පළල් වූ එකෙණෙහිම ඉහළට මතුවූ දඹ ගසක බලයෙන් ‘දඹදිව’ යැයි කියනු ලැබේ.
යොදුන් අසූහාර දහසක් යටට මහ සයුරෙහි ගිලුනු, එකෙණෙහිම මතුවුන අසූහාර දහසක් සක්වළ පවු හෝ ගල්කුළු ඒ වටා පිහිටියේය.
ඒ සක්වළ සඳමඬල හතළිස් නව යොදුනකි. හිරු මඬල යොදුන් පණහකි. තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, දඹදිව ද එපමණම වේ. අපරගොයානය, පුබ්බවිදේහය යොදුන් හත්දහසකි. උතුරුකුරු දිවයින යොදුන් අටදහසකි. ඒ එක් එක් මහා දිවයිනකටද පන්සියයක්, පන්සියයක් බැගින් වූ කුඩා පිරිවර දිවයින් ඇත. ඒ සියල්ලමද එක් සක්වළක වෙයි. එකම ලෝධාතුවකි. සක්වළ අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ කෙළවරක් නොවන සක්වළ හා කෙළවර නොවන ලෝක ධාතු පමණ කළ නොහැකි බුදු නැණින් හැම අයුරින්ම හඳුනා දත්හ. එහෙයින් ලොකවිදූ නම් වෙති.
තම ගුණවලට වඩා උසස් ගුණවලින් යුතු වෙනත් කිසිවෙකු නොමැති බැවින් අනුත්තරො නම් වෙති. (සිත තුටු වන) විසිතුරු වූ, නොයෙක් ආකාරයෙන් මිනිසුන් - නොදැහැමි වූවන් හික්මවා දමනය කොට, හරවත් මග පෙන්වා ඊට යොමු කරන බැවින් පුරිසදම්මසාරථි වෙති. මෙලොව පරලොව උසස් බවක් ඇතිකර ගැනීමට සුදුසු පරිදි අවවාද උපදෙස් දෙමින්ද (සසරින්) එතරවන මග පෙන්වන හෙයින්ද සත්ථා නම් වෙති. දෙව්මිනිස් කැලට (තම ජීවිතවල) උසස් බවට පත්කර ගැනීමටද, මගපල ලැබීමට හේතු සම්පත් ඇත්තවුන්ට ඒ ලෙසින්ද අනුසාසනා කරන ලදහ. නාග ආදීනටද එදිනෙදා දියුණුව සඳහා අනුසාසනා කරති. කිසියම් උපකාරීවන දෙයක් වේද, ඊට යොමු කරති. සියළුම දතයුතු දේ අවබෝධ කරගත් බැවින්ද (තවත් දැනගැනීමට නොමැති හෙයින්, එයින් නිදහස් වූ බැවින්ද) බුද්ධො නම් වෙති. යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ -
පෙර පුරන ලද පාරමිතා බලෙන් අත්කරගත් කුසල්වලින් (වාසනා) පල ලද බැවින්ද, කෙලෙස් සිඳ දැමූ බැවින්ද, ගුණයෙන් කිත් යසස් ලද බැවින්ද, කරුණු බෙදා දක්වා පැහැදිලි කරන බැවින් ද, උතුම් විහරණයෙන් යුතු හෙයින් ද සසර ගමනට හේතුවන තණ්හාව ඉවතහළ බැවින්ද භගවා නම් වෙති.
මේ සඳහන් වූයේ කෙටියෙනි. මේ වචනවල විස්තර විසුද්ධිමග්ගයෙහි දක්වා ඇත.
සො ඉමං ලොකං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකවාසීනට ද, දැන් කිවයුතු දෙය පැහැදිළි කරති. සදෙවකං කසීභාරද්වාජ, ආළවක සූත්‍රවල සඳහන් වූ පරිදිය. සයං වෙනත් කෙනෙකුගේ උපකාරයක් අනුදැනීමක් නොමැතිව, තමන් විසින්ම, අභිඤ්ඤා මැනවින් දැන, සච්ඡිකත්වා පසක් කොට, තහවුරු කොට, පවෙදෙති අවබෝධ කරවයි. දන්වයි. පවසයි. සො ධම්මං දේසනා කරයි. (ඒ දහම) අවසානය තෙක්ම යහපත්ය. සො ඒ භාග්‍යවතුන් වහන්සේ කරුණාව නිසා උතුම් විවේක සුවය ද නොසළකා ධම්මං දෙසෙති එසේ මදක් හෝ බොහෝ හෝ දහම් දෙසතත් මුලසිටම යහපත් සේ මැනවින් දේසනා කරති. ඒ කෙසේද? මුළුමනින්ම ඉතා යහපත් බව ඇති නිසාම, දහම් අගයෙන් යුතු එක ගාථාවක මුල් පදයම ආදි කල්‍යාණ දෙවන, තෙවන පදවලින් මජ්ඣෙ කල්‍යාණ අවසන් පදයෙන් පරියොසාන කල්‍යාණ එක් කරුණක් ගලපා දක්වන සූත්‍ර දේසනයක, එහි ආරම්භය හේතු දැක්වීමට මුල යහපත් වීමයි. කරුණු පහදා දීමෙන් පසු, නිගමනය අවසානයෙහි ඇති යහපත් බවයි. මේ අතර වූ ඉතිරි සියල්ල, ඒ පවසන දෙයෙහි මැද ද, යහපත් වන අයුරුයි. ගැළපෙන කරුණු රැසක් ඇතිවිට, මුලින්ම එය ඉදිරිපත් කරන ආකාරය මුල යහපත් බවයි. පසුව - අගදී දක්වන ආකාරය අවසානයෙහි යහපත් බවයි. ඉතිරි කොටස මැද දී කරුණු දැක්වීමේ යහපත් බවයි. මුළු (තථාගත) සසුනෙහි තමන් වහන්සේම නිදසුන් වන සේ, අරුත් දැක්වීමේදී සීලයෙහි (පිරිපුන් බව) මුලදීම ඇති යහපත් බවයි. මැද යහපත් වන්නේ සමථ - විදසුන් මගින් ලබන පලයයි. අවසාන යහපත් බව නිවනයි. මුලදී ඇති යහපත් බව සීල සමාධියයි. විදසුන් මගින් ලබන පලය මැද යහපත් බවයි. නිවන් පලය අවසාන යහපත් බවයි. බුදුබව මැනවින් අවබෝධය මුල යහපත් වීමය. මැද යහපත් වන්නේ දහමෙහි මනා සැකැස්මයි. මනා පිළිවෙත්හි පිහිටි සඟ පිරිස අවසාන යහපත් බවයි. ඒ දහම අසා ඇති තතු නිසි පරිදි දැනගැනීමට පිළිපන් තැනැත්තකු විසින් පැමිණිය යුතු ඒ සියළු දේ දැනගැනීම හෙවත් බුදුබව මුල්ම යහපතයි. මැද යහපත වන්නේ පසේබුදු බවයි. අවසාන යහපත රහත් පලයයි. දහම් ඇසීමේදී නීවරණ ආදිය යටපත් කිරීමෙන් ඇසීමේදී යහපත උදාවන බැවින් මුලින්ම ද යහපත් වේ. ඒ දහම පිළිපැදීමෙන් සමථ-විදසුන් ලැබීමේ පිළිවෙතින් යහපතම ගෙන දෙන හෙයින් මැද දී ද යහපත්ය. එසේ පිළිපන්ව, පිළිවෙත් පිරීම නිමවූ කල්හි, කම්පා නොවීමේ හැකියාව ලැබීමෙන් අවසානය ද යහපත්ය. මායාවක්, මුළාවීමක් නැතිව (සිත) පිරිසිදු බවට මග මුලදී යහපත් බවයි. ඒ අනුව කරනු ලබන කටයුතුවලින් ඇතිවන පිරිසිදු බව අවසාන යහපත් බවයි. මද හෝ බොහෝ හෝ දේසනා කරනවිට මුලසිටම යහපත් ආකාරයෙන් යුතුයැයි දතයුතුය.