10. උට්ඨාන සූත්‍ර වර්ණනාව
උට්ඨහථ යනු උට්ඨාන සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? එක් සමයෙක, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසද්දී, රැය ජේතවන විහාරයෙහි ගතකොට උදෑසන බික්සඟන පිරිවරා පිඬු පිණිස හැසිර, බටහිර දොරටුවෙන් නගරයෙන් නික්ම දිවා කාලය ගතකිරීමට මිගාරමාතු පහයට වැඩියහ. ජේතවන විහාරයෙහි රැය ගතකොට දිවාකල විහරණයට මිගාරමාතු පහයට වැඩම කිරීමත්, රැය මිගාරමාතු පහයෙහි ගතකොට ජේතවනාරාමයෙහි දිවා විහරණයත් භාග්‍යවතුන් වහන්සේගේ පුරුද්දකි. කවර හෙයින්ද? කුල දෙකටම දහමෙන් උපකාර කිරීම පිණිසත්, දීමෙහි - ආසාව අත්හැර දැමීමේ ගුණ පැහැදිලි කර දෙනු පිණිසය. මිගාරමාතු පහයෙහි යට (බිම් මහලෙහි) කුළුගෙවල කාමර පන්සියයකි. පන්සියයක් මහසඟණ වසති. යම්විටක එහි භාග්‍යවතුන් වහන්සේ බිම් මහලෙහි වැඩසිටිත්ද, උන්වහන්සේට ගරු කරනු වස් උඩුමහලට මහසඟන නොනඟිති. එදින භාග්‍යවතුන් වහන්සේ මතු මහලෙහි කුළුගෙවල කාමරයට පිවිසියහ. එවිට යටමහලෙහි කාමර පන්සියයට පන්සියයක් මහණහු පිවිසියහ. ඒ මහණහු සියල්ලෝම මේ සසුනට එක්ව වැඩිකලක් ගත නොවූ, නවක, නොසන්සුන් උඩඟු අසංවර වූ ඉඳුරන් ඇත්තාහ. ඒ මහණහු එහි පිවිස, දහවල නිදා, සවස් කල පිබිද, බිම් මහලෙහි රැස්ව, ‘අද බත් හලෙහි ඔබ (නොසිටියේ) කුමක් වූවෙහි? ඔබ ගියේ කොහිද? ‘ඇවැත්නි, මම කොසොල් රජගෙදර සිටියෙමි. මම අනේපිඬු සිටු නිවසෙහි සිටියෙමි’, එහි මෙබඳු මෙබඳු ආහාර සකසා තිබුණි. ආදී නොයෙක් ලාභදායී-සුලබ කතා උස්හඬින් මහත් හඬින් කියමින් සිටියහ.
භාග්‍යවතුන් වහන්සේ ඒ හඬ අසා ‘මොවුන් මා සමග සිටියදීත් හැසිරෙන්නේ මෙසේය, අහෝ! සිදු නොවිය යුතු දෙයකැ’යි, මුගලන් මහතෙරුන්ගේ පැමිණීම ගැන සිතූහ. එකෙණෙහිම මහමුගලන් හිමි භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන, ඉඳු බලෙන් අවුත් පා වඳිමින්ම සිටියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මුගලන, මේ එක්ව වෙසෙන්නෝ (දහමෙහි) පමා වෙති. ඔවුන් ‘සංවේගයට පත් කරන්නේ නම් මැනවැ’යි මුගලන් හිමියන් ඇමතූහ. ‘එසේය, හිමියනි’යි පිළිවදන් දුන් ගරුකටයුතු මුගලන් හිමි, එකෙණෙහිම ආපො කසිණයට සමවැද, කාණුව පිහිටි තැන සිට මහ පහය මහා සුළඟට අසු වූ නැවක් මෙන් පා ඇඟිල්ලෙන් කම්පා කළහ. සෙලවූහ. එවිට ඒ මහණහු බයවී, විලාප නඟමින් තම තමන්ගේ සිවුරු ද ඉවත ලා දොරටු සතරින්ම නික්මුණහ. භාග්‍යවතුන් වහන්සේ, ඒ මහණුන්ට පෙනෙන පරිදි වෙනත් දොරටුවකින් සුවඳ කුටියට පිවිසෙන්නාක් මෙන් වූහ. ඒ මහණහු දැක වැන්දාහ. ‘මහණෙනි, කිනම් දෙයකට බිය වූවෝදැ’යි ඇසූහ. ‘හිමියනි, මේ මිගාරමාතු පහය කම්පා වී සෙලවුණේ’ යැයි සඟපිරිස කීය. ‘මහණෙනි, එය කවුරුන් විසින් කරන ලදදැ’යි ඔබලා දනිවුද?’ ‘හිමියනි, නොදනිමු’ එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, ඔබලා වැනි සිහියෙන් කටයුතු නොකරන, සිහි මුළාවූ පමාවූවන්ට සංවේගය දනවනු පිණිස මුගලන් තෙරුන් විසින් කම්පා කරන ලදැයි කියා ඒ මහණුන්ට දහම් දෙනු පිණිස මෙම සූත්‍රය වදාළහ.
උට්ඨහථ අලස කමින් නැගිටිවු, උත්සාහ කරව්, වෑයම් කරවු, කම්මැලි නොවව්, නිසීදථ පලක් බැඳ කමටහනට ගැලපෙන අයුරු හිඳිවු, කො අත්‍ථො සුපිතෙන වො කෙලෙස් නැති කිරීම පිණිස පැවිදි වූ ඔබලාට නිදීමෙන් ඇති පලය කුමක්ද? නිදාගන්නා තැනැත්තෙකු විසින් කිසිදු යහපතක් මුදුන්පත් කරගත නොහැකිය. ආතුරානං කා නිද්දා සල්ල විද්ධාන රුප්පතං සිරුරෙහි ඉතා සුළු කොටසක හටගත් ඇස් රෝගයක් ආදියෙන් පෙළෙන විටද, අඟලක්, අඟල් දෙකක් තරම් වූ යකඩ උලක්, උල් වූ ඇට කැබැල්ලක්, උල් වූ දත් කැබැල්ලක්, උල් වූ අං කෑල්ලක්, උල් වූ දර කැබැල්ලක් වැනි එක්තරා උලක් ඇනී වේදනා දැනෙන විට ඒ මිනිසුන්ට නින්ද නැත. එසේම මුළු සිතත්, සිරුරත් බිඳගෙන හටගත් නොයෙක් ආකාර වූ කෙලෙස් රෝගවලින් පීඩිත වූ ඔබලාට කුමන නින්දක්ද? රාග ආදී උල් පහක් හදවත ඇතුලට පිවිස විඳින ලද බැවින් සල්ලවිද්ධාන රුප්පතං වේ.
මෙසේ කියා, භාග්‍යවතුන් වහන්සේ වඩ වඩාත් ඒ මහණුන් උත්සාහවත් කරමින් සංවේගයට පත් කරනු පිණිස නැවත උට්ඨහථ... වසානුගෙ යන ගාථාව වදාළහ. මේ එහි අදහස් කෙරෙන අරුත් විස්තර දැක්වීමයි. ‘මහණෙනි, මෙසේ කෙලෙස් උලෙන් විඳිනු ලබන ඔබලාට පිබිදීමට කාලයයි. ඊට හේතු කවරේද? ‘මහණෙනි, මගපෙන්වන නායකයෙකු හමුවී ඇති මෙම උසස් හැසිරීම හෙවත් බ්‍රහ්මචරිය හැම අතින්ම ඉහළය. මීට පෙර ඔබලා උතුම් ඇත්ත නොදැක (එය අවබෝධ කිරීමේ අදහසින්) දිගුකලක් උස්පව්වල නිදාගත්තහු, ගංගා (ඉවුරුවල) නිදාගත්තහු, සම නොසම රුක්මුදුන්හි නිදාගත්තහු, එහෙයින් නිදීම අවසන් කරනු පිණිස, (සිතෙහි) සන්සුන් බව පතා නැගී සිටිව්, හිඳිව්, දැඩිසේ හික්මෙව්,