4. සුන්දරිකභාරද්වාජ සූත්ර වර්ණනාව
එවං මෙ සුතං පූරළාස සූත්රයයි. එම සූත්රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්යවතුන් වහන්සේ පසුබත් කිස අවසන බුදු ඇසින් ලොව බලන සේක්, සුන්දරීක භාරද්වාජ බමුණු රහත් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක, ‘මා එහි ගියවිට ඇතිවන කතා සල්ලාපයෙන් පසු දහම් අසා, ඒ බමුණා පැවිදිව රහත් බවට පත්වන්නේ යැයි දැන, එහි ගොස්, (පිළිසඳර) කතාකොට සූත්රය වදාළහ.
එහි එවං මෙ සුතං සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේ වචනයි. කිං ජච්චො භවං ආදිය ඒ බමුණාගේ (වචනයි). න බ්රාහ්මණෙ නොම්හි ආදී භාග්යවතුන් වහන්සේගේ (වචනයි). ඒ සියල්ල එක්කොට පූරළාස සූත්රය යැයි කියනු ලැබේ. සඳහන් නොවූ වචන විස්තර කරන්නෙමි. එහිද අරුත් පැහැදිලි වචන අත නොගසන ලදී. කොසලෙසු - කෝසල ජනපදයෙහි රජකුමරුවෝ, ඔවුන් වසන තැනද කෝසල ජනපදය නමින්ම කියනු ලැබේ. එම කෝසල ජනපදය ගැන ඇතමෙකුගේ අදහස මෙසේය. ‘පෙර මහාපණද රජුගේ පුත් කුමරුවන්, නොයෙක් නොයෙක් රැඟුම් නාටක දැක සිනාවක් පමණකුදු නොකරති’යි ඇසූ රජු, ‘යමෙකු මපුතු සිනහ ගන්වතොත්, ඔහු සියළු අබරණින් අලංකාර කරමි’යි අණ ලැවීය. මහජනයා (තම කටයුතු අත්හැර) නඟුල් ආදිය පසෙක තබා රැස්වෙයි. ඒ මිනිස්සුද තවත් සත් අවුරුද්දක්ම නොයෙක් කවට රැඟුම් ආදිය දැක්වුවත් සිනාගැන්වීමට නොහැකි වූහ. එවිට සක්දෙවිඳු දෙව් නළුවකු යැවීය. ඔහු දිවනාටක, රැඟුම් දක්වා සිනාගැන්වීය. ඉක්බිති ඒ මිනිස්සු තම තමන්ගේ නිවෙස් දෙසට ගියහ. ඔහු ඒ යන අතරේදී, හමුවන සුහද මිතුරන් දැක, එම රැඟුමෙහි (නළුවාගේ) හැකියාව-කුසලතාව කෙබඳුදැ’යි, පිළිසඳර කතා කළහ. එහෙයින් ඒ කුසල යන පදය අනුව එම පෙදෙස ‘කෝසල’ නම් වීයැයි විස්තර කරනු ලැබේ. සුන්දරිකාය නදියා තීරෙ සුන්දරිකා නම් වූ ගංතෙරෙහි,
තෙන ඛො පන ඒ වේලාවෙහි භාග්යවතුන් වහන්සේ ඒ බමුණා දහමෙහි හික්මවනු කැමතිව, ඒ ගංතෙර, හිස වසා පොරවාගෙන ගසක් මුල හිඳගත් සේ පෙනෙන ඉරියව්වෙන් වැඩ සිටිති. සුන්දරික භාරද්වාජො ඒ බමුණාද ඒ ගංතෙරම වාසය කරයි. ගිනි පුදයි. භාරද්වාජො ඔහුගේ පරම්පරාවයි. එහෙයින් එසේ කියනු ලබයි. (පරම්පරා නමින් අමතනු ලබයි.) අග්ගිං ජූහති යාග පූජා පැවැත්වීමේ අදහසින් ගිනි දල්වයි. අග්ගි හුත්තං පරිචරති ගිනිදල්වා, බිලි පිදවිලි ආදියෙන් උතුම් ගිනි දෙවියාට පුද දෙයි. කො නු ඛො ඉමං භව්යසෙසං භුඤ්ජෙය්ය ඒ බමුණා ගිනි (පිදීමට) ගෙන ඉතිරි වූ කිරිබත් ආදිය දැක, ‘ගින්නෙහි තැබූ කිරිබත් මහා බ්රහ්ම විසින් අනුභව කරන ලදී. මෙහි තවත් ඉතිරිව ඇත. ඒ ඉතිරිව ඇති දේ බ්රහ්මයාගේ මුවින් උපන් බමුණකුටම දිය හැකිනම්, මගේ පියා සහ පුතුද සතුටුවී, බඹලොවට යන මග හෙළිකරගනු ඇත. එහෙයින් බමුණකු සොයමි’යි සිතුවේය. උට්ඨායාසනා චතුද්දිසා අනුවිලොකෙසි මේ ඉතිරි පූජාව අනුභවයට කවරෙකු සුදුසු වෙත්දැ’යි බමුණකු දැකගනු පිණිස.
අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ ඒ කැලෑගොමුවෙහි සුවිසල් ගසක් මුල, යසීසං පාරුතං හිස සමගම සිරුර පොරවාගෙන, කුමක් නිසා භාග්යවතුන් වහන්සේ එසේ කළසේක්ද? ‘නාරයණ’ නම් වූ බලයක් තිබුණද, හිමපතනය සහ සීතල සුළඟ වුව වැළැක්වීමට නොහැකි වීද? මෙයට හේතුවක් ඇත. බුදුවරු හැමවිටම එසේ සිරුර පිළිදැගුම් - රැකගැනීම නොකරත්මය. එහෙත් භාග්යවතුන් වහන්සේ, ‘බමුණ පැමිණිවිට හිසෙන් සිවුර ඉවත් කරන්නෙමි. ඒ දැක බමුණා කතාබහට එක්වන්නේය. එවිට ඔහුට ඒ කතාබහ අනුව දහම් දෙසන්නෙමි’යි ඊට මග පාදාගනු පිණිස එසේ කළහ. දිස්වාන වාමෙන -පෙ- තෙනුපසංකමි සුන්දරික බමුණා භාග්යවතුන් වහන්සේ දැක, ‘මේ බමුණා හිස සිට පොරවාගෙන මුළු රැයම කෙලෙස් තවන උත්සාහයෙන් යුතු විය. මොහුට පූජා පැවැත්වීමට පෙර, පැන් පිළිගන්වා, මෙම යාගයේ ඉතිරි පූජා කොටස දෙමි’යි බමුණෙකැයි සිතාම (එතැනට) පැමිණියේය. මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවං හිසෙන් සිවුර ඉවත් කළ පමණින්ම, හිසකෙස් කෙළවර දැක, මුණ්ඩො යැයි කීය. ඉන්පසු තවත් හොඳින් බලද්දී, හිසෙහි මද හෝ සිළු (ගුලි වූ කෙස් කැරළි) නොදැක පහත් ලෙස සිතමින්, මුණ්ඩකො යැයි කීය. ඒ බමුණන්ගේ හැඟීම මෙබඳුය. තතො ව එය දුටුවේ යම් තැනක සිටද, මුණ්ඩාපි හිස මුඩුකර ඇත්තේ කිසියම් හේතුවක් නිසා වෙයි.
න බ්රාහ්මණෙ නොම්හී මෙහි න අකුර වැළකීම අදහසින් යෙදේ. නො දැඩිලෙස (අවධාරණයෙන්) වෙන්කොට දැක්වීමෙහි යෙදේ. ‘ඒ හා සමාන නොවේ’- ‘න නො සමං’ ආදී තැන් මෙනි. එම වචනයෙන් තමා මෙන් බමුණකු නොවේ යැයි දක්වයි. න රාජපුත්තො රජ කුලයෙහි නොවේ. න වෙස්සාය නො වෙළඳ කුලයෙහි නොවේ. උද කොචි නොම්හි සුද්ද කුලයට අයත් හෝ සැඩොලෙක් හෝ වෙනත් කිසිවෙක් නොවෙමි. මෙසේ ඒකාන්තයෙන්ම ජාතිවාදී කතා පිළිකෙව් කරයි. කුමක් නිසාද? මහ සයුරට පත් ගංගා මෙන්, පැවිදි වූ කුලපුත්තු මුල් නම්ගොත් අත්හරිති. පහාරාද සූත්රය මෙහිලා නිදසුන්ය. මෙසේ කුලවාදය පිළිනොගෙන, තමාගේ නියම තතු එළිදරව් කරමින්, ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ ආදී ගාථා වදාළහ. කෙසේ මුළුමනින්ම පරම්පරාව දැනගත්තේ යැයි කියයිද? භාග්යවතුන් වහන්සේ තුන් ආකාරයකින් රූපාදී ඛන්ධ පහ මැනවින් දත්හ. එසේ දැනගැනීමම පරම්පරාවම දැනගැනීමය. රාග ආදී කෙලෙස් කෙලෙස් නොමැති බැවින් උන්වහන්සේ ‘කිසිවක් නැති’ බවට පත්වූහ. පිළිපැදිය යුතු කරුණු හෝ මන්ත්ර දැන, නුවණ මෙහෙයා කායික කටයුතුවල යෙදෙති. එහෙයින් ගොත්තං.....ලොකෙ යැයි කීහ. මන්තා යනුවෙන් නුවණට කියනු ලැබේ. ඒ අනුව හැසිරෙන බැවින්, මන්ත චරාමි ලොකෙ යැයි කීහ. ඡන්දස අනුව වචනය කෙටිකොට ඇත.