6. කපිල සූත්‍ර වර්ණනාව
ධම්මචරියං යනු කපිල සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? හේමවත සූත්‍ර විස්තරයෙහි සඳහන් වූ පරිදි කසුප් බුදුරදුන් පිරිනිවන්පෑ කල්හී, සහෝදර කුලපුත්තු දෙදෙනෙක් ගිහිගෙයින් නික්ම සාවක හිමිවරුන් ළඟ පැවිදි වූහ. වැඩිමහල් තැනැත්තා සොධන නම් විය. කනිටු සොයුරු කපිලය. ඔවුන්ගේ මවු සාධනී ය. කණිටු සොයුරිය තාපනා වූවාය. මවත් දුවත් මෙහෙණි සස්නෙහි පැවිදි වූහ. හේමවත සූත්‍ර විස්තරයෙහි කී පරිදි ‘හිමියනි, සසුනෙහි ධුර කොපමණදැ’යි විචාරා, දෙටු සොයුරු හිමි, ‘විදසුන් ධුරය පුරන්නෙමි’යි පස් වසරක් ගුරු උපජ්ඣාය හිමිවරුන් ළඟ වැස, සපුරන ලද වස් පහක් ඇත්තෙක්ව, අරහත් පලය තෙක් කමටහන් අසා, කැලයට පිවිස උත්සාහ කරමින්, රහත්ඵල ලැබීය. කපිල හිමි ‘මම තවම තරුණ වෙමි, වැඩිහිටි වියෙහිදී විදසුන් ධූරය සපුරන්නෙමි’යි දහම ඉගෙන තුන්පිටකයෙහිම හසළ දැනුමක් ලැබීය. කපිල හිමින්ගේ දහමෙහි වියත් බව නිසා පිරිවර ද පිරිවර නිසා ලාභ සත්කාරද ලැබුණි.
බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතෙකැයි උඩඟු බවෙන් මත්ව, නොදන්නා දෙයක් වුවත් දන්නා බව අඟවමින්, වෙනත් හිමිවරුන් පිළිගැනීමට කැප දේ අකැප ලෙසත්, අකැප දේ කැප ලෙසත්, වැරදි දේ නිවැරදි ලෙසත් නිවැරදි දේ වැරදි ලෙසත් පවසයි. අනෙක් සිල්වත් මහණුන් ‘ඇවැත්නි, කපිල, මෙසේ නොකිව මැනව’යි ආදී ලෙසින් අවවාද කරනු ලබනවිට, ‘හිස් මුට්ටියක් වැනි ඔබලා කුමක් දනිවු’දැයි දොස් නගමින්, ගරහමින්ම හැසිරෙයි. හිමිවරු කපිල හිමිගේ සොයුරු සොධන තෙරුන්ටද ඒ කරුණ සැළකළහ. සොධන හිමිද කපිල හිමි වෙත එළඹ, ‘ඇවැත්නි, කපිල, සාසනය දිගුකලක් පවතින්නේ ඔබවැන්නන්ගේ මනා පිළිවෙත් නිසයි, කැප දේ අකැප ලෙසත්... නිවැරදි දේ වැරදි ලෙස නොකියව’යි කීය. කපිල හිමි එය පිළි නො ගත්තේය. එහිදී සොධන හිමි තෙවරක්ම එසේ නොකියව කියා හිමිකරුවෙක්, දාසයාට එක් වචනයක් හෝ වචන දෙකක් (එක් වරක් හෝ දෙවරක්) අනුකම්පාවෙන් කියන්නේ ය. ඊට වැඩියෙන් නො කියන්නේය.
‘එකං වාචං දුවෙ වාචා භණෙය්‍ය අනුකම්පකො
තතුත්තරිං න භාසෙය්‍ය, දාසො අයිරස්ස සන්තිතෙ’
‘ඇවැත්නි, ඔබම කරන දෙය, ඔබම බලාගත මැනවැ’යි ද පවසා එතැනින් ඉවත්ව ගියේය. එතැන් පටන් යහළු පැවිදි හිමිවරු කපිල හිමි හැර ගියහ.
කපිල හිමි අයහපත්ව, අයහපත් ලෙසින් කටයුතු කරන පිරිස පිරිවරා, වෙසෙමින්, එක් දවසක් ‘පොහොය විචාරන්නෙමි’යි මුල් අසුනෙහි හිඳ විසිතුරු වටපොත රැගෙන, ‘ඇවැත්නි, මෙහි පැවිදි හිමිවරුන්ට පාමොක් දෙසුම වේ’ යැයි තෙවරක් කීය. එවිට එක මහණක හෝ ‘මම ඒ අනුව පවතිමි හෝ, ඒ හිමිවරුන් කෙරෙහි පාමොක් පවත්නා බවක් හෝ නො පැවසීය. කපිල හිමි ‘පාමොක් ඇසුවත්, නොඇසුවත්, විනය නම් නැතැයි’ කියා අසුනින් නැගිට්ටේය. මෙසේ කසුප් බුදුරදුන්ගේ සාසනය පිරිහී ගියේ ය. වැනසුණේය. සෝධන තෙරුන් වහන්සේ ද එදිනම පිරිනිවන් පෑහ. ඒ කපිල හිමි ද මෙසේ ඒ සසුන පිරිහීමට කටයුතුකොට, අවීචි මහා නිරයෙහි උපන්නේ ය. කපිල හිමිගේ මව ද සොහොයුරිය ද එම වැරදි අදහස ගෙන සිල්වත් මහණුන්ට දොස් නගමින්, නින්දා කරමින්, කළුරිය කොට නිරයෙහි උපන්හ.
ඒ කාලයෙහිම, මිනිස්සු පන්සියයක්, ගම් වනසමින්, සොරකමින් ජීවත් වී, ජනපදවාසීන් ලුහුබඳනා විට පලායද්දී, කැලයට වැදී, එහි කිසිවක් ලබාගැනීමට හෝ පිළිසරණක් නොදැක, ඒ අසළ වූ ගල් පව්වෙක වසන එක් වනවාසී මහණකු දැක, වැඳ ‘හිමියනි, අපට පිළිසරණක් වනු මැනව’යි කීහ. ‘ඔබලාට සීලය හා සමාන අන් පිළිසරණක් නැත, පන්සිල් සමාදන් වෙව’යි කීය. ඔවුහු සියල්ලෝම ‘යහපතැ’යි පිළිගෙන, සිල් සමාදන් වූහ. තෙරුන් වහන්සේ, ‘දැන් ඔබ හැම සිල්වත් ය. දැන් තමන්ගේ ජීවිත විනාස වෙතත්, සිත කිලිටි කර නොගනිවු’ යැයි පැවසූහ. ඔවුහු ‘යහපතැ’යි පිළිගත්හ. පසුව ජනපදයට පැමිණ, එහා මෙහා ගමන් කරන ඒ මිනිසුන් දුටු ජනපදිකයෝ ඒ සියල්ලන්ගේම ජීවිත වැනසූහ. ඔවුහු කාමාවචර දෙව්ලෝකවල උපන්හ. ඔවුන්ගේ දෙටු සොරා ඒ දෙව් පිරිස අතර දෙටු දෙව් පුත් විය. අනෙක් සියල්ලෝම ඔහුගේ පිරිවර වූහ.