2. චූල වර්ගය
1. රතන සූත්‍ර වර්ණනාව
යානීධ භූතානි යනු රතන සූත්‍රයයි. එය දේසනා කිරිමට හේතු වූ කරුණ කුමක්ද? අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.
මේ කාලයෙහි එක්තරා තාපසයෙක් ගොපළු පවුල්වලින් සත්කාර ලබමින්, ගංතෙර වසයි. ඔහු උදැසනම ගඟට බසිද්දී ඒ භාජනය පාවී එනු දැක, පංසුකූල හැඟීමෙන් (කුණු ගොඩක් එතූ රෙදි යැයි සළකා) අතට ගත්තේය. ඒ අකුරු සඳහන් තහඩුව හා රාජකීය සලකුණු ද දැක, එය ඉවත්කළ පසු මස් වැදැල්ල දුටුවේය. මෙය දරු (ගැබක්) කලලයක් විය යුතුය. එසේම මෙහි දුගඳක් හෝ කුණු වූ බවක් නැතැ’යි ඒ දුටු තවුසාට සිතුණි. ඔහු එය ගෙනගොස් පිරිසිදු තැනක තැබීය. අඩමසක් ගත වූ විට එම මස්වැදැල්ල මස්වැදලි දෙකක් සේ බෙදුණි. තාපසයා ඒ දැක වඩාත් හොඳින් සුදුසු තැනක තැබීය. නැවත අඩමසකට පසුව එක් එක් මස්වැදැල්ලක අත්, පා, හිස පිණිස ගැට (ගඩු) පහක් පහක් බැගින් මතුවිය. තවත් අඩමසකින්, එක් මස් වැදැල්ලකින් රන් පිළිමයක් බඳු පිරිමි දරුවෙක්ද, අනෙක් මස් වැදැල්ලෙන් දැරියක්ද ඇතිවිය. තාපසයාට ඔවුන් කෙරෙහි දරු සෙනෙහස පහළ විය. ඔහුගේ මහපටඇඟිලි තුඩින් කිරි වැගිරේ. එතැන් පටන් කිරිබත්ද ලබයි. තාපසයා බත් කා ඒ දරුවන්ගේ මුවෙහි කිරි තවරයි. ඔවුන්ගේ කුස තුළට පිවිසෙන ඒ සියල්ලම මැණික් බඳුනකට දැමුවා සේ විනිවිද පෙනේ. (සිරුරෙහි) සමක් නොමැති විය. මසා තැබුවාක් මෙන් ඔවුන් එකිනෙකාගේ සම තුනී වී යැයි ඇතැම්හු කියති. මෙසේ ඔවුහු සම නොමැති බැවින් හෝ තුනී සම ඇති බැවින් හෝ ‘ලිච්ඡවී’ යැයි හැඳින්වූහ.
දරුවන් ඇති දැඩි කරන තාපසයා හිරු පෑයූ කල පිඬු පිණිස ගමට පිවිසෙයි. මහ දාවලෙහි ආපසු එයි. තවුසාගේ එම වැඩකටයුතු දැනගත් ගොපල්ලෝ ‘හිමියනි, පැවිද්දන්ට දරුවන් ඇතිදැඩි කිරීම අවහිරයකි. දරුවන් අපට දෙන්න, ඇතිදැඩි කරන්නෙමු, ඔබතුමාට සුදුසු කටයුතු කරනු මැනවැ’යි කීහ. තාපසයා ‘යහපතැයි පිළිතුරු දුනි. ගොපල්ලෝ මග වලගොඩැලි සමකොට, මල් අතුරා, දද කොඩි ඔසවා වාදන භාණ්ඩ වයමින් පසුදින අසපුවට පැමිණියහ. තාපසයා ද, ‘මහත් පින් ඇති දරුවන්ය, මහත් සැළකිල්ලෙන් නොපමාවම ඇතිදැඩි කරව, ඇතිදැඩිකොට එකිනෙකා ආවාහ විවාහ කටයුතු කරන, පස්ගෝ රසින් රජු සතුටුකොට, බිම් කොටසක් (ලබා) ගෙන, නගරයක් සකසව, එහි කුමරු ඔටුනු පළඳවයි කියා දරුවන් (ඔවුන්ට) දුන්නේය. ඔවුහු යහපතැයි කියා දරුවන් ගෙන ගොස් ඇතිදැඩි කළහ.
එසේ ඇතිදැඩිවන දරුවෝ අනෙක් ගොපළු දරුවන් හා කෙළි සෙල්ලම් කරමින්, (එකිනෙකා අතර) මතභේදාත්මක කරුණු ඇතිවූ විට අතින් පයින් පහර දෙති. ඒ ගොපළු දරුවෝ හඬති. ඔවුන්ගේ මව්පියන්, ‘කුමක් නිසා හඬවුදැ’යි ඇසූවිට, ‘මව්පියන් නැති, තාපසයා හදාවඩා ගත් මොවුන් අපට තදින් පහර දෙති’යි කියති. එවිට ඔවුන්ගේ මව්පියෝ, ‘මේ දරුවන් අනෙක් දරුවන් පීඩාවට පත්කරති. දුකට පත්කරති. මොවුන්ට උදව් නොකළ යුතුය, මොවුන් දුරුකළ යුතුය. ඈත් කළ යුතුයැ’යි කීහ. (ඉමෙ වජ්ජෙතබ්බා) එතැන් පටන් යොදුන් තුන්සියයක් වූ ඒ ජනපදය ‘වජ්ජි’ යැයි කියනු ලැබේ. ඉක්බිති ගොපල්ලෝ රජු සතුටුකොට ඒ පෙදෙස මිලට ගත්හ. එහි නගරයක් සකසා, සොළොස් වයසැති කුමරා අබිසෙස් කොට රජබවට පත්කළහ. ‘පිටතින් දැරියක කැඳවා නොආ යුතුය. මේ දැරිය වෙනත් කෙනෙකුට ද නොදිය යුතුයැයි’ ඇය හා කතිකාකොට (විවාහය සඳහා) වෙන්කොට ගත්හ. ඔවුන්ගේ පළමු එක්වීමෙන්ම, දුවක්ද පුතෙකුද ලදහ. මෙසේ දහසය වාරයක්ම දෙදෙනා බැගින් උපත ලදහ. ඔවුන්ගේ දරුවන් නිසි පරිදි වැඩෙනවිට, පළතුරු උයන්, වාසය කරන තැන් සඳහා පිරිවර ජනතාවට ඉඩකඩ මද වූ බැවින්, ඒ නගරය තෙවරක්ම ගවුවක්, ගවුවක් අතර පවුරකින් වටකළහ. එය නැවත නැවත (දිග-පළලින්) විසාල කරන ලද බැවින් වෙසාලී හෙවත් විසාලා නම් විය. මේ විසල්පුර ඇති වූ අයුරුයි.
මේ විසාලා නුවර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ කල්හි මහත් යසඉසුරින් සපිරිණ. එහි රජවරුම හත්දහස් හත්සිය දෙනෙක් වූහ. එසේම යුවරජවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික තනතුරු දරන්නෝ ද වූහ. එහෙයින් කියන ලදී -
‘ඒ කාලයෙහි විසාලාව යසඉසුරින් පිරුණු, බොහෝ ජනගහණයෙන් යුතු, නිති මිනිසුන් ගැවසෙන, ආහාර සුලබ වූ, හත්දහස් හත්සිය සතක් පහයෙන්ද, එපමණම වූ කුළුගෙවලින්ද, මල්පලතුරු උයන්වලින්ද, එපමණ පොකුණුවලින්ද යුතු විය.
පසුකලෙක ඒ විසල්පුරය ආහාර දුලබ වීය. වැසි නොමැතිව අස්වැන්න පාළු විය. මුලදීම දුගී මිනිස්සු මැරෙති. ඔවුන් පිටතට ගෙනගොස් දමති. මළසිරුරු කුණුව හමන ගඳින් භූතයෝ නුවරට පිවිසියහ. එයින්ද බොහෝ මිනිසුන් මැරෙති. එහි පිළිකුල නිසා, ඉතිරිව සිටි වැසියන්ට මහාමාරිය රෝගය වැළඳුණි. මෙසේ ආහාර දුලබවීම, භූත බිය සහ රෝග බියෙන් උවදුරු ඇති වූ විට නගරවාසීහු රජු හමු වී ‘මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. මීට පෙර, සත් කුල රජ පරපුරක පටන් මෙබඳු දෙයක් නොවූ විරූය. ඔබවහන්සේගේ අදැහැමි බවෙන් දැන් එසේ සිදුවී යැයි පැවසූහ. රජු සියළුදෙනා පුරහලට රැස්කරවා, ‘මගේ අදැහැමි බවක් ඇතොත් එය පෙන්වා දෙව’යි කීය. ඔව්හු මුළු රජ පරපුරම ගැනම විමසමින් කිසිදු දොසක් නුදුටුවහ.
එහිදී රජුගේ වරදක් නොදැක, ‘මේ බිය අප කෙසේ සංසිඳවන්නෙමු’දැයි සිතූහ. ‘මගපෙන්වන නායකයන් ලෙස සැළකු පූරණ කස්සප ආදී හයදෙනා නගරයට පමුණුවා ගත්විට බිය සංසිඳෙන්නේ’ යැයි ඇතමෙක් පැවසූහ. ‘ලොව බුදුවරයෙකු පහළවී ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු සත්වගට හිතසුව පිණිස දහම් දෙසති. මහත් ඉඳුබල ඇතියහ. මහා බලසම්පන්න වෙති. එතුමන් මේ පුරයට කැඳවනු ලබන්නේ නම් බිය සංසිඳේ යැයි ඇතමෙක් කීහ. එයින් සතුටට පත් නගරවාසීහු, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන්නේ කොතැනද? අප පණිවුඩ යැවූකල පැමිණේවිදැ’යි ඇසූහ. ‘බුදුවරු නම් අනුකම්පා ඇතියහ. නොපැමිණෙන්නේ කවර කරුණක් නිසාද? ඇතමෙක් ඇසූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් රජගහනුවර වැඩ වසති. බිම්බිසාර රජුද උන්වහන්සේට උවටැන් කරයි. ඇතැම්විට රජු පැමිණීමට ඉඩ නොදෙනු ඇතැ’යි (කෙනෙක් කීය) ‘එසේනම්, රජුට කරුණු පහදා දී කැඳවාගෙන එන්නෙමු’යි ලිච්ඡවී රජවරු දෙදෙනෙකු මහත් බලයෙන් පිරිවරා, තුටුපඬුරු දී බිම්බිසාර රජු වෙත යැවූහ. ඔහු බිම්බිසාර රජුට පඬුරු පිළිගන්වා ඒ තොරතුරු දන්වා, ‘මහරජ, භාග්‍යවතුන් වහන්සේ අපගේ නගරයට වැඩම කරවීමට (උපකාර වන ලෙස) කීහ. රජු එය නොපිළිගත්තේය. ‘ඔබම (ඊට සුදුසු පරිදි) දැනගනුව’යි කීය. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ වැඳ ‘හිමියනි, අපගේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. ඔබවහන්සේ වැඩම කරන්නේ නම්, අපට යහපතක් වන්නේ’ යැයි කීහ. භාග්‍යවතුන් වහන්සේ (දිවැසින්) බලා ‘විසාලාවෙහි රතන සූත්‍රය දේසනා කළවිට, එහි රැකවරණය කළ සියදහසක් සක්වළ පැතිර යන්නේය. දේසනය නිමවන විට, අසූහාර දහසකට දහම් අවබෝධ වන්නේ යැයි (ආරාධනය) පිළිගත්හ. බිම්බිසාර රජු, භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බව අසා, ‘විසල්පුරට බුදුරදුන් වඩිනා බව නගරයෙහි පතුරුවා, උන්වහන්සේ වෙත එළඹ, ‘හිමියනි, විසල්පුරට පැමිණීමට කරන ලද ආරාධනය භාරගන්නා ලදදැ’යි ඇසීය. ‘එසේය මහරජ’යි වදාළ විට, ‘එසේනම් හිමියනි, වඩිනා මග පිළියෙල කරන තෙක් ඉවසනු මැනවැ’යි පැවසීය.