5. සූචිලොම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු සුචිලොම සූත්‍රයයි. එම සූත්‍රයට මුල් වූ කරුණ කුමක්ද? විස්තර සඳහන් කරන අතරම ඒ කරුණ පැහැදිලි කරනු ඇත. එහිදී එවං මෙ සුතං කියන ලද්දේමය. ගයායං විහරති ටංකිතමඤ්චෙ සුචිලොමස්ස යක්‍ඛස්ස භවනෙ, මෙහි ගයා යනු කුමක්ද? ටංකිත මඤ්ච යනු කුමක්ද? කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ යකුගේ භවනයෙහි වැඩසිටි සේක්ද? ඊට අදාළ කරුණු දක්වනු ලැබේ. ගයා යනු ගමකට ද තොටුපොළකට ද කියනු ලැබේ. ඒ දෙකම මෙහිදී යොදාගැනීම වටී. ඒ ගම්දොර ආසන්නයේ ටංකිතමඤ්ච පිහිටියේය. ගයා තොටෙහි වාසය කළද, ගයාවෙහි වැඩ වසතියි කියනු ලබයි. ගයා තොටෙහිම ඒ ටංකිතමඤ්ච පිහිටියේය. ටංකිතමඤ්චො යනු ගල් සතරක් මත පළල් ගලක් නංවා සකස් කරන ලද ගල් ඇඳකි. එය ආලවකගේ භවන මෙන් මේ යකුගේද වසන තැන විය. භාග්‍යවතුන් වහන්සේ එදින උදෑසන මහා කරුණා සමවතින් නැගිට බුදු ඇසින් ලොව බලන සේක්, සූචිලොම සහ ඛර නම් වූ යකුන් දෙදෙනාට සෝවාන් ඵලයට පැමිණීමේ හේතු සම්පත් දැක, පාසිවුරු ගෙන උදෑසනම, නොයෙක් දිසාවලින් රැස්වූ මිනිසුන්ගේ කෙළ, සොටු ආදී අපිරිසිදු දේවලින් කිලිටි වූවත් ඒ තොටුපල පිහිටි බිම්පෙදෙසට පැමිණ, සුචිලොම යකුගේ නිවහන වූ ඒ ගල්ඇඳෙහි හුන් සේක. එහෙයින්, එකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ්චෙ සූචිලොමස්ස යක්‍ඛස්ස භවනෙ යැයි කියන ලදී.
තෙන ඛො පන සමයෙන භාග්‍යවතුන් වහන්සේ යම් වේලාවක එහි වැඩ සිටි සේක් ද, ඒ කාලයෙහි, ඛරොච යක්‍ඛො සූචිලොමො ච යක්‍ඛො භගවතො අවිදූරෙ අතික්කමන්ති ඒ යක්කු කවරහුද? කවර හෙයින් (ඉවත්ව) පසුකොට යත්ද? ඊට කරුණු මෙසේය. ඒ යකුන් දෙදෙනාගෙන් එකෙක් පෙර සංඝයා වහන්සේ නමකගේ තෙලක් නො විමසා රැගෙන තම සිරුරෙහි ගැල්වීය. ඔහු ඒ කළ දෙයෙහි විපාක සේ නිරයෙහි පැසී, ගයා පොකුණුතෙර යකෙක්ව උපන්නේය. ඒ කම් විපාකය ඉතිරිව තිබූ බැවින්, අඟපසඟ විරූපී විය. ගල් ඉබ්බෙකුගේ මතුපිට සේ, සම රළු පහස ඇති විය. ඔහු අනුන්ට හිංසා කිරීමට කැමති වූ විට, උළු සෙවිල්ලක් බඳු හම් කබල ඔසවා හිංසා පමුණුවයි. මෙසේ ඔහු රළු-ගොරෝසු පහස ඇති බැවින් ‘ඛර’ ‘යකු’ යැයි නම් ලැබීය.
කසුප් බුදුන් කල උපාසකයෙක්ව සිටි එක්තරා යකෙක් මාසයේ අට දිනක් විහාරයට ගොස් දහම් අසයි. එක් දවසක් දහම් අසන වේලාව නිවේදනය කළ විටදී, සංඝාරාමයෙහි දොරටුව අසල (ඉදිරිපිට පිහිටි) තම කුඹුරෙහි (වල් නෙලීම්) ආදී වැඩකටයුතු කරමින් සිට, ඒ හඬ අසා, ‘නෑමට ගියොත් පමා වේ’ යැයි (සිතා) කිලිටි සිරුරෙන් ම, පාමොක් දේසනා කරන සාලාවට පිවිස, මාහැඟි බුමුතුරුණෙහි නොසැළකිලිමත්ව වැතිරී නිදාගත්තේය. සංයුත්ත නිකාය (කටපාඩමෙන්) දරණ හිමිවරු ‘මොහු උපාසකයෙකු නොවේ’ යැයි කියති. ඔහු එසේ කළ දෙයින් හා වෙනත් (අයහපත්) කටයුතුවලින් නිරයෙහි පැසී, ගයා පොකුණුතෙර, යකෙක්ව ඉපදුණේය. ඉතිරි විපාක පරිදි දැකීමට නොහෙන තරම් විරූපී විය. සිරුරෙහි ඉඳිකටු වැනි ලොම් (රෝම) විය. ඔහු ඉඳිකටුවලින් අනින්නාක් මෙන් ජීවත් වන්නන්ට හිංසා පමුණුවයි. මෙසේ ඉඳිකටු මෙන් වූ රෝම ඇති බැවින්, ‘සුචිලොම’ යකු යැයි නම ලැබීය. ඔහු තම ආහාර සඳහා වසන තැනින් නික්ම මද දුරක් ගොස් නැවතී, ගිය මගෙහිම අනෙක් යකු හමුවී භාග්‍යවතුන් වහන්සේ සමීපව (එකිනෙකා) පසුකොට ගෙන යති.
අථ ඛො ඛරො යැයි කුමක් නිසා කීවාහුද? බර යකා ශ්‍රමණ ආකල්පය දැක, ‘සුචිලොමට යමෙකු බය වෙත්ද, ඔහු මහණෙක් නොවේ. බොරු මහණ වෙස් ගත්තෙකියි කියන එබඳු අදහස් ඇත්තෙක් විය. එහෙයින් ඒ අදහස පරිදි, භාග්‍යවතුන් වහන්සේ ගැනද සිතමින්, නෙසො සමණො සමණකො එසො යැයි එක්වරම සිතා, යාව ජානාමී යැයි විමසනු කැමතිව කීය. අථ ඛො මෙසේ කීමෙන් පසු, සූචිලොමො යක්‍ඛො මෙතැන් පටන් අපිච ඛො තෙ සම්ඵස්සො පාපකො මේ අදාල කොටස මුලින් පැහැදිලි කරන ලද්දේය. භගවතො කායං හුදෙක්ම මෙහිදී තම සිරුර, භාග්‍යවතුන් වහන්සේ වෙතට ළං කළේ යැයි මෙසේ කතාවේ සම්බන්ධය දතයුතුය.
එහිදී භාග්‍යවතුන් වහන්සේ බිය නොවනු දැක, පඤ්හං තං සමණ යැයි කීය. ඊට කරුණු කෙසේද? ‘මාගේ මේ නොමිනිස් වූ ගොරහැඩි පහසින් මිනිසකු හා සමාන මොහු බය නොවෙයි. එහෙයින් මම බුදු කෙනෙකුගේ නුවණට අදාළ වන පැනයක් අසමි. ඒකාන්තයෙන්ම එයට මුහුණ දිය නොහැකි වනු ඇත. එයින් වෙහෙසට පත් කරන්නෙමි’යි සුචිලොම සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ එය අසා, න ඛවාහන්තං ආවුසො ආදී ලෙස කීහ. ඒ සියල්ල ආලවක සූත්‍රයෙහි දී කියා ඇති පරිදි දතයුතුය.
අථ ඛො සූචිලොමො යක්‍ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි රාගොච දොසො ච යන ගාථාව කීය. එම ගාථාවෙහි රාගදොසා කලින් විස්තර පරිදිය. කුතො නිදානා ඇතිවීමට පසුබිම කුමක්ද? හේතුවූයේ කුමක්ද? කුතො යන වත්මන් අදහස දෙන වචනයට ‘තො’ එකතුවී යැයි දතයුතුය. සමාස වීමේදී ලොප් නොවේ. නැතහොත් නිදානා හටගැනීම - ඉපදීම යන තේරුමයි. එහෙයින් කුතො නිදානා ඇතිවූයේ, උපන්නේදැ’යි කියන ලදී. අරතී රතී ලොමහංසො කුතොජා විවේක ඇති තැන්වල, සෙනසුන්වල හෝ වෙනත් වෙනත් තැන්වල හෝ, උසස් කුසල් දහම් පිළිබඳ නොඇලීමක්, නොඇළුණු බවක්, නොකැමැත්තක්, කලකිරීමක් තැතිගැන්මක්’ යනුවෙන් මෙසේ අරති බෙදා දක්වා ඇත. ‘පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති අරතිතා අනභිරති, අනභිරමණ උක්කණ්ඨිතා පරිතස්සිතා’, පස්කම් පිළිබඳ වූ රති, යම් ලොමු දැහැගැනීමක් හටගනීද ලොමහංසො නමින්ම සිතෙහි තැති ගැන්ම හඳුන්වනු ලබයි. මේ කරුණු තුන කුතො ජා හටගත්තේ කොතැනින්දැයි විමසයි. කුතො සමුට්ඨාය කොතැනින් ඉපිද, මනො කුසල සිත, විතක්කා අභය සූත්‍රයෙහි කියන ලද කාම සිතිවිලි නවය ආදියයි. කුමාරකා ධංකමිවොස්සජන්තී යම්සේ කෙළිදෙළින් පසුවන ගම්දරුවෝ කපුටකුගේ පාද නූලෙන් බැඳ ඉහළට පහළට දමත් ද, මෙසේම කුසල සිතට අකුසල සිතිවිලි කොතැනින් හටගෙන සිත සසල කරත්දැයි විමසයි.