10. කෝකාලික සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං කෝකාලික සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? එය විස්තර ලෙස, එවම්මෙ සුතං යනුවෙන් සූත්‍රයෙහිම සඳහන් වෙයි. එහි ‘ඉක්බිති කෝකාලික’ යැයි දැක්වෙන පරිදි මේ කෝකාලික නම් කවුද? කුමක් නිසා (භාග්‍යවතුන් වහන්සේ වෙත) එළඹියේදැ’යි. මෙසේ විස්තර කරනු ලැබේ. මොහු කෝකාලී රටෙහි, කෝකාලී නගරයෙහි, කෝකාලි සිටුවරයාගේ පුතාය. සුළු කෝකාලික නමින් පැවිදිව පියා විසින් කරවන ලද විහාරයෙහිම වාසය කරයි. දෙව්දත් තෙරුන්ගේ සිසුවකු නොවේ. බමුණු පුතෙකු වූ ඔහු මහා කෝකාලික නමින් පතළ විය.
භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර වැඩවසද්දී, අගසවු දෙනම, පන්සියයක් මහණුන් සමග ජනපදචාරිකාවෙහි යෙදෙමින්, වස් සමාදන් වන කාලයෙහි විවේකීව වාසය කිරීමට කැමතිව, ඒ මහණුන් පිටත්කරවා, තම පාසිවුරු ද ගෙන, කෝකාලි ජනපදයෙහි එම විහාරයට ගියහ. එහිදී කෝකාලික හිමි සමග සතුටු පිළිසඳර කතාවෙන් පසු ‘ඇවැත්නි, අපි මෙහි මේ තුන්මාසය වසන්නෙමු. කිසිවෙකුටත් ඒ බව සැළ නොකරව’යි කීහ. කෝකාලික හිමි ‘යහපතැ’යි පිළිවදන් දී, තුන් මාසය ඉකුත්වීමට දිනකට පෙර, කලින්ම නගරයට ගොස්, ‘ඔබලා අගසවු දෙනම මෙහි වසන බව නොදනිවුද? කිසි කෙනෙක් සිවුපසයෙන් වත් ආරාධනා නොකළේ යැයි සැළ කළේය. නුවර වැසියෝ, ‘හිමියනි, අපට නොදැන්වූයේ ඇයිදැ’යි ඇසූහ. දැනුම් දෙන්නේ කුමකටද? ඇයි දෙනමක් වසන බව නුදුටුවෙහිද? (එසේනම් ඒ) අගසවු දෙනම නොවේදැ’යි (සළකා) වහා රැස්වී, ගිතෙල්, හකුරු, රෙදි ආදිය ගෙනවුත් කෝකාලික හිමි ඉදිරියේ තැබූහ. අගසවුවෝ ලද දෙයින් සෑහීමට පත් වෙති. දැනුම් දීම නිසා ලැබුණු දේ බව දැන භාර නොගනිති. එසේ භාර නොගෙන, නිසැකවම ‘මෙහි වසන හිමියන්ට දෙව’යි කියන්නාහ. එබැවින් මම මේ ලැබුණු දේවල් ඔවුන් ලවාම ගෙන යමි’යි කෝකාලික හිමි සිතුවේය. එසේ කටයුතු කළේය. තෙරුන්වහන්සේලා දෙනම එය දුටු කෙණෙහිම දැනුම් දීමෙන් ලද බව දැන, ‘මේවා අපට නොව කෝකාලිකටම වටී’ යැයි සිතා, ආවාසයෙහි වසන හිමිට දෙව’යි නොකියාම බැහැරකොට ගියහ. ‘තමන් නොගන්නේ නම්, මටවත් නොදුන්නේ යැ’යි කෝකාලික හිමි දොම්නස් විය.
අගසවු දෙනමද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. බුදුරජාණන් වහන්සේ ද පවරාණය කොට, තමන් ජනපද චාරිකාවෙහි නොහැසිරෙත් නම්, ‘මහණෙනි, බොහෝදෙනාගේ හිත පිණිස චාරිකාවෙහි හැසිරවු’ යැයි අගසවු දෙනම පිටත්කර හරිති. මෙය තථාගතයන් වහන්සේලාට ආවේණික වූවකි. මේ වේලාවෙහි තමන් නොයනු කැමතිව, ‘මහණෙනි, යව, චාරිකාවේ හැසිරෙවු’ යැයි නැවත පිටත්කර හැරියහ. උන්වහන්සේලා තවත් මහණුන් පන්සියයක් සමග චාරිකාවේ යෙදෙමින් පිළිවෙලින් කෝකාලි නුවරටම ගියහ. නගරවාසීහු තෙරුන් වහන්සේලා හැඳින සපිරිකර දානය පිළියෙල කොට, නගර මැද වේදිකාවක් කරවා දානය පිරිනැමූහ. පිරිකරද පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ඒවා පිළිගෙන අනෙක් හිමිවරුන්ට දුන්හ. ඒ දුටු කෝකාලික හිමි ‘කලින් මේ තෙරුන් වහන්සේලා ලද දෙයින් සතුටු වූහ. දැන් ලෝභයෙන් වෙළී පවිටු බවට පත්වූහ. පෙරදී ද ලද දෙයින් සතුටුවීමේ සිතිවිල්ලෙන් ඈත් වීදැයි හැඟේ. මේ නැතිගුණ පෙන්වන ලාමක මහණුන් යැයි සිතුවේය. කෝකාලික හිමි, තෙරුන්වහන්සේලා වෙත පැමිණ, ඇවැත්නි, ඔබලා පෙර ලද දෙයින් සතුටුව, විවේකීව මෙන් සිටියාහුය. දැන් පවිටු පැවිද්දන් සේ යැයි’ කියා, ‘ඉක්මනින්ම ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කරන්නෙමි’යි පා සිවුරු ගෙන, එදිනම සැවැත්පුරට ගියේය. කෝකාලික හිමි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ මේ කරුණු නිසාය. එහෙයින්, අථ ඛො කොකාලිකො භික්‍ඛූ යෙන භගවා තෙනුපසංකමි යැයි කියන ලදී.
කොකාලික හිමි වහ වහා පැමිණෙනු දුටු භාග්‍යවතුන් වහන්සේ ‘අග සවුවන් කෙරෙහි දොස් නැගීමට කැමතිව එසේ පැමිණෙන බව දැන, එය වළක්වාලීමට හැකිදැයි මෙනෙහිකොට’ එය නොහැකිය, තෙරුන් වහන්සේලාට දොස් නගා නිසැකවම පදුම නම් නිරයෙහි උපදින්නේ යැයි දිවැසින් දුටහ. එහෙත්, සැරියුත්, මුගලන් තෙරුන්ට ගරහනවිට, එය නොවැළැක්වීයැයි නැගෙන පොදු චෝදනාවෙන් මිදෙනු පිණිසත්, උතුමන්ට ගැරහීම බරපතල වරදක් බවත් දැක්වීමට ‘එසේ නොකරන්නැයි’ තෙවරක්ම වැළැක්වූහ. මාහෙවං මා එවමාහ, ‘එසේ නොකියව’යි අදහසයි. පෙසලා සිත්, සද්ධායිකො ඇදහිය හැකි, පහදන සුළු, පච්චයිකො හේතු සහිතව ‘එය මෙසේ’ යැයි තීරණයකට පැමිණෙතැයි ද කියන ලදී.
අචිරපක්කන්තස්ස ඉවතට ගිය නොබෝ වේලාවකින්, සබ්බො කායො ඵුඨො අහොසි, කෙස් අගක් පමණකුදු ඉඩක් නොතබා, මුළු සිරුරම ඇට බිඳගෙන මතු වූ පීළකාහි, වසා පැතිරී ගියේය. කළ දෙයක මෙබඳු විපාකය බුදු බලය නිසා බුදුරජාණන් වහන්සේලා හමුවේදීම පල නොදෙයි. බුදුහිමි දැකීමට නොලබන විටකදී (එතැනින්) ඉවත් වූ කල විපාක ලැබෙයි. එහෙයින් කෝකාලික හිමි බුදුහිමි වෙතින් ඉවතට ගිය නොබෝ වේලාවකින් බිබිලි මතුවිය. අචිරපක්කන්තස්ස කොකාලිකස්ස යැයි ඒ අනුව කියන ලදී. කුමක් නිසා එතැනම නොසිටියේ යැයි කියන ලද්දේ ද? කරන ලද දෙයෙහි බලපෑමයි. ඉඩලද විට ඒකාන්තයෙන් එය විපාක දෙයි. එබැවින් එතැන සිටීමට (සිත) ඉඩ නුදුනි. කෝකාලික හිමි තමන් කරන ලද දෙයින් (සිත) මෙහෙයවමින්, උට්ඨායාසනා පක්කාමි, කාලයමත්තියො කඩල ඇට පමණ, බෙලුව සලාටුකමත්තියො නොමේරු බෙලිගෙඩි තරම්, පභිජ්ජිංසු පැලුනාහ. එසේ ගෙඩි පිපිරි ගිය කල මුළු සිරුරම ඉදුණු කොස්ගෙඩියක් මෙන් විය. කෝකාලික හිමි සිරුර කුණු වී, බොහෝ විපතට පත්ව දුකින් පෙළී ජේතවන විහාර දොරටුවෙහි නිදා සිටියේය. දහම් ඇසීමට එනයන මිනිස්සු ඒ දැක, ‘කැතයි, කෝකාලික, ලැජ්ජයි කෝකාලික, නුසුදුසු දෙයක් කළෙහි, තමන්ගේම කට නිසා බොහෝ විපතට පත්වී’ යැයි කීහ. ඔවුන්ගේ කීම ඇසූ රැකවලෙහි සිටි දේවතාවෝ එකසේ නින්දා කළහ. රැකවල දේවතාවන්ගේ කීම ඇසූ අහසෙහි වසන දේවතාවුන්ගේ සිට අකනිටාව තෙක් එක්බදුම නින්දා ගැරහුම් විය.