11. නාලක සූත්‍ර වර්ණනාව
ආනන්‍දජාතෙ යනු නාලක සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූයේ කුමක්ද? පියුමතුරා බුදුසව්වකු මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු දැක, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ අසිත ඉසිවරයාගේ බෑණනුවකු වන නාලක තවුසා (අප) භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවැත්වූ දවසින් සත්වන දින ‘අඤ්ඤාතමෙතං’ ආදී ගාථා දෙකකින් මොනෙය්‍ය පිළිවෙත විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘මොනෙය්‍යන්තෙ උපඤ්ඤිස්සං’ යනුවෙන් එය පැහැදිළි කළහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසු සංගීතියට පැමිණ ගරුකටයුතු මහ කසුප් තෙරුන් විසින් ගරුකටයුතු ආනන්ද තෙරුන්ගෙන් නාලක තවුසා එය විමසා සමාදන් වූ අයුරු විමසන ලදී. ඒ සියල්ල හෙළිදරව් කරනු පිණිස, ආනන්‍දජාතෙ ආදී ලෙසින් ගාථා විස්සක් කියන ලදුව, එය නාලක සූත්‍රය ලෙස හඳුන්වනු ලැබේ.
ආනන්‍දජාතෙ අදහස ඉටුවී, (සිත) දියුණුවට පත්වී, පතීතෙ සතුටුව, නැතහොත් වඩ වඩාත් සතුටට පත්ව, පතීතෙ සොම්නසට පත්ව, සුචිවසනෙ නොකිලිටි ලෙසින්, දෙවියන්ගේ කප්රැකෙහි පහළ වූ රෙදි දූවිලි හෝ කුණු පැල්ලම් නොගනී. දුස්සං ගහෙත්‍වා රෙද්දකට සමාන බැවින් ‘දූස්ස’ යනුවෙන් හඳුන්වනු ලබන දිව (සළුව) ඔසවා - සිසාරමින්, අසිතො ඉසී කළුපැහැ සිරුර නිසා එසේ නම් ලද ඉසිවරයා, දිවා විහාරෙ දවල් කාලය ගතකිරීමෙහි, ඉතිරි වචන කලින් සඳහන් කරන ලද පරිදිය.
මෙහි සම්බන්ධතාව මෙසේය. අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේද පුරෝහිතව, සුද්ධෝදන (කුමරු) ඔටුනු පැළඳීමට පෙර, සිප් ඇදුරව, රජ බවට පත්වූ පසු පුරෝහිත තනතුරට පත්විය. අසිත ඉසිවරයා උදේ සවස රජුට උවටැන් පිණිස (උපදෙස් දීමේ සේවය පිණිස) පැමිණි විට, තරුණ කාලයේදී මෙන්, ගරුසත්කාර නොකොට ඇඳිලි බැඳ වැඳීම පමණක් කරයි. එය ඔටුනු පළඳා රජබවට පත්වන සැකිකුල රජ සිරිතකි. අසිත ඉසිවරයා එයින් කලකිරී, ‘මහරජ, මම පැවිදි වෙමි’යි කීය. රජු තවුසාගේ තීරණය දැන ‘එසේනම් ඇදුරුතුමනි, මට නිතර දැකිය හැකි පරිදි මගේම උයනෙහි විසිය යුතු’යැයි ඉල්ලා සිටියේය. තවුසා ‘එසේ’ යැයි පිළිවදන් දී, තවුස් පැවිද්දෙක්ව, රජුගෙන් උවටැන් ලබමින්, උයනෙහිම වෙසෙමින් කසිණ බවුන් වඩා සමාපත්ති අට හා අභිඤ්ඤා පහ උපදවා ගත්තේය. එතැන් පටන් රජමැදුරෙහි අහර ගෙන, හිමාලය, චාතුම්මහාරාජික දෙව්ලොව, ආදී තැනකට ගොස් දිවාකාලය ගතකරයි. එක් දවසක් තවුතිසාවට ගොස්, රුවන් විමනට පිවිස, දෙව්රුවන් පලඟෙහි හිඳිමින්, සමාධිසුව විඳ හවස් කල නැගිට, විමන් දොරටුවෙහි සිට වටපිට බලනවිට, සැටයොදුන් මහා වීදියෙහි පිළී හිස සිසාරාවමින් බෝසත් ගුණ සඳහන් තුති වදන් කියමින් කෙළිදෙලින් පසුවන සක්දෙව් පිරිවරා ගත් දෙවියන් දුටුවේය. ඒ අනුව ගරුකටයුතු අනඳ හිමි ‘ආනන්ද ජාතෙ...දිවා විහාරෙ යැයි කීය.
අසිත තවුසා ඒ දෙවියන් දැක...කුමක් නිසා එසේ (සතුටු වන්නේ දැයි ඇසීය.) උදග්ගෙ සතුටුව, සතුට-උනන්දුව පිරි සිරුරු (ඉරියව්වෙන්) විත්තිං කරිත්‍වා ආදරය කොට, කලල රූපො සතුටු බවින් යුතුව, ඉතිරි පද අරුත් පැහැදිලිය.
මීළඟට දැවෙන ‘යදාපි ආසි’ ආදී ගාථා ඉහත දැක්වූ කරුණු සම්බන්ධ කිරීමට යෙදේ. ඒ මුල්ගථාවේ වචනවල අරුත් දක්වතොත් සංගාමො යුද්ධය, ජයො සුරානං දෙවියන්ට ජයය,
එය වටහාගනු පිණිස එහි පිළිවෙල කතාව දතයුතුය. මගධ රට, මඩල නම් ගමෙහි විසූ මිනිසුන් තිස්තුන් දෙනෙකුට නායක වූ මඝ නම් තරුණයෙක් වත් සතක් සපුරා තම පිරිස සමග සක්දෙවිව තව්තිසාවෙහි උපන්නේය. එහිදී පෙර සිට වසන දෙවියෝ, ‘අමුත්තන් සේ දෙව්පුතුන් පැමිණ ඇත. ඔවුන්ට සත්කාර කරමු’යි කියා දෙව්ලොව පිපෙන පියුම් ගෙනාහ. දෙව් රජයෙන් අඩක් පාලනයට ඇරයුම් කළහ. සක්දෙවි එවන් පාලනයකට නොකැමතිව, තම පිරිසට කරුණු වටහා දී දිනක් සුරා මතින් මත්ව සිටි ඒ දෙවිවරුන් පාවලින් ගෙන සිනෙරු පව්වෙහි පාමුලට විසිකර දැමීය. එයින් සිනෙරු පව්වෙහි යටිතලයෙහි පරසතු මලින් වැසුනු මනහර පලොල් මලින් සුන්දර වූ සියක් යොදුන් පෙදෙසක අසුර භවන පිහිටියේය. එහිදී ඔව්හු පියවි සිහිය ලැබ, තව්තිසා භවන නොදැක, ‘අනේ, අපි බීමත් වූ වරදින් නැසුනෙමු. අපි සුරා පානය නොකෙළෙමු. අපි සුරා නොවූ - අසුර පානය කළෙමු. දැන් අපි සූරයෝ නොවෙමු. අපි දැන් අසුරයෝ ලෙසින් උපන්නෙමු’ යැයි එතැන් පටන් අසුර යනුවෙන් හැඳිනීමක් ඇතිව, ‘අපි දෙවියන් සමග යුද සටන් කරමු’යි සිනෙරු පව්ව හාත්පස සිසාර නැඟ සිටියහ. එහිදී සක්දෙවි, අසුරයන් ඉහළට නංවා, නැවත මුහුදෙහි දමා, සිවු දොරටුවෙහි තමා හා සමාන පිළිරූ මවා තැබීය. එවිට අසුරයෝ, ‘සක් දෙවි පමා නොවී, නිසැකවම, නිති රැකවරණය සලසමින් සිටිතැ’යි සිතා නැවත (අසුරයන්ගේ) නගරයටම ගියහ. එවිට දෙවියෝ තමන් වෙනුවෙන් ජය ගොස නඟමින්, පිළි හිස සිසාරමින් මහා වීදියෙහි නැකත් කෙළි කළහ. ඉක්බිති අසිත ඉසිවරයා අතීතයට සහ අනාගතයෙහි කප් සතළිහක් සිහි කිරිමට හැකි බැවින්, ‘මොවුන් පෙරද මෙසේ කෙළිදෙළින් සිටියාහුදැ’යි මෙනෙහි කරමින්, ඒ දෙව්-අසුර සටනෙහිදී දෙවියන් ජයගත් බව දැන,