එය දෙවියන්ට පමණක් වන (බලපෑමක්) නොවේ. මෙය වෙනත් ලෝකවලටද අයහපත උදාවීමකි. තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා යම් යම් බලාපොරොත්තු හා ආසා ද, බඩගින්න හා වයස ගෙවෙනවිට ජරාවට පත්වීම කියන ලදී. පසූනඤ්ච සමාරම්හා අට්ඨානවුතිමාගමුං ඇස් රෝග ආදී රෝග අනූඅටක් පැමිණියේ යැයි තේරුමයි.
දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ සතුන් මැරීමට නින්දා කරමින් එසො අධම්මො යන ගාථාව වදාළහ. එහි අරුත නම්, එසො සතුන් මැරීමට ගත් තැන් පටන් කයෙන් කෙරෙන දුසිරිත් ආදී තුන් ආකාර වූ දණ්ඩානං එක්තරා වැරැද්දක් වීමෙන් දහමෙන් - යහපත් බවෙන් ඉවත්වන බැවින්, අධම්මො ඔක්කන්තො අහූ (එසේ) පැවතුණේය. එතැන් පටන් ඒ වැරදි තවමත් පවත්නා බැවින්, පුරාණෙ, ඒ මරණවිටදී පවා කිසිම සතෙකු පාදයෙන් හෝ හිංසාවක් නොකරන බැවින් අදූසිකායො, එසේ වූ ගවයන්, හඤ්ඤන්ති එබඳු ගවයන් යම් කෙනෙක් මරත් ද ධම්මා ධංසෙනති දහමෙන් වැළකෙති. පිරිහෙති. යාජකා යාගයෙහි යෙදෙන්නෝ - යදින්නෝ දනිති.
එවමෙසො අණුධම්මො මෙසේ එය පහත් දෙයක් - ලාමක දෙයක් ලෙස කියන ලදී. යම් ආකාරයකින් හෝ එහිදී දෙනු ලබන මඳ වූ දෙයක් හෝ ඇතොත්, ඒ සඳහා අණු ධම්මො යැයි වදාළහ. පොරාණො බොහෝ කලක පටන් පැවත එන, පැරණි වියතුන් විසින් පැසසුම් නොකරන ලද බැවින් විඤ්ඤූගරහිතො යැයි දතයුතුය. යම්හෙයකින් නැණවතුන් විසින් පැසසුම් නොකරන ලදද, එහෙයින්, යත්‍ථ එදිසකං පස්සති යාජකං ගරහති ජනො යනුවෙන් පැසසුම් නොකරන්නේ කෙසේද? (ඒ අදහස්) බමුණන් බොරුවෙන් උපදවන ලද්දකි. ගවයන් මරා මස් කති’යි අසා ඇතැයි මෙහිදී අදහස් වේ.
එවං ධම්මෙ වියාපන්නෙ මෙසේ පැරණි බමුණු දහම නැසිණි. වියාපත්තෙ යනුද පාඨයකි. අදහස වෙනස්ව, වෙනත් අදහසක් වී යැයි තේරුමයි. විභින්නා සුද්ද වෙස්සිකා පෙර සමගිව වාසය කළ මෙහෙකරු වැනි සුද්ද යැයි හැඳින්වූවෝ ද - වෙස්ස යැයි කියන ලද වෙළඳ කොටස් ද බිඳුණාහ. පුථූ විභින්නා ඛත්තියා කැත් කුලවත්තු ද එකිනෙකා කෙරෙහි බිඳුණහ. පතිං භරියාව මඤ්ඤථා බිරින්දද නිවසෙහි මුල්තැන තබන ලද බැවින්, පුතුන්ගේ බලයෙන් ද යුතුව හිමියාට අවමන් කළහ. නින්දා කළාය. නොසැළකීය. මැනවින් උවටැන්, ගරු සැළකිලි නොකළාය.
මෙසේ එකින්නෙකා බෙදී ගියා සේ, ඛත්තියා බ්‍රහ්මබන්‍ධුච... කාමානං වසමන්‍වගුං කැත් කුලවත්තු ද බමුණෝ ද යෙ චඤ්ඤෙ වෙස්ස වෛශ්‍ය හා ශුද්‍ර යන කොටස් එකතු වී කටයුතු නොකරති. මෙසේ තම තමන්ගේ පරම්පරාව රකින ලද බැවින් ගොත්තරක්‍ඛිතා ඒ සියල්ලෝම ජාතිවාදං නිරං කත්‍වා ‘මම කැත් කුල වෙමි. මම බමුණෙක්මි’ ආදී හැඟීම් වනසා පස්කම් සැපයෙහි දැඩි වසඟයට අන්‍වගූං පැමිණියහ. කාමයට වසඟ වීමෙන් කළයුතු දේවල් කිසිවක් නොකළාහු යැයි කියන ලදී.
මෙසේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේ, ඉසයො පුබ්බකා ආදී ගාථා නවයකින් පැරණි බමුණන්ගේ යහපත් ගුණ දක්වා, යො තෙසං පරමො යන ගාථාවෙන් බ්‍රහ්මයා හා සමානව ද තස්ස වත්ත මනුසික්‍ඛන්තා යන ගාථාවෙන් දෙවියන් හා සමානවද තණ්ඩූලං සයනං ආදී ගාථා හතරකින් ඔවුන් පණවා ගත් සීමා ද, තෙසං ආසි විපල්ලාසො ආදී ගාථා දහහතකින් ඒ සීමා ඉක්මවා කටයුතු කිරීමෙන් එතෙක් සුරැකි පිළිවෙත් මගින් බැහැර වීමෙන් දෙවියන් ආදීන්ගේ ඉවත් වීමද දක්වා දේශනය නිම කළහ. බමුණු සැඬොලා ගැන මෙහි කියා නැත. කවර හෙයින්ද? බ්‍රහ්මයාට සමානව, දෙවියන් හා සමව සහ (තමා කෙරෙහි) සීමා කොටගත් කරුණු වීද, යම් නොමග යාමකින් හෝ, නුසුදුසු දෙයක් අගනා බමුණු දහම ලෙසින් ගෙන සීමා ඉක්මවා විපතට පත් වූයේ ද්‍රෝණ සූත්‍රයෙහි කියා ඇති පරිදිය. බමුණු දහම නැසුණද බමුණු සැඬොලකු වීමට එය හේතු නොවේ. කවර හෙයින්ද? බමුණු දහම නොපිටට හරවා ගත් බැවිනි. එහෙයින් එය නොදක්වාම දේසනය නිම කළහ. දැනුදු ඒ බමුණු සැඩොලා දුලබය. මෙසේ ඒ බමුණු දහම වැනසුනි.’ ‘පින්වත් ගොතමයනි, කරුණු මෙසේ නම්, ‘බ්‍රාහ්මණ සැඩොලා වීමට අපි කටයුතු නො කරමු’යි ද්‍රෝණ බමුණා කීය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර විස්තරය නිමි.
8. ධම්ම නාවා සූත්‍ර වර්ණනාව
යස්මා හි ධම්මං යනු ධම්ම සූත්‍රයයි. නාවා සූත්‍රය යැයි ද කියනු ලැබේ. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? ගරු කටයුතු සැරියුත් තෙරුන් අරබයා දෙසන ලදී. මේ එහි කෙටියෙන් සඳහන් කිරීමයි. විස්තර අගසවු දෙනම ඉපදුණු කල පටන්ම දතයුතුය. ඒ තොරතුරු කෙසේද යත්? (අප) භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර, අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි සියයක ධන සම්පත් ඇති ගම්දෙටු බමුණාගේ රූපසාරී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. දෙවැන්නාද එම ගමට නුදුරු, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ කෝලිත ගමෙහි එපමණ වූම ධන සම්පත් හිමි ගම් දෙටු බමුණාගේ මුගලන් නම් බැමිණියගේ කුස ඒ දවසෙහිම පිළිසිඳ ගත්තේය. මෙසේ එකම දිනක ඔවුන්ගේ පිළිසිඳ ගැනීමත්, බිහිවීමත් සිදුවිය. එකම දින උපතිස්ස ගමෙහි එක් දරුවකු උපන් බැවින් උපතිස්ස යැයිද, කෝලිත ගමෙහි එක් දරුවකු උපන් බැවින් කෝලිත යැයිද ඔවුන්ට නම් කළහ.