4. මහාමඞ්ගල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු මංගල සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? දඹදිව, මහජනයා නගර දොරටු, රැස්වීම් සාලා, රැස්වීම් ආදී ඒ ඒ තැන රැස් වී අමු රන් දී සීතාවන්ගේ පැහැරගෙන යාම් ආදී නොයෙක් ආකාර බාහිර කතා කියවා ගනී. ඒ එක් එක් කතාවක් සිවුමසකින් නිමාවෙයි. ‘දකින ලද දේ යහපත් වේද? අසන ලද දේ යහපත් වේද? පහස ලද දේ යහපත් වේද? කවරෙක් යහපත දකිත්දැයි එක් දවසක් එහිදී මංගල හෙවත් යහපත් දේ ගැන කතාවක් ඇතිවිය.
එහිදී දිට්ඨමංගලික නම් එක් මිනිසෙක්, ‘මම මංගල යැයි කියන දේ දනිමි, ලොව යහපත වන්නේ දුටු දේය. ඉතා උතුම් යැයි සම්මත මෙබඳු රූප දැකීම නම්, යහපත් වෙයි. ඇතැම් කෙනෙක් උදැසන පිබිද කතාකරන සුළු කුරුල්ලකු දකිති. තරුණ බෙලිගසක් හෝ ගැබිණියක, අලංකාරවත්ව සැරසුණු කුමාරවරුන් හෝ පුන්කලසක් හෝ අළුත් රේමසකු හෝ අජානීය අසකු හෝ අජානීය අසකු යෙදූ රියක් හෝ, දුඹුරුවන් ගවයෙකු හෝ දුඹුරුවන් එළදෙනක හෝ මේ හා සමාන වෙනත් උතුම් යැයි සම්මත රූප දකී ද මෙය දිට්ඨමංගලං යැයි කියනු ලැබේ. ඔහුගේ වචනය ඇති පිළිගත්හ. ඇතැම්හු නොපිළිගත්හ. එසේ නොපිළිගත්තෝ අනික් තැනැත්තන් හා වාද වූහ.
සුතමංගලික නම් එක් මිනිසෙක්, ‘පින්වතුනි, ඇස පිරිසිදු දේද, අපිරිසිදු දේද දකී. එසේම ලස්සන, අවලස්සන දේත්, කැමති අකැමති දේත් දකී. ඒ අනුව දකින ලද දෙය යහපත් නම්, ඒ හැම දෙයමත් යහපත් වන්නේය. නොදුටු දේ යහපත් නොවේ. එසේ වුවද ඇසූ දේ යහපත්ය. ඒ මේ ආකාර වූ උසස් යැයි සම්මත ආසිරිදායක නාදයි. ඇතැම් කෙනෙක් උදෑසන පිබිද ‘දියුණු වේවා හෝ, දියුණුවට හේතු වේවා හෝ, බලාපොරොත්තු ඉටුවේවා හෝ යහපත් දේ ඇසේවා හෝ සතුටු සිත් ඇතිවේවා, සිරිමත් වේවා, සිරියාව ඇතිවේවා හෝ අද නැකැත් හොඳය, වේලාව හොඳය, දවස හොඳය, යහපත උදාවේ යැයි, මෙබඳු ඉතා යහපතැයි සම්මත හඬ අසති. මෙය සුතමංගල නම් වේ. ඔහුගේ වචනය ඇතැම්හු පිළිගත්හ. ඇතමෙක් නොපිළිගත්හ. එසේ නොපිළිගත්තෝ අනෙක් තැනැත්තන් හා වාද වූහ.
මුතමංගලික නම් වූ එක් මිනිසෙක්, පින්වත, කන හොඳ දෙයද, නරක දෙයද, කැමති දෙයද අකැමති දෙයද අසයි. ඒ අනුව අසන ලද දෙයම යහපත් නම්, හැමදෙයම යහපත් වන්නේය. ඒ නිසා ඇසූ දෙය මංගල හෙවත් යහපත් නොවේ. එසේ වුවත් පහස ලද දේ, විඳින ලද දේ යහපත්ය. උසස්යැයි පිළිගත්, සුවඳ -රස පහස විඳීම මෙයින් අදහස් වේ. ඇතැම් කෙනෙක් උදෑසනම පිබිද පියුම් සුවඳ වැනි මල්සුවඳ විඳගනිති. හොඳ දැහැටි කයි, (නැවුම්) පොළව හෝ අතගායි. අළුත් වී ආදිය හෝ අමුගොම හෝ කැස්බෑවෙකු හෝ තල පිරවූ ගැලක් හෝ අතපතගායි. උසස් මැටි හෝ තවරා ගනු ලබයි. අළුත් සළුවක් හෝ හැඳගනී. අළුත් හිස්වෙළුමක් දරයි. මෙබඳු හොඳයැයි සම්මත වෙනත් සුවඳක් හෝ රසයක් විඳියි. පහස හෝ ලබයි. මේ මුතමංගල යැයි කීය. ඇතැම් කෙනෙක් ඔහුගේ වචනය පිළිගත්හ. ඇතමෙක් නොපිළිගත්හ.
දුටු දේ යහපත් යැයි පිළිගත් තැනැත්තාට ඒ අදහස, ඇසූ දේ-පහස ලැබූ දේ යහපත් යැයි කියන තැනැත්තන්ට වටහාදීමට නොහැකි විය. අනෙක් දෙදෙනාටද තම තම අදහස් එකිනෙකාට වටහා දීමටද හැකි නොවීය. දිට්ඨමංගලිකගේ වචනය පිළිගත් මිනිස්සු ඒ අනුව හැඳින්වූහ. සුතමංගලිකගේද මුතමංගලිකගේද වචනය පිළිගත් මිනිස්සුද ඒ ඒ ලෙසටම හඳුනා ගත්හ. මෙසේ මෙම මංගල (කරුණු) පිළිබඳව මුළු දඹදිවම පතළ වීය.
ඉක්බිති මුළු දඹදිවම මිනිස්සු සමූහ සමූහව, යහපත් දේ කුමක්ද? යහපත් දේ කුමක්දැයි සිතූහ. ඒ මිනිසුන් රක්නා දේවතාවෝ ද ඒ කතාව අසා, එසේ සිතූහ. ඒ දේවතාවෝ මිහිකත් දෙවිවරුන් හා මිතුරු වෙති. මිහිකත් දෙවිවරුද ඒ අසා මංගල හෙවත් යහපත් දේ ගැන එපරිදිම සිතූහ. අහසෙහි වසන දෙවිවරු ඒ දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. චාතුම්මහාරාජික දෙවියෝ අහසෙහි වසන දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. මේ අයුරින් අකනිටා දෙවිවරු සුදස්සී දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. අකනිටා දෙවිවරුද ඒ කතාව අසා සමූහ සමූහව රැස්ව මංගල යනු කුමක්දැයි සිතූහ. මෙසේ දසදහසක් සක්වළ හැමතැනම මංගල පිළිබඳව අදහස් පළවිය. මේ මංගල කරුණුයැයි තීරණයකට නොපැමිණ දොළොස් වසරක්ම ගතවිය. මගපල ලද සාවක පිරිස හැර, මිනිස්සුද දෙවියෝද බ්‍රහ්මයෝද දුටු දේ - ඇසූ දේ - පහස ලද දේ යහපතැයි කියමින් තෙකොටසකට බෙදුණහ. එක් තැනැත්තකුට හෝ ‘යහපත් දේ මේ’ යැයි නිසි පරිදි තීරණය කළ නොහැකි විය. මංගල කෝලාහලය ලොව හටගත්තේය.
කොලාහලං කප්ප කෝලාහලය, චක්කවත්ති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය, මොනෙය්‍ය කෝලාහල යැයි පස් ආකාරය. කාමාවචර දෙවිවරු හිසකෙස් මුදා - කෙස් විසුරුවාගෙන, හඬමින්, අත්වලින් කඳුළු පිසිමින්, රතුවත් හැඳ බොහෝ විරූපී වූ වෙසින් මේ ලෝකය වැනසෙන්නේය, මහ මුහුද වියළෙන්නේය. මේ මහපොළවද මහාමේරු පව්වද උඩට නැගී වැනසෙන්නේය. බඹලොව දක්වා ලොව වැනසෙයි. වසර සියදහසකින් පසු කල්පය හටගන්නේය. පින්වතුනි, මෙත්වඩවු, කරුණා, මුදිතා, මැදහත් බව වඩවු. මවට උවටැන් කරවු. පියාට උවටැන් කරවු. කුලදෙටුවන් පුදවු. අවදියෙන් (කල්පනාකාරිව) කල්ගත කරවු. පමා නොවවු යනුවෙන් මිනිස් ලොවෙහි සැරිසරමින් දැනුම් දෙති. මෙය කප්ප කොලාහලං නම් වේ.
කාමාවචර දෙවිවරුම, ‘මෙතැන්සිට අවුරුදු සියයකට පසු සක්විති රජ ලොව පහළවන්නේය’යි මිනිස්ලොව සැරිසරමින් සැළකරති. මේ චක්කවත්ති කොලාහලං නම් වෙයි.