6. සභිය සූත්ර වර්ණනාව
එවං මෙ සුතං යනු සභිය සූත්රයයි. මෙම සූත්රයට හේතු වූ කරුණු මෙහි කියන ලදී. එහි විස්තර පෙර සඳහන් වූ කරුණු හා සමාන බැවින් ඒ අනුව දතයුතුය. විස්තර නොදැක්වූ වචන ඇතොත්, ඒ විස්තර කරන ලද වචන හා සම්බන්ධ කොට සඳහන් කරන්නෙමු. වෙළුවනෙ කලන්දක නිවාපෙ වෙළුවන යනු ඒ උයනේ නමයි. එය දහඅට රියන් පවුරකින්ද, උණගස්වලින් ද වටවූයේය. දොරකොටු, මුරගෙවල් ආදියෙන් යුතු, මනරම් නිල්පැහැයෙන් යුතු විය. එහෙයින් වෙළුවන යැයි හඳුන්වනු ලබයි. ලේනුන්ටද නිදහසේ මෙහි විසීමට ඉඩ ලැබුණි. එහෙයින් කලන්දක නිවාප යැයිද කියනු ලැබේ. ලේනුන්ට මෙහි නිදහස් තැනක් විය. ලේනුන් කාලක යනුවෙන් ද හඳුන්වයි. පෙර එක්තරා රජෙක් එහි උයන්කෙළි පිණිස අවුත්, සුරාවෙන් මත්ව, දවල් කල නිදාගත්තේය. පිරිවර ජනයාද ‘රජ නිදන්නේ’ යැයි උයනෙහි මල්පල ආදියට ආසා කරමින් එහා මෙහා ගියේය. සුරාගඳ දැනුණු එක් විසකුරු සපෙක් ගස් බෙනයෙන් නික්ම, රජු දෙසට එයි. ඒ දුටු රුක්දෙවියෙක් ‘රජුගේ ජීවිතය රැකගනිමි’යි ලේනෙකු සේ අවුත්, රජුගේ කන අග හඬක් නැගීය. රජ පිබිදුණි. විසකුරු සර්පයා නැවතුණි. රජු එය දැක, මේ ලේනා මගේ ජීවිතය රැක ගත්තේ’ යැයි ලේනුන්ට ආහාර සකස් කරවීය. ලේනුන් නොමරණ ලෙසද අණ පැතිරවීය. එතැන් පටන් එය කලන්දකනිවාප යැයි හැඳින්වීය.
සභියස්ස පරිබ්බාජකස්ස සභිය යනු ඔහුගේ නම යි. පරිබ්බාජක යැයි (බුදු සසුනෙහි) පිටත පැවිද්ද උදෙසා කියනු ලබයි. පුරාණසාලොහිතාය දෙවතාය මව, පියා නොවේ. එසේ වුවත්, මවකු මෙන්, පියෙකු මෙන් හිතසුව කැමති වන ඒ දෙව්පුත් පෙර ලේ නෑකම ඇති දේවතාවකු සේ හඳුන්වා ඇත. කසුප් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු, රුවන්සෑය පිහිටි කල්හී, කුලපුත්තු තිදෙනෙක් මුණගැසුණු සව්වන් හමුවෙහි පැවිදිව, චරිතයට ගැලපෙන කමටහන් ගෙන, පිටිසර ජනපදයකට ගොස්, කැලයෙහි මහණදම් පුරති. අතරතුර සෑය වැඳීමටත්, දහම් ඇසීමටත් නගරයට යති. පසුව හුදෙකලාව කැලයෙහි වාසයට එකඟව නොපමාව මහණදම් රැක්කාහ. එසේ විසූවත්, කිසිදු මගපලයෙන් උසස් බවක් නොලැබූහ. ‘අපි පිඬු පිණිස යාමේදී ජීවිතය ගැන බලාපොරොත්තු තබමු. එසේ ජීවිතය ගැන බලාපොරොත්තු ඇතිව ලොවුතුරු දහම අවබෝධයට නොහැකිය. කෙලෙස් සහිතව මරණයට පත්වීමද දුකකි. අපි ඉණිමගක් බැඳ පව්වකට නැග, කයෙහිද, ජීවිතයෙහිද බලාපොරොත්තු නැතිව, මහණදම් පුරමු’ යැයි සිතා එසේ කළහ.
ඒ අතර, වැඩිමහල් මහණුන් වහන්සේ හේතුසම්පත් ඇති බැවින්, එදිනම අභිඤ්ඤා සයද සමග අරහත් බව අවබෝධ කළහ. උන්වහන්සේ ඉඳු බලයෙන් හිමවතට ගොස්, අනොතත්ත විලෙන් මුව දොවා, උතුරු කුරුවෙහි පිඬු පිණිස හැසිර, බත වළඳා නැවත වෙනත් පෙදෙසකට ගොස් පාත්රය පුරවා, අනොතත්ත පැන් ද බුලත් හා දැහැටි ද ගෙන, අනෙක් මහණුන් දෙදෙනා වෙත අවුත්, ‘ඇවැත්නි, බලව, බලවත්කම, මේ උතුරුකුරුවෙහි පිඬු පිණිස ලද අහරයි. පැන් හා දැහැටි හිමාලයෙන් ගෙනෙන ලදී. මේවා වළඳා මහණදම් කරවූ, මම මෙසේ හැමදා උවටැන් කරන්නෙමි’යි කීය. හිමිවරු දෙදෙනා ඒ අසා ‘හිමියනි, ඔබ කටයුතු නිමකරන ලදී. ඔබවහන්සේ සමග සතුටුසාමීචි කතා පමණකුදු අපට පමාවකි. ඔබවහන්සේ නැවත අප හමුවට නොපැමිණෙනු මැනවැ’යි කීහ. ඒ දෙටු හිමි, කිසිදු අයුරකින් අනෙක් හිමිවරුන් එකඟ කරගැනීමට නොහැකිව ඉවත්ව ගියේය.
ඒ හිමිවරුන් දෙදෙනාගෙන් කෙනෙක් දින දෙකතුනකින් අභිඤ්ඤා පහ ලබා, අනාගාමිව දෙටු හිමියන් පරිදිම කටයුතු කළේය. (මගපලයක් නොලද) ඉතිරිව සිටි හිමියන් විසින් පිළිකෙව් කරන ලදුව ඉවත්ව ගියේය. ඒ ඉතිරි වූ හිමි, පව්වට නැගී සත්වන දින, කිසිදු වෙසෙස් බවක් (මගපලයක්) නොලැබම කළුරිය කොට දෙව්ලොව උපන්නේය. දෙටු රහත් හිමියෝ ද ඒ දවසෙහිම පිරිනිවන් පෑහ. අනාගාමි වූ හිමියෝ සුද්ධාවාසයෙහි උපන්හ. දෙව්පුතු කාමාවචර සදෙව් ලෝකවල වරින්වර දෙව්සැප විඳ අප බුදුරදුන් කල දෙව්ලොවින් චුතව, එක් පිරිවැජි ළඳක කුස පිළිසිඳ ගත්තේය. ඇය එක්තරා රජකුල දුවකි. මවුපියෝ, ‘අපගේ දියණිය ආගම් වාද දැනගනීවා’යි එක් පිරිවැජියෙකුට භාර කළහ. එහිදී එක් අතවැසි පිරිවැජියෙක් ඇය සමග අනාචාරයෙහි යෙදුණේය. එයින් ඇය ගැබ් ගත්තාය. ඇය ගැබිනියක බව දත් පිරිවැජියෝ නෙරපා දැමූහ. ඇය වෙනත් තැනකට යන අතරමගදී - ජනයා මැද (සභාවෙහි) දරුවකු බිහිකළාය. එයින් ඔහු ‘සභිය’ නමින්ම හැඳින්වූහ. සභිය. වයසින් වැඩුණුවිට, පිරිවැජි පැවිදි බව ලබා, නොයෙක් සිප්සතර ඉගෙන, මහා වාද කරන්නෙකුව, (දේසකයෙකුව) මුළු දඹදිවම සැරිසරමින්, තමා හා වාද කරන්නෙකු නොදැක නගරදොරටුව (අසළ) අසපුවක් කරවාගෙන, කැත් කුමරුන් ආදීනට උගන්වමින් වාසය කරයි.