9. කිංසීල සූත්‍ර වර්ණනාව
කිං සීලො යනු කිංසීල සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? ගරු කටයුතු සැරියුත් හිමිගේ ගිහිකල එක් යහළුවකු වූ, උන්වහන්සේගේ පියා වූ වංගන්ත බමුණාගේ ද යහළු බමුණකුගේ පුතෙක් විය. ඔහු සැටපන් කෝටියටත් වඩා ධනය හැරදමා ගරුකටයුතු සැරියුත් තෙරුන් සමීපයෙහි පැවිදිව සියළු බුදුවදන්ද ඉගෙන ගත්තේය. තෙරුන් වහන්සේ ඒ හිමිට බොහෝ අවවාද කොට කමටහන් දුන්හ. එයින් මගපල වැනි උසස් බවක් නොලැබීය. එවිට සැරියුත් තෙරුන්, ‘මේ හිමියන් ගැන දන්නේ බුදුරදුන්යැ’යි ඒ හිමිද සමග භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, ඒ හිමියන් මුල්කොට, පුද්ගලයෙකු නියම නොකොට, කිං සීලො යැයි ඇසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිදුරට කරුණු පැහැදිළි කළහ.
කිං සීලො කෙබඳු වැළකිය යුතු (කරුණු අනුව) සීලයෙන් යුතු වේද? කෙබඳු ගතිගුණ සොබාව තිබිය යුතුද? කිං සමාචාරො කෙබඳු හැසිරිමෙන් යුතු වේද? කානි කම්මානි බ්රෑහයං කයෙන් කෙරෙන කටයුතු කෙබඳු ලෙස විය යුතුද? නරො සම්මා විනිට්ඨස්ස සසුනෙහි ඇල්මෙන් යුතු මිනිසා මැනවින් කටයුතු කරන්නේය. උත්තමත්ථඤ්ච පාපුණෙ හැමවිටම උතුම් අරහත් පලයටද පැමිණෙන්නේ යැයි කියන ලදී.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘සැරියුත් අඩමසකදී අරහත් පලයට පත්විය. මගපල පත් නොවූ කෙනෙකු මුලින්ම කළ යුතු දේ ගැන පැනයක් අසන්නේ කවර හෙයින්දැ’යි විමසා බලන්නේ, එක්ව වාසය කරන්නෙකු මුල්කොට ගෙන යැයි දැන, අසන ලද පරිදි හැසිරීම් පිළිබඳ වූ සීලය නොපවසාම, ඒ හිමියන්ට සුදුසු වන සේ දහම් දෙසමින්, වද්ධාපචායී ආදී ගාථා වදාළහ.
එහි නුවණින් වැඩිහිටි බව, ගුණයෙන් වැඩිහිටි බව, උපතින් වැඩිහිටි බව, වයසින් වැඩිහිටි බව යයි කරුණු සතරකි. උපතින් තරුණ වුවද, බොහෝ දැනුමැති ගුණදම් සපිරූ මහණක නම්, උගත්කමින් අඩු, ගුණදම් සපුරා නැති වැඩිහිටි මහණක අතර, නුවණින් වැඩි බවින් (ඒ තරුණ මහණ) පඤ්ඤාවද්ධො වේ. ඒ තරුණ මහණ සමීපයෙහි මහළු මහණෙක් වුවද බුදුවදන් උගනිති. උපදෙස්, තීරණ, පැන විසඳුම්ද බලාපොරොත්තු වෙති. එසේ තරුණ මහණ ද අවබෝධයෙන් යුතු වූයේ ගුණවද්ධො නම් වේ. ඒ මහණගේ අවවාදයෙහි පිහිටා වැඩිමහල් මහණුද විදසුන් මග වඩා අරහත් පල ලබති. එසේ තරුණ වුවද, අබිසෙස් ලද කැත්කුල රජකු හෝ බමුණකුගේ හෝ අන් ජනයාගේ වැඳුම් ලැබීමට සුදුසු බැවින් ජාතිවද්ධො නම් වේ. සියල්ලටම කලින් මුලින්ම ඇති වූ බැවින් වයොවද්ධො වේ. එහි පැනවත් බවින් බුදුරදුන් හැර, සැරියුත් සමාන වූවෙකු නැත. එසේම අඩමසකින් සියළුම සාවක පාරමී නුවණ - රහත් පල අවබෝධ කළ බැවින් ගුණයෙන් ද උසස්ය. උපතින්ද බමුණු මහසල් කුලයක උපන්නේය. එහෙයින් ඒ මහණුන්ට වයසින් සමාන වුවද, සැරියුත් හිමි මේ කරුණු තුනෙන්ම වැඩිහිටියහ. මේ තේරුමෙන්ද, පැනවත් ගුණයෙන් මෙන්ම වැඩිහිටි බවද අනුව භාග්‍යවතුන් වහන්සේ වද්ධාපචායී යැයි වදාළහ. එහෙයින් මෙබඳු වැඩිහිටියන්ට ගරු කිරීම වද්ධාපචායී වේ. ඒ වැඩිහිටියන්ට ලැබීම් ආදී දේ කෙරෙහි (එබඳු වැඩිහිටි මහණුන්ට සිවුපසය ආදිය ලැබීමේදී) ඉරිසියා සහගත නොවීම ද අනුසුය්‍යකො සියා වන්නේය. මේ මුල් ගාථා පදයේ අරුතයි.
කාලඤ්ඤූවස්ස රාගය ඇති වූ විට එය දුරුකරගැනීම පිණිස ගුරු (හිමිවරු) දැකීමට යාමද කාලය දන්නා කාලකඤඤූය. මෙසේ කාලඤ්ඤූ චස්ස ගරු දස්සනාය යැයි දැක්වේ. ධම්මී කථං සමථ විදසුන් කරුණු, එරයිතං කියන ලදී. බණඤ්ඤූ එම කතාවට කාලය දන්නේ, මෙබඳු කතා ඇසීමට කාලය, දුලබ, පහසුවෙන් ලබාගත නොහෙන බව දැනගැනීමෙන්, සුණෙය්ය සක්කච්ච ඒ කතාව මනාව අසන්නේය. එපමණක් නොවේ. බුදුගුණ ආදිය ඇතුලත් වෙනත් කතාද සුභාසිතානි, ඉතා මැනවින් අසන්නේය යන තේරුමයි.
‘ගුරුවරයෙකු දකිනු පිණිස ඔහුට කාලය යැයි’ එහි කියන ලද පරිදි තමන්ට හටගත්තා වූ රාග ආදිය දුරුකර ගැනීමට කාලයද දැන ගුරුවරුන් සමීපයට යන්නේ කාලෙන ගච්ජෙ ගරුනං සකාසං වේ. ‘මම කමටහන් අනුගමනය කරමි. ධුතංග පිලිපදිමි’යි සළකා දාගැබ බෝමළු වැඳීම, පිඬු පිණිස හැසිරිම, බොහෝ දවල් වී යැයි, යම් තැනක සිටි ගුරුවරයා දැක කරුණු විචාරීමට නො එළඹෙන්නේය. තමන් වසන සෙනසුනෙහි, තමන්ගේ අසපුවෙහි හිඳ සිත් තැවුල සමනය වූ සැටි සළකා කමටහන් ආදිය ගැන ඇසීමට පැමිණෙන්නේ යැයි තේරුමයි. මෙසේ පැමිණෙන්නේ ද ථම්භං නිරංකත්වා නිවාතවුත්ති තද ගතියෙන් යුතු මානය නැතිකොට, පා පිස්නා රෙදිකඩක්, අං කැඩුණු නායක ගොනෙකු, දළ උදුරා දමන ලද සතෙකු බඳුව එළඹෙන්නේය. එවිට ඒ ගුරුහිමියන් කියන ලද අත්ථං ධම්මං......සමාචාරෙ ච, අත්ථං කියන ලද දෙයෙහි අරුත, ධම්මං පෙළ දහම, සංයම සීලය, බ්රහ්මචරියං සාසනයෙහි ඉතිරි කරුණුවලට අදාල උසස් හැසිරීම, අනුස්සරෙ චෙව සමාචරෙ ච වටහා දුන් කල්හි සිහි කරන්නේ ය. පෙළ දහම, සීලය, උසස් හැසිරීම ගැන පහදා දුන් කල්හි සිහි කරන්නේය. සිහි කිරිමෙන්ද, අසතුටු නොවී, ඒ සියළු කරුණු සමාචරෙ පිලිපදින්නේය. මනාව පවත්නේය. එම ගුණ වැඩිදියුණු කරගැනීමෙන් තමා කෙරෙහි එම ගුණ පැවතීම ගැන උත්සාහවත් වන්නේ යැයි තේරුමයි. මෙසේ නියම අයුරින් කටයුතු කරන්නේ වේ.
එයින් දහමෙහි කැමති වූ, දහමෙහි ඇළුණේ, දහමෙහි පිහිටියේ, දහම අනුව තීරණය කෙරෙමින් අනුන් කෙරෙහිද පවතින්නේය. මෙහි සියළුම පදවල ධම්මො යනු සමථ විදසුන්ය. ආරාමො - රතී එකම තේරුමයි. දහමෙහි ඇළුනේ ධම්මාරාමො, දහමෙහි ඇළුම් කරනවිට වෙනත් දෙයකට කැමති නොවේ යනු ධම්මරතො, ධම්මෙ ඨිතො දහමට පැමිණ පවතින, දහමට අනුව කරුණු තීරණය කිරීමට දනී. යම්දෙයක හටගැනීම නිසිපරිදි දැනගැනීමේ නුවණ, මේ යම්දෙයක් නැතිවීම යයි නිසි අයුරින් දැනගැනීමේ නුවණින් යුතු වූයේ ධම්ම විනිච්ඡයඤ්ඤූ වේ. මෙබඳු කෙනෙකු විය යුතුය. එසේම රජවරුන් පිළිබඳව, තිරිසනුන් පිළිබඳ වූ හෝ (වැඩකට නැති නොසරුප්) කථාවලින් ද, පිටතින් දකින රූප ආදී අරමුණු කෙරෙහි සතුටක් ඇති වීමෙන්ද විදසුන් වඩන තරුණ යෝගාවචරයෙකුට සමථ විදසුන් දහම අපිරිසිදු වෙයි. එහෙයින් දහම කිලිටි බවට පත්කරන්නේ යැයි කියනු ලැබේ. එසේ පත්නොවීම නෙවාචරෙ ධම්මසන්දොසවාදං වෙයි. නීයෙථ තච්ඡෙහි සුභාසිතෙහි හුදෙක් අසපු ආදී බවුන් වඩනා කෙනෙකුට සුදුසු දෙය ඇසුරු කරමින්, සමථ විදසුන් පිළිබඳ වූ අරුත් ඇති ඇත්ත වූ යහපත් දෙයෙහි නීයෙථ යෙදෙන්නේය. කල්ගත කරන්නේය යන තේරුමයි.