5. මාඝ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු මාඝ සූත්‍රයයි. ඊට හේතු වූ කරුණු සූත්‍රයෙහිම සඳහන් වේ. මාඝ නම් තරුණයා දීමෙහි සිත් ඇති, - දානයටම යොමු වූවෙකි. ‘පැමිණි දුගී මගී ආදීනට දුන් දෙය මහත් පල ලැබේද, නොලැබේදැයි ගෝතම මහණුන්ගෙන් විචාරන්නෙමි. ගෝතම සමණ අතීත-අනාගත-වත්මන ගැන දනී’ යැයි ඔහුට සිතුණි. ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එය ඇසීය. විමසූ පරිදි කරුණු පැහැදිළි කළහ. සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේද (මාඝ) බමුණාගේද භාග්‍යවතුන් වහන්සේගේද කරුණු (වචන) ගළපා මාඝ සූත්‍රය යැයි කියනු ලැබේ.
රාජගහෙ යනු එම නම ඇති නගරයයි. එම නගරය මන්‍ධාතු, මහාගෝවින්ද ආදී රජවරුන් විසින් රැකවල් කරන ලද බැවින් ‘රජගහ’ යැයි කියනු ලැබේ. ඒ කෙසේද? එය එම නගරයේ නමයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත්, සක්විති රජු කාලයේදීත් නගරයක්ව පැවතුණි. අනෙක් කාලයෙහි පාළු - හිස් බවට පත්වෙයි. යකුන් අරක්ගනු ලබයි. ඔවුන් වාසය කරන තැනක් බවට ද පත්වෙයි. මෙසේ ගොදුරු ගම දක්වා, ගිජ්ඣකුට පබ්බතෙ යැයි (බුදුරජාණන් වහන්සේ) වසන තැන සඳහන් වෙයි. ඒ පව්ව මුදුන්හි ගිජුලිහිණි වාසය කළහ. ලිහිණියන් හා සමාන මුදුන් පිහිටි බැවින් ගිජ්ඣකූට යයි හඳුන්වන බව දතයුතුය.
අථ ඛො..........අවොච, මෙහි මාඝො යනු ඒ බමුණාගේ නමයි. මාණවො අතවැසිව වසන වත්මන් කාලය සළකා කියනු ලබයි. උපතින් මහළුය. ඇතැම් කෙනෙක් පෙර පුරුද්දට අනුව පිංගිය මාණවක වැනි යයි කියති. හෙතෙමේ ද වසර එකසිය විස්සක් පුරාම පිංගිය මාණවක නමින්ම ව්‍යවහාරයට පත්විය. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.
අහං හි භො -පෙ- පසවාමි යැයි පැවසීමේදී දායකො දානපති (ලෙසද සඳහන්ව ඇත.) දායකයාද දානපතියාද එයින් අදහස් වේ. දෙන තැනැත්තෙක් ද ඒ දෙන දේ නොමැලිව දෙන අයෙක්ද වේ. තමන්ට අයත් දේ තමා විසින් අනුන්ට දෙයි ද ඔහු දායකයා වේ. දීමෙන් සම්පත් නැතිවේයැයි (සිතන්නේ නම්) මනාව දෙන තැනැත්තකු හෙවත් දානපතියකු නොවේ. මාඝ තමාට අයිති දෙයම නිවැරදිව දෙන බැවින් අහං හි භො ගොතම දායකො දානපති යැයි කීය. මේ එහි තේරුමයි. මේ හැර, නිරතුරුවම මසුරුබව යටපත් කරමින්, දෙන තැනැත්තාට දායක දානපති යැයි කීම සුදුසුය. වදඤ්ඤූ ඉල්ලා සිටි පමණින්ම, ‘මේ දෙය මොහුට සුදුසුය, මෙය මොහුට දෙමි’යි ඒ ඒ තැනැත්තන් කෙරෙහි සැළකිලිමත් වෙමින්, එය ඔහුට උපකාර වේයැයි සිතා හෝ, ඒ (හිඟන්නාගේ) ඉල්ලා සිටින තැනැත්තාගේ අදහස දනිමි’ (මෙයින් අදහස් වේ) යාචයොගො ඉල්ලීමට සුදුසුය. යාචකයෙකු දැක, බැමි හකුළුවා, නපුරු වචන කියන තැනැත්තාගෙන් ඉල්ලීම නුසුදුසුය. මම එබඳු කෙනෙකු නොවෙමි’යි දක්වයි. ධම්මෙන නුදුන් දේ ගැනීම, වංක හා කපටි ගතිය හැරදමා, ආහාර ලබාගැනීම පිණිස ඉල්ලීමයි. ඉල්ලීම නම්, බමුණන්ට සම්පත් සොයාගැනීමට කරන දෙයකි. එසේ ඉල්ලා සිටින ඔවුන්ට, අනුන් හට උපකාරයක් කරනු කැමති සේ දෙන ලද දෙය භොගා ධම්මලද්ධා ලෙසද, ධම්මාධිගතා යයි ද දක්වති. ඔහු ද එසේ සොයා ලබාගත්තේය. එහෙයින් ධම්මෙන භොගෙ පරියෙසාමි....ධම්මාධිගතෙහි යැයි කීය. භීයොපි දදාමි ඊටත් වැඩියෙන් දෙමි. මෙතෙකැයි කිව නොහේ. ලැබුණු ලැබුණු සම්පත් පමණ නොකොට දෙමියි දක්වයි.
තග්ඝ ඒකාන්තයෙන් යන අදහස ඇති නිපාතයකි. ඇත්තෙන්ම, සියළු බුදු පසේබුදු මහරහත් සව්වන් කෙරෙහි දෙන දානය මෙන්ම යටත් පිරිසෙයින් සතෙකුට දෙනු ලබන දානයද පසස්නා ලදී. ‘දානය කිසිකලෙකත් නින්දා කටයුතු නොවේ. හැමතැන්හිදීම අගය කරන ලදැයි’ මෙසේද කියන ලද්දේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේද එය ඒකාන්තයෙන්ම පසසමින් තග්ඝ ත්‍වං මාණව- පෙ- පසවස යැයි වදාළහ. ඊට අදාළ වචන පැහැදිලිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ‘දෙන තැනැත්තා බොහෝ පින් රැස්කර ගනිති’යි පසවති වදාළ කල්හි දීමෙන් ලබන පිරිසිදු බව අසනු කැමතිව තවදුරටත් කරුණු විචාළේය. එහෙයින් සංගායනාවට සහභාගි වූ හිමිවරු අථ ඛො මාඝො මාණවො භගවන්තං ගාථාය අජඣභාසි යනුවෙන් කීහ. එහි අදහස කලින් දක්වා ඇති පරිදිය.