මෙහිදී අදහස් වන්නේ උප්පති දෙවියන්ය. මනුගෙන් පසුව පැවත එන අදහසින් මනුස්සා, ‘උසස් මනසක් ඇති බැවින් මිනිසුන් වූහ’යි පැරණි ඇදුරෝ කියති. මිනිස්සු දඹදිව වැසි, අපරගෝයන වැසි, ‘උතුරුකුරු වාසී හා පුබ්බවිදේහික යැයි සිවු ආකාර වෙති. මෙහි අදහස් වන්නේ දඹදිව වාසීන්ය. මංගලං යනු මේ මිනිසුන් විසින් සොයන ලද, මංගලානි යහපත උදාව සහ වැඩිදියුණුවට පැමිණෙතියි තේරුමයි. අචින්තයුං සිතූහ, ආකංඛමානා කැමතිවෙමින්, බලාපොරොත්තු වෙමින්, ආසා වෙමින්, සොත්‍ථානං සුවතාවය, මෙලොව පරලොවට යහපත් වූත්, වැඩදායී වූත්, හරවත් වූත් කරුණු දැනගැනීමට සියල්ලගේම උවමනාව කියන ලදී. බ්‍රෑහි දේසනා කරනු මැනව, පවසනු මැනව, කියනු මැනව, හෙළිදරව් කරනු මැනව, බෙදා දක්වනු මැනව, පැහැදිලි කරනු මැනව. මංගලං යහපත උදාකරන, වැඩිදියුණු කරන, සියළු සම්පත් ළඟාකර දෙන කරුණු, උත්තමං සියළු ලෝකවාසීන්ගේ හිතසුව පිණිස උසස් වූ, උතුම් වූ, මේ එම ගාථාවෙහි වචන අනුව සඳහන් කිරීමයි.
මේ දැක්වෙන්නේ කෙටි අරුතයි. දස දහසක් සක්වළ දෙවියන් මංගල පැනය අසනු කැමතිව, මේ එකම සක්වළෙහි රැස්වී, එකම සක්වළෙහිම කෙළවර පටන් ලද ඉඩ පමණින්, දහයක්, විස්සක්, තිහක්, හතළිහක්, පනහක්, හැටක්, හැත්තෑවක්, අසූවක් තරම් සියුම් රූ මවාගෙන සිටි සියළු දෙව්බඹමරුන් අබිබවා, සිරියෙන්ද, තේජසින්ද බබළමින්, පණවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ පිරිවර සමග දැක, ඒ කාලයෙහි මෙන්ම අනාගතයෙහිද මුළු දඹදිව මිනිසුන්ගේ සිතිවිලි, සැක දැන, සියළුම දෙව් මිනිසුන්ගේ සැකය නැමති උල උදුරාදමනු පිණිස, ඒ දේවතාවා (මෙසේ) කීය. ‘බොහෝ දෙවියෝ ද, මිනිස්සු ද මංගල කරුණු යහපතට හේතු සිතූහ. ඒ සුවදායී බව කැමති වූවන්ට ඒ දෙවියන්ගේ අනුමැතියෙන්ද - මිනිසුන්ගේ උපකාරයෙන්ද මා විසින් අසන කරුණු වේද, අපට ඒකාන්ත වූ හිතසුව ගෙනදෙමින්, ඒ යහපත් දේ ඔබවහන්සේ අනුකම්පාකොට වදාරනු මැනව.’
මෙසේ ඒ දෙව්පුතුගේ වචනය අසා, භාග්‍යවතුන් වහන්සේ අසෙවනාච බාලානං යන ගාථාව කීහ. අසෙවනා ඇසුරු නොකිරීම, සහ සබඳතා නොපැවැත්වීම, බාලානං බලය (ජීවත්වීමේ) ඉහළට ගනු ලබන්නෝ, ඔවුහු හුස්ම ඉහළ පහළ කරන පමණින් ජීවත් වෙති. නුවණින් ජීවත් නොවෙතියි අදහසයි. එබඳු නුවණ නැති තැනැත්තන්, පණ්ඩිතානං පණ්ඩිත බව ඇත්තන් - පණ්ඩිතයන්, මෙලොව පරලොව වැඩදායී කරුණු කෙරෙහි නුවණින් කටයුතු කරන්නන් මෙහි අදහස් වේ. එබඳු නුවණැත්තන් සෙවනා ඇසුරු කිරීමෙන්, සහ සබඳතා පැවැත්වීමෙන්, ඔවුන් හා සහයෝගීතාවයෙන්, සමීප වීමෙන්, පූජා ගරුබුහුමන් කිරීමෙන් හා වැඳීමෙන්, පූජනීයානං එසේ පිදීමට සුදුසු තැනැත්තන්, එතං මංගලමුත්තමං අනුවණයන් හා ඇසුරක් නොවේද, පණ්ඩිතයන් හා යම්බඳු ඇසුරක් වේද, ගරුබුහුමනට සුදුස්සන්ට පූජා කරයිද, ඒ සියළු කරුණු එක්කොට එතං මංගල මුත්තමං යැයි වදාළහ. ඒවා යහපත් කරුණු ලෙස ගතයුතු යැයි කියන ලදී. මේ ඒ ගාථාවේ වචනවල අදහසයි.
එහි විස්තර මෙසේ දතයුතුය. ඒ දෙව්පුතුගේ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළහ. පුච්ඡිත කථා, අපුච්ඡිත කථා, සානුසන්‍ධි කථා, අනනුසන්‍ධි කථා යැයි අදාළ වන කථා සතරාකාරය. ‘මහපොළව සේ පැතිරුණු මහා නුවණැති ගෝතමයන් වහන්ස, යහපත් සාවකයෙකු (අනුගාමිකයෙකු) වීමට කෙසේ කටයුතු කළයුතුද?’ ‘පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ කථං කරො සාවකො සාධු හොති’ යැයිද ‘නිදුකාණෙනි, ඔබවහන්සේ කෙසේ සැඩපහර තරණය කළෙහිද? ‘කථං නු ත්‍වං මාරිස ඔඝමතරී’ මේ ආදී තැන අසන ලද අදහසින් පුච්ඡිත කථා වේ. ‘වෙනත් තැනැත්තන් යම් දෙයක් සැපය සේ කියත්ද, බුදුවරු ආදී උතුමෝ එය දුක සේ කියති’ – ‘යං පර සුබතො ආහූ, තදරියා ආහු දුක්‍ඛතො’ -– ‘මෙබඳු තැන නොඅසන ලද නමුත්, තම අදහස අනුව කියන ලද දේ අපුච්ඡිත කථා ය. සියළුම බුදුවරුන්ගේ කතා, ‘මහණෙනි, මම කරුණු සහිතව (තැනට උචිත පරිදි) හේතු ඇතිව දහම් දෙසමි’ - සනිදානාහං භික්‍ඛවෙ ධම්මං දෙසෙමි’ - දක්වන ලද පරිදි සානුසන්‍ධිකථා නම් වේ. (එයට වෙනස්වන) අනනුසන්‍ධිකථා මේ සසුනෙහි නැත. මෙබඳු කථා අතරින්, මේ දෙව්පුතු විසින් අසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද බැවින් මෙය පුච්ඡිත කථා ලෙස ගැනේ. යහපත් මග, අයහපත් මග ගැන විමසීමේදී, වියත් තැනැත්තෙක් මුලින් අත්හළ යුතු මග කියා පසුව යායුතු මග කියයි. ‘අසවල් නම් තැන මාවත් දෙකක් වෙයි. එහි වම් පැත්තට ඇති මාවත හැර දකුණුපසට ඇති මාවතෙහි යව’යි පහදා දෙයි. මෙසේම ඇසුරු කළයුතු හා ඇසුරු නොකළයුතු අයුරු කියා දී, ඇසුරු කළයුතු දෙය පැවසිය යුතුය. භාග්‍යවතුන් වහන්සේද මග කියාදීමෙහි සමත් තැනැත්තෙකු වැනිය.
‘තිස්ස, මග කියාදීමෙහි සමත් තැනැත්තෙකු යනු, තථාගත අරහත් සම්මා සම්බුදුන්ට සමාන වචනයකි.’
මේ ලෝකය පිළිබඳවත්, පරලොව පිළිබඳවත්, මරණයට යටත් පෙදෙස ගැනත්, මරණය නොමැති පෙදෙස ගැනත්, මාරයාට යටත් පෙදෙස ගැනත්, මාරයාට යටත් නොවන පෙදෙස ගැනත් කියාදීමට තථාගතයන් වහන්සේ සමත්වෙති’යි එසේ හෙයින් කියන ලදී. එහෙයින් පළමුකොට, ඇසුරු නොකළ යුතු දේ ගැන පැහැදිලි කරමින්, අසෙවනාච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා යැයි කීහ. අත්හළ යුතු මග මෙන්ම, මුලින්ම නුවණැත්තන් ඇසුරු නොකළ යුතුය. ඒ අනුව යා යුතු මාවත මෙන්, නුවණ ඇත්තන් ඇසුරු කළ යුතුය. සහසබඳතා පැවැත්විය යුතුයැයි වදාළහ.
කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින්, මංගල කරුණු කීමේදී මුලදීම නුවණ නැත්තවුන් ඇසුරු නොකිරිම හා නුවණැත්තන් ඇසුර ගැන වදාරන ලදද? (යම් කරුණක් නිසි පරිදි වටහාගත නොහැකි) අනුවණයන් ඇසුරින් දෙවියෝද මිනිස්සු ද දක්නා ලද නොදක්නා ලද දේ මංගල යැයි යහපත් යැයි පිළිගත්හ. එයද අයහපත් කරුණකි. එහෙයින් ඔවුනට මෙලොවත්, පරලොවත් දියුණුව නොපවත්නා හෙයින්ද, දෙලොවම දියුණුව උදෙසා යහපත්, කලණ මිතුරු ඇසුර පසසමින්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මුලින්ම, නුවණ නැත්තන් ඇසුරු නොකිරීමද, නුවණැත්තන් ඇසුරද වදාරණ ලදී.