14. ධම්මික සූත්ර වර්ණනාව
එවං මෙ සුතං යනු ධම්මික සූත්රයයි. එම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? ලෝ සතුනට පිහිට වන භාග්යවතුන් වහන්සේ වැඩවසන සමයෙහි ධම්මික නම් උපාසකතුමෙක් විය. තිසරණයෙහි පිහිටි, සිල්වත් වූ, බොහෝ ඇසූ යහපත් දේ ජීවිතයට හුරු පුරුදු කොටගත් ඔහු නමටද පිළිවෙතටද ගැලපෙන අයුරු කටයුතු කළ, තුන්පිටකය මැනවින් දත්, අභිඤ්ඤා ලැබූ අහසින් ද යා හැකි අනාගාමී බවට පත් වූවෙකි. ඔහුගේ පිරිවර වූ පන්සියක් උපාසකවරු ද ධම්මික උපාසකතුමන් මෙන්ම වූහ. එක් දවසක් මැදියම් කාලය අවසානයේ, පෙහෙවස් රකිමින් තනිව - විවේකීව සිටිනවිට. මම ගිහි ජීවිතය හා පැවිදි ජීවිතයට අදාල පිළිවෙත් විමසන්නෙම් නම් මැනවැ’යි මෙබඳු අදහසක් ඇතිවිය. ඔහු උපාසකවරුන් පන්සියයද පිරිවරා භාග්යවතුන් වහන්සේ වෙතට එළඹ එම කරුණ විචාළේය. බුදුරජාණන් වහන්සේ ඔහුට එය පැහැදිළි කළහ. කලින් විස්තර වූ කරුණු (වචන) ඒ ආකාරයෙන් දතයුතුය. සඳහන් නොවූ කරුණු ඇතොත් පහදමි.
එහි පළමු ගාථාවෙහි කථං කරොති කෙසේ කටයුතු කරන්නේ කෙසේ පිළිපදින්නේ, සාධු හොති යහපත්, නිවැරදි, යහපත සිදුවන, උපාසකා සෙ උපාසකා යනුවෙන් මෙහි (ඉදිරියට) දක්වන කරුණුවලින් හෙළිවේ. ඉතිරි කරුණු පැහැදිළිය. මේ ගාථාවෙන් අදහස් වන්නේ මෙයයි. යොවා අගාරා අනාගාරමෙ පැවිදි වෙයි. යෙ වා අගාරිනො උපාසකා මේ දෙයාකාර සාවකයන් අතුරෙන් කෙසේ කටයුතු කරන සාවකයා යහපත් වේද?
දැන් මෙසේ විමසන අතරම, භාග්යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කිරීමේ හැකියාව අගයමින් තුවං හි ආදී ගාථා දෙකක්ද කීය. ගතිං තම පුරුදු, පරායණං හටගැනීම නැතහොත් ගතිං නිරය ආදී පස්ආකාර වූ (උපදනා තැන්) පාරායණං ලද උපතින් පසු වෙනත් උපතක් සොයන, උපදනා තැන්වලින් මිදුණු, පිරිනිවනය. න චත්ථි තුල්යො ඔබවහන්සේ හා සමාන නැත. සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං පකාසෙසි සතෙත අනුකම්පමානො භාග්යවතුන් වහන්ස, ඔබවහන්සේ සියළුම දැනගත යුතු දේ ඉතිරි නැතිවම නුවණින් මැනවින් අවබෝධකොට සත්වග කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියළු දහම පැවසූ සේක. යම් තැනැත්තකුට හිතසුව පිණිස වේනම්, එය පැවසූ සේක. එහි ‘ගුරු රහස්’ ලෙස සුරැකිව තබාගත් දෙයක් නැති බව කියන ලදී. විරොචසී විමලො දුම්, රජසින් තොර වූ සඳ මෙන් රාග, දෝස වැනි අපිරිසිදු බවෙන් තොරව, මැනවින් බබළයි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.
මීළඟට (ධම්මික උපාසක තුමා) භාග්යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද දෙව්පුතුන් ගැන සඳහන් කරමින්, උන්වහන්සේ පසසමින්, ආගඤ්ජි තෙ සන්තිකෙ ආදී ගාථා දෙකක් කීය. නාගරාජා එරාවණෙ නාම මේ එරාවණං නම් දෙව්පුතු කාමලොවට අයත් දෙව් විමනක වසයි. සක්දෙවි උයන් කෙළියට යනවිට එරාවණ, යොදුන් එකසිය පණහක් උස, කුඹුතල තිස්තුනක් ඇති, ඒ නමින්ම වූ ඇතකුගේ සිරුරක් මවා ගනී. ඒ එක් එක් කුඹුතලයෙහි දත් දෙක බැගින් ඇත. එක් එක් දතක පොකුණු සතක් සතක් වේ. ඒ එක් එක් පොකුණෙහි පියුම් විල් සතක් සතක් බැගින් ඇත. ඒ ඒ පියුම් විල්හි නෙළුම් මල් සතක් සතක් වේ. එක් එක් මලෙහි නෙළුම් කොළ ද සතක් සතක් වේ. එක් එක් නෙළුම් කොළය මත අප්සරාවෝ සත්දෙනා සත්දෙනා නටති. සක්දෙවිගේ නළඟනෝ පියුම් අප්සරාවන් සේ හඳුන්වති. ‘නැටුමෙහි හසළ අවිවාහක තරුණියෝ නෙළුම් මල කැරකෙමින් නටති’ ‘භමන්ති කඤ්ඤා පදුමෙසු සික්ඛිතා’ යැයි විමානවත්ථුවෙහිද සඳහන් වේ. ඒ කුඹුතල තිස්තුන මැද ‘සුදස්සන’ නම් තිස්යොදුන් කුඹුතලයක් වේ. එහි යොදුනක් පමණ වූ මිණිපළගක තුන්යොදුනක් උසට වේදිකාවක් සේ මල් අතුරනු ලැබේ. එහි සක්දෙවිඳු අප්සරාවන් පිරිවරා දිව සුව විඳියි. සක්දෙවිඳු උයන්කෙළියෙන් ආපසු පැමිණිවිට ඇතා ඒ රූපය අත්හැර දෙව්පුතෙක්ම වෙයි. එබැවින් ආගඤ්ජි තෙ සන්තිකෙ නාගරාජා එරාවණෙ නාම යැයි කීය. ජිනොති සුත්වා ඒ භාග්යවතුන් වහන්සේ අයහපත පැරදවූ බව අසා යන අදහසයි. සොපි තයා මනතයිත්වා ඔබවහන්සේ සමග කතාබහ කොට, පැන අසා යන අදහසයි. අජ්ඣගමා උසස් අවබෝධයට පැමිණියේය. ගියේ යැයි කියන ලදී. සාධූති සුත්වාන පතීතරූපො ඒ පැන අසා, යහපත හිමියනි, යැයි සතුටුව ගියේ යැයි තේරුමයි.
රාජාපි තං වෙස්සවණෙ කුමාරො මේ යකු සිත් අලවන අරුතින් රජ ය, විසාණ නම් රාජධානියෙහි රජකරන බැවින් වෙස්සවණ නම් වෙයි. මුල් නම කුවේර යැයි දතයුතුය. ඔහු කුවේර නම් බමුණු මහසල් කුලවතකු වී, දන් පිරිනැමීම් ආදී පින්කම්කොට, විසාණ නම් රාජධානියෙහි අධිපතිව උපන්නේය. එහෙයින් කුවේර යැයි කියනු ලැබේ.
‘සිරිමතාණෙනි, කුවේර නම් මහරජුගේ රාජධානිය ‘විසාණ’ යනුවෙන් ද හඳුන්වනු ලබන බැවින්, කුවේර රජුට වෙස්සවණ යයිද කියන බව ආටානාටිය සූත්රයෙහි කියන ලදී.
ඉතිරි කරුණු පැහැදිලිය.
ඉතා දුර වූ තව්තිසාවෙහි වසන එරාවණ පළමුව පැමිණියේත්, වෙස්සවණ පසුව ආවේත් කවර හෙයින්දැයි කෙනෙකුට ඇසිය හැකිය. එමෙන්ම නගරයෙහි වසන මේ උපාසකතුමා පසුව ආවේ ඇයි? ඔහු කෙසේ ඔවුන්ගේ පැමිණීම දැක මෙසේ කීවේද? ඊට කරුණු මෙසේය. එකල්හි වෙස්සවණ නොයෙක් දහස් ගණන් පබළු ආසන සහිත, කාන්තාවන් යෙදු දොළොස් රියන් රියකට නැග, පබළු අංකුසයක් ඔසවාගෙන කෝටි දසදහසක් යකුන් පිරිවරා, භාග්යවතුන් වහන්සේගෙන් පැණ විචාරන්නෙමි’යි අහස් විමන් පිරිවරකොට මගින් මග ගෙවා, වෙළුකණ්ටක නගරයෙහි නන්දමානා උවැසියගේ නිවස ඉහළින් පැමිණෙයි. නන්දමාතා උවැසිය මෙබඳු බලයක් ඇත්තියකි. ඇය පිරිසිදු සීලයෙහි පිහිටි, නිති නොකල් බොජුනින් වැළකුණු, තුන්පිටකය මැනවින් දත්, අනාගාමි ඵලයට පත්වූ තැනැත්තියකි. ඇය එවේලෙහි සීමැදුරු කවුළුව විවරකොට, සිහිල් සුළඟින් ගත නිවාගැනීමට, සුළං හමන පෙදෙසට මුහුණලා අට්ඨක පාරායණ වග්ගයෙහි ගාථා - අකුරු පද පැහැදිලිව මියුරු හඬින් කියන්නීය. වෙස්සවණ එතැනම රිය නවතා, ‘උපාසිකාව මේ කියන්නේ භාග්යවතුන් වහන්සේ මගධයෙහි පාසාණක චෙතියෙහිදී අතවැසි බමුණන් දහසය දෙනෙකුට කියන ලද ගාථා යැයි නිගමනය කළේය. ඒ සියළු ගාථා (කොටසම) අසා, රන් මිහිඟු බෙර කඳක් වන් මහත් සිරුර (ගෙල) ඉහළට ඔසවා, ‘සොයුරිය, ඉතා මැනව, ඉතා අගෙයි’ කියා සාධු නාද පැවැත්වීය. ‘ඇය ඔතැන සිටින්නේ කවුරුන්දැ’යි ඇසුවාය. ‘සොයුරිය, මම වෙස්සවණ නම් වෙමි’යි කීය. උපාසිකාව පළමුව සෝවාන් පලයට පත්ව සිටියාය. වෙස්සවණ සෝවාන් ඵලයට පත්වූයේ ඊට පසුවය. මෙසේ ඔහු දහමෙන් ඇතිවූ සුහදතාව සළකා ඔහු ඇයට සොහොයුරිය සේ අමතයි. උපාසිකාවද ‘යහපත් මුව ඇති සොයුරාණනි, ඔබේ අදහසට අනුව මේ සුදුසු කාලය නොවේ’ යැයි කී කල්හි ‘සොයුරිය, මම ඔබට පැහැදුනෙමි. පැහැදිනු බැවින් ඊට සුදුසු දෙයක් කරමි’යි කීය. ‘එසේනම්, යහපත් මුව ඇත්තාණනි, මගේ කෙතෙහි හටගත් හැල් වී කම්කරුවන්ට ගෙන ඒමට නොහැකිය. ඒවා ඔබේ පිරිසට ගෙන ඒමට අණ කරන්නැ’යි කීවාය. ඔහු ‘හොඳයි, සොයුරිය’ යැයි කියා, යකුන්ට අණ කළේය. ඔව්හු එක්දහස් අටසියයක් වූ වී කොටු පිරවූහ. එතැන් පටන් අටුවෙහි අඩුවීමක් නොවීය. ‘නන්ද මාතාවගේ වී අටුව මෙන්’ යැයි ලෝකයා උපමාවක්ද කීය. වෙස්සවණද අටුකොටු පුරවා භාග්යවතුන් වහන්සේ වෙතට ගියේය. උන්වහන්සේ, විකාලයෙහි පැමිණියෙහිදැ’යි ඇසූහ. ‘එසේය, භාග්යවතුන් වහන්ස, යැයි සියල්ල සැළ කළේය. මේ නිසා චතුම්මහාරාජිකයෙහි වසන වෙස්සවණ (එරාවණට වඩා ආසන්න දුරක සිටියත්) පමාවී පැමිණියේය. කළයුතු කිසියම් අතුරු කටයුත්තක් නොවූයෙන් එරාවණ පළමුව පැමිණියේය.