7. බ්රාහ්මණධම්මික සූත්ර වර්ණනාව
එවං මෙ සුතං බ්රාහ්මණධම්මික සූත්රයයි. මෙම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? ඊට අදාල කතාව අථ ඛො සම්බහුලා ආදී ලෙසින් කියන ලද්දේය. සම්බහුලා බොහෝ, නොයෙක්, කොසලකා කොසොල් රටවැසියෝ, බ්රාහ්මණ මහාසාළා මහත් සම්පත් ඇති බමුණු සම්මත කුලයක උපත ලද්දෝ, නිදන් කොට තබන ලද ඔවුන්ගේ ධනය අසූ කෙළකි. ඔවුන්ට බමුණු මහසල් යැයි කියනු ලැබේ. මොවුන් ද එසේය. එහෙයින් බ්රාහ්මණ මහාසාළා යැයි කියන ලදී. ජිණ්ණ ජරාවට පත්ව, දත් වැටීම ආදී කැඩුණු බවට පත්ව, වුද්ධා වයස්ගත වනවිට වැඩුණු අඟපසඟවල කටයුතු සීමිතව, මහල්ලකා උපතින් පසු මෙසේ වැඩිහිටිව මහළු බවට පත්වූවෝ, ඉපිද බොහෝ කලක් ගත වූ, අද්ධගතා දිගුකල් ගතකළ, රජවරුන් වෙනුවෙන් බමුණන් ඉටුකරන රාජකාරිවලින් දෙකොටසක්, තුන් කොටසක් සේවය කොට කල්ගත වූයේ, වයො අනුප්පත්තා (ජීවිතයේ) පසු වයසට පැමිණි, තව ද වෙනස් ලෙස සඳහන් කළොත්, ජීණ්ණ පැරණි, කුල පරම්පරාව බොහෝකලක් පවත්වා ගත් බව කියන ලදී. වුද්ධා හික්මුණු, යහපත් ගුණයෙන් වැඩුණු, මහල්ලකා මහත් වස්තු සම්පත් ඇති බැවින් මහා පොහොසත්තු වූවෝ, අද්ධගතා බමුණු පරපුරට අයත් වත්, හැසිරීම් ආදී සීමා නො ඉක්මවා හැසිරෙන, වයො අනුප්පත්තා උපතින් මේ වනවිට (දැන්) වැඩිහිටි බවට පත්ව, ජීවිතයේ අවසාන කොටසෙහි කල්ගත කරන්නාහු යන මේ අදහස දතයුතුය. ඉතිරි අරුත් පහසුය.
භගවතා සද්ධිං සම්මොදිංසු ඉවසිය හැකිද? සුවදුක් කෙසේද? ආදිය විමසමින් එකිනෙකා අතර සතුටුසාමීචි කතා කළහ. ‘පින්වත් ගෝතම, කෙසේද? (පරිසරය දේසගුණ රටාව) ඉවසිය හැකිද? යැපෙන පමණට සිවුපසය ලැබේද? අපහසුතා තිබේද? සුවසේ සිටිත්ද? පහසු විවේකයක් ඇත්ද?’ යනාදී කතාබහෙන් සතුටු වූහ. තුටුපහටු පියජනක බව ඇතිවන බැවින් එසේ සතුටුසාමීචි කතා කිරීම සුදුසුය. අරුත්බර වචනයේ මිහිර නිසාම බොහෝ කලක් සිහිපත් කරන්නට නිතර හේතුවන බැවින් සාරාණිය වේ. අසනවිට කණට සුව දනවන බැවින්, සම්මොදනීය වේ. සිහිකරන විට සිතට සුව දනවන බැවින් සාරාණීය වේ. එමෙන්ම පිරිසිදු යහපත් වචන සතුට දනවන බැවින් ද සම්මොදනීය වේ. යහපත් තේරුමක් ඇති බැවින් සාරාණිය වේ. මෙසේ නොයෙක් ආකාරයෙන් සම්මොදනීයං කථං සාරාණියං වීතිසාරෙත්වා (කතාබහ) අවසන්කොට, නිමවා යම් කරුණක් සඳහා පැමිණියාහුද, එය විමසනු කැමතිව, එකමන්තං නිසීදිංසු එය,
‘න පච්ඡතො න පුරතො නපි ආසන්න දූරතො
න පස්සෙ නාපි පටිවාතෙ න චාපි ඔනතුන්නතෙ’
න පස්සෙ නාපි පටිවාතෙ න චාපි ඔනතුන්නතෙ’
ආදී ලෙසින් මංගල සූත්ර විස්තරයෙහි සඳහන් කර ඇති පරිදිමය.
මෙසේ එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණමහාසාළා භගවන්තං එතදවොචුං යැයි සැළකළේ කුමක් ගැනද? සන්දිස්සන්ති නූ ඛො ආදී ඒ සියළු තැන් කලින් පැහැදිලි කොට ඇත. බ්රාහ්මණනං බ්රාහ්මණ ධම්මෙහි හුදෙක්ම මෙහි රටතොට, කාලය ආදී කරුණු හැර බමුණු දහමක් වේද ඒ පිළිබඳ වූ, තෙන හි බ්රාහ්මණං බ්රාහ්මණයෙනි, යම් කරුණක් ඔබලා මගෙන් විමසවුද? සුණථ සවන් යොමා එය අසවු, සාධුකං මනසි කරොථ නුවණින් මෙනෙහි කරවු. සිත විසිර යා නොදී අසවු. මනාව සිතෙහි දරා ගනිමින් හොඳින් සිතා බලව යනාදී ලෙසින්, පෙර නොකියන ලද කරුණු අදහස් වේයැයි දතයුතුය. එවං භොති ඛො තෙ බ්රාහ්මණ මහාසාළා භගවතො පච්චසෙසාසුං භාග්යවතුන් වහන්සේගේ ඒ වචන මනාව පිළිගනිමින්, එයට මුල්තැන දෙමින් ඇසූහ. නැතහොත් එසේ අසන බවට තහවුරු කළහ. අසව, මැනවින් මෙනෙහි කරවයි කීමට එකඟ වන්නේ එසේ අනුගමනය කරන බවට පිළිවදන් දීමෙනි. ඉක්බිති ඔවුන්ගේ ඒ පිළිතුරෙන් පසුව ඉසයො පුබ්බකා ආදී ලෙසින් භාග්යවතුන් වහන්සේ මෙසේ කීහ.
එහි මුල් ගාථාවෙහි සංයත්තතා යනු සීලයෙන් හික්මුණු, සංවර වූ සිත් ඇති බවයි. තපස්සිනො ඉඳුරන් සංවරයෙහි තපසින් යුතු, අත්තදත්ථමචාරිංසු වේද මතුරු ඉගැන්වීමෙන්, බඹ විහරණයෙන්, භාවනාදියෙන් තම දියුණුව සලසා ගත්හ. ඉතිරි කරුණු පැහැදිළිය.