8. ධම්ම නාවා සූත්ර වර්ණනාව
යස්මා හි ධම්මං යනු ධම්ම සූත්රයයි. නාවා සූත්රය යැයි ද කියනු ලැබේ. මෙම සූත්රය දේසනා කිරීමට හේතුව කුමක්ද? ගරු කටයුතු සැරියුත් තෙරුන් අරබයා දෙසන ලදී. මේ එහි කෙටියෙන් සඳහන් කිරීමයි. විස්තර අගසවු දෙනම ඉපදුණු කල පටන්ම දතයුතුය. ඒ තොරතුරු කෙසේද යත්? (අප) භාග්යවතුන් වහන්සේ පහළවීමට පෙර, අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි සියයක ධන සම්පත් ඇති ගම්දෙටු බමුණාගේ රූපසාරී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. දෙවැන්නාද එම ගමට නුදුරු, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ කෝලිත ගමෙහි එපමණ වූම ධන සම්පත් හිමි ගම් දෙටු බමුණාගේ මුගලන් නම් බැමිණියගේ කුස ඒ දවසෙහිම පිළිසිඳ ගත්තේය. මෙසේ එකම දිනක ඔවුන්ගේ පිළිසිඳ ගැනීමත්, බිහිවීමත් සිදුවිය. එකම දින උපතිස්ස ගමෙහි එක් දරුවකු උපන් බැවින් උපතිස්ස යැයිද, කෝලිත ගමෙහි එක් දරුවකු උපන් බැවින් කෝලිත යැයිද ඔවුන්ට නම් කළහ.
ඔවුහු වැලි සෙල්ලම් කරන කාලයේ පටන්ම එකිනෙකා යහළුව, කෙමෙන් තුරුණු වියට පත්වූහ. දෙදෙනාටම පන්සියයක්, පන්සියයක් බැගින් තරුණයෝ පිරිවර වූහ. එක් තැනැත්තෙක් රන්දෝලා පන්සියයක්ද දෙවැන්නා අජානීය අසුන් බැඳි රිය පන්සියයක්ද පිරිවරින් යුතුව උයනට හෝ ගං තෙරට හෝ යති. එකල රජගහනුවර කලින් කලට පවත්වන ‘ගිරග්ග සමජ්ජ’ නම් රඟදැක්මක් වෙයි. සවස් කල මුළු අගු - මගධ වැසියෝ ද - පසිඳු කැත් කුමරුවෝ ද නුවර වීදි මැදට රැස්ව මනාව සැකසූ මැසි හා ආසනවල හිඳිමින් රැඟුම් අසිරිය නරඹති. උපතිස්ස කෝලිතද පිරිවර සමග එහි ගොස් පණවන ලද අසුන්වල හුන්හ. උපතිස්ස රැඟුම් අසිරිය දකිමින්ම, රැස්වූ මහා ජනකායද දැක, මෙපමණ ජනතාවක් අවුරුදු සියයක්වත් නොපැමිණ මැරෙන්නේ යැයි සිතුවේය. මරණය අවුත් නළලෙහි සිටියාක් මෙන් ඔහුට දැනිණ. කෝලිතටත් එසේම සිතුණේය. නන් අයුරු රඟන රැඟුම් පැවතියද දැකීමට පමණවත් සිත නොනැමුණි. හුදෙක් සංවේගයට පහළ විය.
රැඟුම නිමා වී ආපසු යන පිරිස අතරට එක්වූ ඒ යහළුවන් දෙදෙනා ද තම පිරිවර සමග එක්ව ‘මිතුර, කෙසේද? නැටුම් බැලීමෙන් ඔබ නොසතුටු වීදැ’යි කෝලිත උපතිස්සගෙන් ඇසීය. උපතිස්ස තම අදහස සැළකොට, ඒ කරුණුම කෝලිතගෙන් ද විචාළේය. ඔහුද තම අදහස පවසා, ‘මිතුර, පැවිදි වී නොමැරෙන මග (අමතං) සොයන්නෙමු, එන්නැ’යි කීය. ‘මිතුර, එය මැනවැ’යි උපතිස්ස එකඟ විය. දෙදෙනාම ඒ සම්පත් හැරදමා නැවත රජගහනුවරට පැමිණියහ. ඒ කාලයෙහි රජගහනුවර සංජය නම් පිරිවැජියෙක් වාසය කරයි. ඔවුහු තරුණයන් පන්සියයද සමග සංජය වෙත පැවිදිව කිහිප දිනකින්ම තුන්වේදය හා සියළුම පිරිවැජි දහමද උගත්හ. ඒ ඉගෙන ගත් දහමෙහි මුල-මැද-අවසානය විමසමින්, අවසානයක් නොදැක, ‘මේ දහමෙහි මුල, මැද පැහැදිලිය. අවසානය නො පෙනෙයි. මෙහි අප ඉගෙන ගත් දෙයට වඩා වැඩියෙන් දැනගත යුතු බවට පැමිණීමක් නැතැ’යි ගුරුතුමාගෙන් විචාළහ. ‘මම ද එසේ පැමිණිය යුතු අවසානයක් නොදකිමි’යි සංජය පිරිවැජි කීය. ‘එසේනම් අපි මෙහි අවසානය සොයන්නෙමු’යි ඔවුහු කීහ. ‘කැමති පරිදි සොයවු’ යැයි ගුරුතුමා ඔවුන්ට පැවසීය. මෙසේ ගුරුතුමාගෙන් අවසර ලත් ඔවුහු ‘නොමැරෙන බව’ සොයමින් ඇවිදිමින් දඹදිව පතළ වූහ. කැත් කුල ආදී වියතුන්ගෙන්ද පැන විචාරන ලදුව, මතු මතුත් ඒ ගැන විමසුවද අවසානයක් නොපෙනේ. උපතිස්ස, කෝලිත යැයි කී විට, ‘මොවුන් කවුරුන්ද? අප නම නොදනිමු’යි කියන අයෙකු නම් නැත. එපමණටම ඔවුන් හඳුනනු ලැබූහ.