13. සම්මාපරිබ්බාජනීය සූත්‍ර වර්ණනාව
පුච්ඡාමි මුනිං යනු සම්මා පරිබ්බාජනීය සූත්‍රයයි. (පසුව විස්තර වන පරිදි බොහෝ දෙවිදේවතාවුන්) රැස්වූ වේලාවෙහි කියන ලද බැවින් මහාසමය සූත්‍රය යැයිද හඳුන්වනු ලබයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? විමසූ දෙයකට පිළිතුරු ලෙසිනි. ඉඳු බලයෙන් පෙන්වන ලද බුදුවරයකු විසින් අසන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය දෙසූහ. එසේ බුදුවරයකු සමග කරුණු විමසන ලද නිසා සම්මා පරිබ්බාජනීය සූත්‍රය යැයි කියනු ලැබේ. මේ එහි කෙටි විස්තරයකි. විස්තර ලෙසින් සැකිකුල - කෝලිය උපතෙහි පටන් තොරතුරු පැරණි ඇඳුරු හිමිවරුන් (පොරාණෙහි) සඳහන් කරනු ලබයි.
මේ එහි කෙටි විස්තරයයි. පළමු කල්පයෙහි මහා සම්මත රජුගේ රොජ නම් පුතෙක් විය. රොජගේ පුත් වරරොජ. වරරොජගේ පුත් කල්‍යාණ - කල්‍යාණගේ වරකල්‍යාණ - වරකල්‍යාණගේ ඛන්‍ධාත - මන්‍ධාතුගේ වරමන්‍ධාත - වරමන්‍ධාතුගේ උපෝසථ - උපෝසථගේ චර - චරගේ උපචර - උපචරගේ මඛාදේව ලෙසින් අසූහාරදහසක් මඛාදේව පරපුර වූහ. ඔවුන්ගෙන් පසු ඔක්කාක වංසිකයෝ තුන්දෙනෙක් වූහ. තුන්වන ඔක්කාක රජුට හත්‍ථා, චිත්තා, ජන්තු, ජාලිනී, විසාඛා යැයි මෙහෙසියෝ පස්දෙනෙක් වූහ. එක් මෙහෙසියකට පිරිවර කාන්තාවන් පන්සියයකි. දෙටු මෙහෙසියට ඔක්කාමුඛ, කරකණ්ඩු, හත්‍ථිනඛ, සිනිපුර යැයි පුතුන් සතරදෙනෙකි. පියා, සුප්පියා, ආනන්දා, විජිතා, විජිතසෙන යන දූවරුන් ද පස්දෙනෙකි. මෙසේ දූපුතුන් නව දෙනෙකු ලද ඇය (පසුව) කළුරිය කළාය.
එවිට රජු, ඉතා රූමත්, තුරුණු වියෙහි වූ වෙනත් රජදියණියක් ගෙන්වාගෙන, අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය ද පුතකු වැදුවාය. උපන් කුමරුවා පස්වන දින සරසා අලංකාර කොට රජුට පෙන්වීය. සතුටු වූ රජු කැමති දෙයක් ඉල්ලන ලෙස වරයක් ලබා දුන්නේය. ඇය නෑයන් සමග කතාකොට, පුතුට රජකම දෙන ලෙස ඉල්ලුවාය. රජු, ‘නැසෙව - වසලිය, මගේ පුතුන්ට අනතුරක් කැමති වෙහිදැ’යි (අසා) රජකම නොදුන්නේය. ඇය රහසේ, නැවත නැවතත් රජු සතුටුකොට, ‘මහරජ, බොරු කීම සුදුසු නැතැ’යි කියා රජකම දෙන ලෙස ඉල්ලුවාය. ඉක්බිති පුතුන් ඇමතූ රජු ‘දරුවනි, මම ඔබලාගේ කණිටු ජන්තු කුමරු දැක, ඔහුගේ මවට ඉක්මණින්ම වරයක් දුනිමි. ඇය පුතුට රජකම පිරිනමනු දැකීමට කැමැත්තීය. ඔබලා මගේ ඇවෑමෙන් අවුත් රජකම් කරව්’ යැයි ඇමතිවරුන් අටදෙනෙකු සමග පිටත්කර හැරියේය. ඔව්හු සොහොයුරියන්ද කැටුව සිවුරඟ සෙන් පිරිවරා නුවරින් නික්මුණහ. ‘පියාගේ මරණින් පසු කුමරුවන් අවුත් රජකම් කරනු ඇත. යමු, ඔවුන්ට උවටැන් කරමු’යි සිතා බොහෝ මිනිස්සු ඔවුන් පසුපස ගියහ. සේනාව පළමු දිනයෙහි යොදුනක් පමණද, දෙවන දින යොදුන් දෙකක් පමණද, තුන්වන දින තුන් යොදුනක් පමණ විය. ‘මේ බලසෙනග ඉතා මහත්ය, අපි කිසියම් පළාතක රජකු යටත් කොට ජනපදයක් අල්ලා ගන්නෙමු නම්, එය අපට තරම් නොවන්නේය. අනුන් පීඩනයට පත්කොට ලබන රජකමෙන් ඇති පලය කුමක්ද? දඹදිව විසාලය, කැලයෙහි නගරයක් සකස් කරන්නෙමු’යි කුමරුවෝ සිතූහ. ඔව්හු හිමාලය දෙසට ඉදිරියට ගියහ.
එහි නගරය සැකසීමට සුදුසු ඉඩක් සොයනවිට, බොහෝ අතු පතුරින් ගැවසුණු පෙදෙසක, පොකුණු තෙර, දැඩි තවුස්දම් රකින කපිලනම් තවුසකු වසන තැනට ගියහ. තවුසා ඔවුන් දැක විමසා, සියළු තොරතුරු අසා ඔවුන් කෙරේ අනුකම්පා කළේය. තවුසා අසූරියනක් අහසෙහිද, පොළව යටද ගුණදොස් දකින ‘භූම්මජාල’ නම් (පොළෝ දැල) විදුසතර දනී. මේ අතර එක් පෙදෙසක ඌරෝ, මුවෝ, සිංහයන්, ව්‍යාඝ්‍රයන් තැති ගන්වා බොහෝ හිංසා පමුණුවති. මැඩියෝ සහ මීයෝ සපුන්ට හිංසා කරති. තවුසා එය දැක, මේ බිම් පෙදෙස පොළවෙහි ඉතා උසස් තැනක් යයි සළකා ඒ පෙදෙසෙහි අසපුවක් සැකසීය. ‘මගේ නමින් නගරය නම් කරන්නේ නම්, මේ බිම ඔබලාට දෙමි’යි තවුසා රජකුමරුවන්ට පැවසීය. ඔව්හු එය පිළිගත්හ. ‘මේ ඉඩ ඇති තැන සිට, සැඩොල් දරුවා වුවත් සක්විතිව ඒ බෙලෙන් (අන් හැම) අබිබවා යති’යි කියා අසපුව පිහිටි තැන රජමැදුර තනා නගරයද සකස් කරව’යි ඒ බිම්කොටස දී නුදුරු කඳු බෑවුමක අසපුවක් කොට විසීය. කුමාරවරු එහි නගරය ගොඩනගා, කපිල තවුසා කියන ලද තැන ඊට යොදාගත් බැවින් කපිලවත්‍ථු යයි නම් තබා එහි නිවෙස් තනා ජීවත් වූහ.
ඉක්බිති ඇමතිවරු ‘මේ කුමරුවෝ වැඩිවියට පත්වූහ. පියා ළඟ සිටියේ නම්, ඔහු ආවාහ විවාහ කරනු ඇත. දැන් අපගේ වගකීම’ යැයි සිතා කුමාරවරුන් සමග සාකච්ඡා කළහ. කුමාරවරුද අපට සමාන කැත්කුල දූවරුන් නොදකිමු. ඔවුන්ද සොහොයුරියන්ය. කැත් කුමරුන්ද එබඳුය. කුලය බිඳී යනු ඇතැ’යි බියෙන් දෙටු සොහොයුරිය මව් තනතුරෙහි තබා අනෙක් සොයුරියන් සමග අඹුසැමියන් ලෙස හැසිරුණහ. ඔවුන්ගේ පියා ඒ පුවත අසා ‘පින්වත් කුමාරවරුන් ඒකාන්තයෙන්ම සැකිකුලවතුන්’ යැයි සතුටින් උදන් වැකි පළ කළේය. මේ දැක්වූයේ සක්‍යානං උප්පත්ති (සැකි කුල උපතයි).
‘අම්බට්ඨ, ඔක්කාක රජු ඇමතිවරුන් පුරෝහිතයන්ගෙන් ‘පින්වතුනි, කුමාරවරුන් දැන් කොතැන එක්තැන්ව සිටිත්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, හිමාලය පෙදෙසෙහි පොකුණු තෙර මහා අතුපතරින් යුතු පෙදෙසක දැන් එක්තැන්ව වෙසෙන කුමාරවරුන්, කුල පරපුර බිඳී යනු ඇතැයි බියෙන් තම සොහොයුරියන් සමග අඹුසැමි ලෙස සිටිති’යි කීහ. ‘අම්බට්ඨය, එවිට ඔක්කාක රජු ‘පින්වත් රජකුමාරවරුන් ඇත්තෙන්ම සැකි කුලවතුන්මය, පින්වත් රජකුමාරවරුන් උසස්තම සැකි කුලවතුන් යැයි සතුටින් උදන් ඇනීය. අම්බට්ඨ, එතැන් පටන් සැකි කුලවතුන් පසිඳු වන බවත් ඔහු (ඔක්කාක) සාක්‍යයන්ගේ මුල් තැනැත්තාද වූ බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.