12. නිග්‍රොධකප්ප වඞ්ගීස සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු නිග්‍රොධකප්ප සූත්‍රයයි. වංගීස සූත්‍රය යයිද කියනු ලැබේ. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? මෙහිම ඊට හේතු වූ කරුණු කියන ලදී. එහිදී එවං මෙ ආදී ලෙසින් කියන ලද්දේය. ඒ දැනගත් කරුණු අත්හැර, සඳහන් නොකරන ලද කරුණු වෙතොත් විස්තර කරන්නෙමි. අග්ගාලවෙ චෙතියෙ අලව් නුවර උතුම් චේතියකි. අප භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර, අග්ගාලව, ගොතමක ආදී යකුන්, නාගයන් ආදීන් වසන නොයෙක් ස්ථාන චේතිය (නමින් හඳුන්වා) තිබුණි. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මිනිස්සු ඒවා වනසා විහාර කළහ. ඒවා ඒ නම්වලින්ම හඳුන්වනු ලැබිණ. එයින් අග්ගාලව චෙතිය යැයි කියනු ලබන විහාරයෙහි වැඩවසතියි කියනු ලබයි. ආයස්මතො වංගීසස්ස මෙහි ආයස්මා යනු යහපත් පිය වදනකි. වංගීසො එය තෙරුන්ගේ නමය. වංගීස හිමි පිළිබඳව උපතෙහි පටන්ම මෙසේ දතයුතුය. ඔහු පිරිවැජියෙකුගේ පුතෙකි. පිරිවැජි කතකගේ කුසින් බිහිවිය. මිනී ඔළුවකට තට්ටුකොට ඒ මළ තැනැත්තා උපන් තැන යම් බලයකින් කිවහැකි එක්තරා දැනුමක් ඔහුට ඇත. මිනිස්සු තම මියගිය නෑයන්ගේ හිස්කබල් සොහොනින් ගෙනවුත් ඔහුගෙන් උපන් තැන් විමසති. ‘අසවලා නිරයෙහි ඉපිද ඇත, අසවලා මිනිස් ලොව ඉපිද ඇතැ’යි ඔහු කියයි. ඔහු එයින් පුදුමයට පත්ව බොහෝ ධනය දෙති. මෙසේ ඔහු මුළු දඹදිවම පතළ විය.
කප් සියදහසක් පුරන ලද පාරමී හේතු සම්පත් ඇති ඔහු මිනිසුන් පන්දහසක් පිරිවරන ලදුව ගම්නියම්ගම් රාජධානිවල සැරිසරමින් සැවැත්පුරට පැමිණියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ වසති. සැවැත්පුර වැසියෝ පෙරබත් කාලයෙහි දානය දී, ඉන්පසු (බතින් පසු) මැනවින් හැඳ පොරවාගෙන, මල් සුවඳ ආදිය රැගෙන දහම් අසනු පිණිස ජේතවනාරාමයට යති. ඔහු ඔවුන් දැක ‘මහජනයා කොහි යන්නේදැ’යි ඇසීය. ‘බුදුරජාණන් වහන්සේ ලොව උපන්හ. උන්වහන්සේ බොහෝ ජනතාවට හිත පිණිස දහම් දෙසති. එහි යමු’යි ඔව්හු කීහ. ඔහුද සිය පිරිවරද කැටුව ඔවුන් සමග ගොස් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු සාමීචි කතාකොට එකත්පස්ව හුන්නේය. ‘වංගීස, ඔබ මළ මිනිසුන්ගේ හිස් කබලට තට්ටුකොට, උපන් තැන කිවහැකි දැනුමක් තිබේදැ’යි ඇසූහ. ‘එසේය පින්වත් ගොතම, දනිමි’යි කීය. භාග්‍යවතුන් වහන්සේ, නිරයෙහි උපන් කෙනෙකුගේ හිස් කබලක් ගෙන්වවා පෙන්වූහ. වංගීස, නිය පිටින් තට්ටුකොට ‘පින්වත් ගොතම, නිරයේ උපන්නකුගේ හිස’ යැයි පැවසීය. මෙසේ උපත ලබන සියළුම තැන්හි ඉපද ඇත්තන්ගේ හිස්කබල් පෙන්වූහ. ඔහු ඒ ගැන නිවැරදිව හෙළිදරව් කළේය. භාග්‍යවතුන් වහන්සේ රහත් උතුමකුගේ (එබඳු) හිසක් පෙන්වූහ. ඔහු නැවත නැවතත් තට්ටු කළත් (ඉපදුණු තැන) දැනගත නොහැකි විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘වංගීස, ඔබට එය හෙළිකිරීමට දැනුම නැත, එය මටම කිවහැකි කරුණකි. එය කෙළෙස් දුරුකළ උතුමකුගේ හිසකැ’යි මේ ගාථාව වදාළහ.
සිවුපාවුන්ට ගමන් මග මහ වනයයි. පක්ෂීන්ට ගමන්මග අහසයි. විභවයට ගමන්මග ධර්මයයි. නිවනට ගමන්මග රහත් බවයි.
වංගීස මේ ගාථාව අසා, ‘පින්වත් ගෝතම, මට ඒ බලය-දැනුම ලබා දෙනු මැනව’යි ඉල්ලීය. භාග්‍යවතුන් වහන්සේ, ‘එම දැනීම පැවිදි නොවූ තැනැත්තන්ට නොපිහිටන’ බැව් කීහ. ‘පින්වත් ගෝතම, මා පැවිදිකොට හෝ ඔබවහන්සේ කැමති පරිදි හෝ මට මේ දැනුම ලබාදෙන්නැ’යි කීය. භාග්‍යවතුන් වහන්සේ, එවිට සමීපයෙහි සිටි නිග්‍රොධකප්ප තෙරුන් අමතා ‘එසේනම්, නිග්‍රොධකප්ප, මොහු පැවිදි කරව’යි පැවසූහ. උන්වහන්සේ, ඔහු පැවිදි කොට, (සිරුරෙහි කෙස් සිට හම දක්වා කරුණු පහ ඇතුළත්) කමටහන ගැන උපදෙස් දුන්හ. වංගීස හිමි පිළිවෙලින් සිවුපිළිසිඹියා ලැබ රහත් බවට පත්වූහ. ‘මහණෙනි, මාගේ පැවිදි සාවක පිරිසෙහි මනා වැටහීමේ හැකියාවෙන් යුතු වූවන් අතුරින් වංගීස උසස්ම වේ යැ’යි ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං පටිභානවන්තානං යදිදං වංගීසො’ අග තනතුර දෙන ලදහ.
මෙවන් ගුණයෙන් යුතු ගරු කටයුතු වංගීස තෙරුන්ගේ උපජ්ඣායො වැරදි නිවැරදි දේ නැවත නැවත සිහිපත් කිරිමෙන් මෙසේ හැඳින්වූ වහරයි. නිග්රොධ කප්පො එම නමින් දන්නා තෙරුන් වහන්සේ, කප්පො ඒ තෙරුන් වහන්සේගේ නමයි. නුගරුක මුලදී අරහත් බව අවබෝධ කරගත් බැවින්, නිග්රොධ කප්පො යැයි භාග්‍යවතුන් වහන්සේ අමතන ලදී. එහෙයින් උන්වහන්සේට අනෙක් මහණහුද මෙසේ හඳුන්වති. සසුනෙහි තහවුරු බවට පැමිණි අදහසින් ථේර නම් වේ. අග්ගාලවෙ චෙතියෙ අචිරපරිනිබ්බුතො හොති අග්ගාලව සෑය නමින් හැඳින්වූ තැනදී පිරිනිවන්පෑ නොබෝ දිනකින්, රහොගතස්ස පතිසල්ලීනස්ස සමූහයෙන් වෙන් වූ බැවින් තනිව, කයින් සිතින් විවේකීව ඒ ඒ කරුණු පිළිබඳව ආපසු සළකා බලනවිට, එවං චෙතසො පරිවිතක්කො උදපාදි මේ ආකාරයෙන් සිතිවිල්ලක් - අදහසක් ඇතිවිය. කුමක් හෙයින් එබඳු අදහසක් ඇතිවීද? හමු නොවූ බැවින් හා දැක ඇසුරු නොකළ බැවිනි. නිග්‍රොධකප්ප තෙරුන් පිරිනිවන්පාන කාලයෙහිදී වංගීස තෙරුන්ට හමුනොවීය. ඒ තෙරුන්ගේ අත් හැසිරවීම ආදිය පෙර දැක ඇත. එබඳු හැසිරීම රහත් නොවූවන්ටද වෙයි. රහත් වූවන්ටද පෙර පුරුදු ලෙසින් පවතී.