11. රාහුල සූත්ර වර්ණනාව
කච්චි අභිණ්හ සංවාසා යනු රාහුල සූත්රයයි. මෙම සූත්රය දේසනා කිරීමට හේතුව කුමක්ද? භාග්යවතුන් වහන්සේ සම්මා සම්බුදු බව අවබෝධ කොට, බෝමැඩ සිට (පසුව) අනුපිළිවෙලින් කිඹුල්වත් පුරට ගොස්, එහිදී රාහුල කුමරුන් ‘මහණ, මට දායාද දෙව’යි ඉල්ලන ලදුව, ‘රාහුල පැවිදි කරව’යි සැරියුත් හිමිට අණ කළහ. ඒ සියළු කරුණු ඛන්ධක අටුවාවෙහි සඳහන් පරිදි ගතයුතුය. මෙසේ රාහුල කුමරු පැවිදිව නිසි වියපත් වූ කල සැරියුත් තෙරුන්වහන්සේ උපසම්පදා කළහ. එහිදී කම්මවාචා ගුරුහිමි වූයේ මහමුගලන් තෙරුන් වහන්සේය. භාග්යවතුන් වහන්සේ ‘මේ කුමරු ඉපදුණු දා සිටම සම්පත් ඇත්තෙකි, ජාතිය, පරපුර, කුලය, පැහැය ආදිය නිසා උඩඟු බවක් හෝ ඒ ගැන ආසා - කල්පනා නොකෙරේවා’යි තරුණ කල පටන්ම රහත් බවට පත්වනතුරුම අවවාද ලෙසින් නිතර මෙම සූත්රය වදාළහ. එහෙයින් ඒ පිළිබඳව මෙසේ භාග්යවතුන් වහන්සේ ගරුකටයුතු රාහුල හිමියන්ට මේ ගාථාවලින් නිතර අවවාද කරති’යි සූත්රය අවසානයෙහිද කියන ලදී.
එහි මුල් ගාථාවෙහි කෙටි අදහස මෙසේය. කච්චි රාහුල, ඔබ අභිණ්හං සංවාසං ඉපදීම ආදී වෙනත් කරුණකින් නින්දා නොකරහිද? පණ්ඩිතං, නුවණ නැමති පහනද දහම් දෙසීම ආදී පහනද දැරීමෙන් උක්කාධාරො මනුස්සානං කච්චි අපචිතො තව ඔබ විසින් නිතර පූජා කරන ලද්දේ කුමක්ද? ගරුකටයුතු සැරියුත් තෙරුන් උදෙසා කියයි.
මෙසේ කී කල්හි ගරු කටයුතු රාහුල හිමි, භාග්යවතුන් වහන්ස, මම පහත් මිනිසෙකු මෙන් ඇසුර හේතුකොට මානය හෝ තණ්හා කල්පනා නොකරමි’ යැයි නාහං අභිණ්හ සංවාසා යැයි මෙම පිළිතුරු ගාථාව කීය. එහි අදහස පැහැදිලිය.
එහිදී භාග්යවතුන් වහන්සේ තවදුරටත් අවවාද කරමින්, පඤ්චකාම ගුණ ආදී කොට ඇති ඉතිරි ගථා වදාළහ. පස්කම් ගුණය පුද්ගලයන් කැමැත්ත දනවන, පුද්ගලයන් කැමතිවන, පතන ලද, ඔවුන්ගේ සිත අලවන්නකි. රාහුල ඒවා හැරදමා සැදැහැයෙන් ගිහිගෙයින් නික්මුනේ, රජු විසින් එහි පමුණුවන ලද්දෙකු ලෙස නොවේ. සොරකු සේ පමුණුවන ලදුව නොවේ. ණය ගැතිව නොවේ. බය ඇතිව නොවේ. දිවිපැවැත්ම පිණිස නොවේ. එහෙයින් භාග්යවතුන් වහන්සේ, පඤ්චකාමගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ සද්ධාය ඝරා නික්ඛම්ම යනුවෙන් රාහුල හිමි උත්සාහවත් කරනු පිණිස, සියල්ල හැර දැමීමට සුදුසු පිළිවෙතට යොමු කරමින් දුක්ඛස්සනතකරො භව යැයි ද වදාළහ.
රාහුල (කුමරු) දායාද පතමින් ආ කල බලාත්කාරයෙන් පැවිදි කරන ලද්දේ නොවේදැ’යි අදහසක් ඇතිවිය හැකිය. භාග්යවතුන් වහන්සේ සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම යැයි වදාළේ කවර හෙයින්ද? ගිහිගෙයින් නික්ම, කෙලෙසුන් හැර දැමීමෙහි දැඩි ඇල්මක් තිබුණි යැයි (ඊට පිළිතුරයි.) මේ ගරු රාහුල හිමි දිගුකලක් ගිහිගෙයින් නික්ම, සියළු කෙලෙසුන් දුරු කිරීමේ උත්සාහ වූවෙකි. පියුමතුරා සම්බුදුවරයාණන්ගේ පුත් උපරෙවත නම් සාමණේරයන් වහන්සේ දැක, සංඛ නම් නාරජව, සත් දිනක් දානය දී එසේ සාමණේර නමක (කුඩා පැවිදි කෙනෙකු) වීමට එදා සිට ඉදිරියට පැතුම් සපුරාගෙන යමින් කප් සියදහසක් පාරමී පුරා අවසන් උපත ලද්දේය. මෙසේ රාහුල ගිහිගෙයින් නික්ම කෙලෙසුන් හැරදැමීමේ උත්සාහය භාග්යවතුන් වහන්සේ දනිති. ඒ තථාගත බල හේතුවෙන් ඇතිවන එක්තරා නුවණකි. එහෙයින් සද්ධාය ඝරා නික්ඛම්ම යැයි වදාළහ. නැතහොත් දිගුකලක් පැවති සැදැහෙන්ම ගෙයින් නික්ම දැන් දුක් කෙළවර කරන්නෙකු වන්නැ’යි මෙහි අදහසයි.
රාහුල හිමිට මුල පටන්ම, සසර දුක් කෙළවර කිරිමේ පිළිවෙත දැක්වීමට මිත්තෙ භජස්සු කල්යාණෙ ආදී ගාථා වදාළහ. එහි සීල ආදී ගුණ බොහෝ ඇත්තන් කල්යාණ මිත්තා නම් වේ. හිමාලයේ හටගැනීම නිසා මහාසාල වෘක්ෂයන්ගේ මුල් ස්ථාවරව වැඩුනේද, එසේ ස්ථාවර ගුණ ඇති කලණ මිතුරන් ඇසුරු කරන්නෝ සිල් ආදී ගුණයන්ගෙන් වැඩෙති. මිත්තෙ භජස්සු කල්යාණෙ යැයි එහෙයින් වදාළහ. පනතඤ්ච සෙනාසනං විවත්තං අප්පනිග්ඝොසං විවේකී වූ, දුරින් පිහිටි, මිනිසුන් නොගැවසෙන, නගරයෙහි, ගමෙහි පවතින නොයෙක් උස් හඬ නොඇසෙන තරම් වූ යම් සෙනසුනක් වේද, එහි මුවන්, ඌරන් ආදී සිවුපාවුන්ගේ හඬින් කැලෑවක් යන හැඟීම දනවයිද එබඳු වූ වන සෙනසුන්ද ඇසුරු කරව. මත්තඤ්ඤූ හොහි භොජනෙ පිළිගැනීමේදී ද, වළඳනවිටද, දෙනු ලබන දෙයෙහි අඩු බවක් වේනම්, අඩුවෙන් දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින් ගතයුතුය. දියයුතු දෙයෙහි අඩු දායක බවක් වේනම්, බොහෝ කොට දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින්ම ගතයුතුය. දිය යුතු දෙයෙහි බොහෝ කොට දිය යුතු වුවත්, අඩුවෙන් දෙනු කැමති බව පෙනේ නම්, සුළු පමණින්ම ගතයුතුය. දියයුතු දෙයෙහි බොහෝ දායකව, බොහෝ සෙයින් දෙනු කැමති වේනම්, තම බලය (හෙවත් සුදුසු පමණ) දැනගත යුතුය. වැළඳීම හෝ සිවුපසය පරිහරණයේදී, පුතකුගේ මස් මෙන්, (රියසක සවිවන) අලවංගුවට තෙල් ගල්වන්නාක් මෙන් නුවණින් මෙනෙහි කොට ආහාර ගතයුතු යැයි භාග්යවතුන් වහන්සේ විසින් පමණ දැනගැනීම පසස්නා ලදහ.
මේ ගාථාවෙන් සසුන් බඹසරෙහි උපකාර වන, එයට සුදුසු වන යහපත් මිතුරු ඇසුරක් සඳහන් කරමින්, සෙනසුන් හා සිවුපසය පිළිබඳ හික්මිය යුතු අයුරු පහදා දැන් සිවුරු ආදියෙහි දැඩි ආසාවකින් වැරදි දිවි පැවැත්මකට යොමු වේනම්, එය වළක්වා පිරිසිදු හැසිරීමට අදාල වූ හික්මීමෙහි යොදවමින් චීවරෙ පිණ්ඩපාතෙච යන මේ ගාථාව වදාළහ. එම ගාථාවෙහි පච්චයෙ ගිලන්පසෙහි, එතෙසු සිවුරු ආදී වූ මහණුන්ට ආසාව වඩවන කරුණු සතර කෙරෙහි, තණ්හං මාකාසි ලජ්ජා සහගත තැන් ආවරණය කරගැනීමේදී සිවුරු පරිහරණයේ අරුත මෙන්, මෙම සිවුපසය, නිති රෝගාතුර වූවෙකුට බෙහෙතින් කරන පිළියම් සේ, දිරායන ගෙයක් බඳු දුබල වූ මෙම කය පවත්වාගෙන යාම පිණිස, උදව් වන්නේ යැයි කරුණු සළකමින්, ‘තණ්හාවක් ඇතිකර නොගනිවු, තණ්හාව ඇතිකර නොගනිමින්, තණ්හාව උපදවා නොගනිමින්, වාසය කරව’යි කියන ලදී. ඊට හේතු කුමක්ද? මා ලොකං පුනරාගමි. ඒවාට ආසා කරමින්, තණ්හාවෙන් (ඒ වෙතට) අඳිනු ලබමින් නැවත මේ ලෝකයට පැමිණේ. ඔබ ඒවා කෙරෙහි ආසා නොකරව. එසේ වූ විට නැවත මේ ලෝකයට නොපැමිණෙන්නේය.