3. හිරි සූත්‍ර වර්ණනාව
හිරිං තරන්තං යනු හිරි සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ උපතට පෙර, සැවැත්නුවර අසූකෙළක් ධනය හා මහත් සම්පත් හිමි එක්තරා බමුණෙක් විය. ඔහුට පියමනාප වූ එක් පුතෙක්ද සිටියේය. බමුණ ඒ කුමරු දෙව් කුමරුකුට මෙන් නොයෙක් සැප සලසමින් මැනවින් හදාවඩා ගනිද්දී, ඒ සම්පත් ඔහුට පවරා නොදීම බමුණාද බැමිණියද මළහ. එවිට ඒ තරුණයාගේ මවුපියන් ඇවෑමෙන් පසු, භාණ්ඩාගාරික ධන සම්පත් ඇති ගබඩා කාමරය විවරකොට, ‘හිමියනි, මේ ඔබගේ මවුපිය සතුදේය, මේ මීමුතුන්ගෙන් පැවරී ඇති දේය, මේ සත්කුල පරපුරෙන් පැවතෙන දේ’ යැයි, සම්පත් පෙන්වාදෙමින් තරුණයාට පැවසීය. තරුණයාද, ‘මෙහි ධන සම්පතම පෙනේ, මේවා රැස්කරනු ලැබුවෝ නොපෙනෙති. සියල්ලෝම මරු වසඟයට ගියහ. එසේ යද්දී මේ කිසිවක් රැගෙන නොගියහ. මෙබඳු සියළු සම්පත් හැරදමා පරලොව යා යුතුය. යහපත්ව ජීවත්වීම හැර, කිසිවක් ගෙනයාමට නොහැකිය, මම මේ ධනය තෑගි ලෙසින් බෙදා දී පරලොව ගෙන යා හැකි, යහපත්ව හැසිරීමෙන් ලබන ‘ධනය’ රැස්කර ගන්නෙම් නම් මැනවැ’යි සිතුවේය. ඔහු දවසින් දවස කහවණු සියදහසක් වැය කරමින් ‘මේ ධනය බොහෝය. මෙතරම් සුළුවෙන් දීමෙන් කුමන පලක්ද? මහා දානයක් දෙන්නෙම්’ නම් මැනවැයි නැවත සිතුවේය. ‘රජතුමනි, මගේ නිවසෙහි මෙපමණ ධනය ඇත, එයින් මහා දානයක් දීමට කැමැත්තෙමි, ඒ බැව් නගරයෙහි දැනුම්දීමක් කරන්නේ නම් යහපතැ’යි ඔහු රජුට සැළකළේය. රජු එසේ කරවීය. ඔහු පැමිණි පැමිණි තැනැත්තන්ට බඳුන් පුරවා සත්දිනක්ම සියළු ධනය බෙදා දුන්නේය. ‘මෙබඳු මහා තෑගි දී, ගිහිගෙයි විසීම නුසුදුසුය. පැවිදිවන්නේ නම් මැනවැ’යි නැවතද සිතුවේය. තම සේවක පිරිසට ඔහු මෙම කරුණ දැන්වීය. ‘ඔව්හු, හිමියනි, ධනය අවසන් වීයැයි නොසිතනු මැනව, අපි ටික කලකින්ම, නොයෙක් ආකාරයෙන් ධනය රැස් කරන්නෙමු’යි කියා, නොයෙක් ලෙසින් පැවිදි නොවන සේ ඉල්ලා සිටියහ. ඔහු ඔවුන්ගේ ඉල්ලීම නොසළකා තවුස් පැවිද්දෙන් පැවිදි වූයේය.
සපුත්තභරියා, උඤ්ජාචාරිකා, සම්පත්තකාලිකා, අනග්ගි පක්කිකා, අස්සමුට්ඨිකා, දන්තලුය්‍යකා, පවත්තඵලිකා, වණ්ටමුත්තිකා යනුවෙන් තවුසන් තාපසා අටවැදෑරුම්ය. සපුත්තභරියා යනු අඹුදරුවන් සමග පැවිදිව, ගොවිතැන, වෙළඳාම් ආදියෙන් ජීවිකාව කරන කෙණියජටිල වැනි තැනැත්තන්ය. නගර දොරටුවෙහි අසපුවක් කරවා, එහි කැත්, බමුණු කුමරුන් ආදීන්ට සිප්සතර උගන්වා, අමුරන් පිළිකෙව් කොට, තල, සහල් ආදී කැප දේවල් පිළිගන්නාහු උඤ්ජාචාරිකා නම් වෙති. ඔවුහු මුලින් කී සපුත්තභරිය තවුසන්ට වඩා උසස් වෙති. සම්පත්තකාලිකා යනු ආහාර වේලාවේදී ලැබෙන අහරින් යැපෙන තවුසන්ය. ඔවුහු උඤ්ජාචාරිකයන්ට වඩා උසස්ය. නොඉදුණු (අමු) වැටුණු ගෙඩි ආදිය ගින්නෙන් පලහා කා යැපෙන්නෝ අනග්ගිපක්කිකා නම් වෙති. ඔවුහු සම්පත්තකාලිකයන්ට වඩා උසස් වෙති. ගලක් (ගල් පතුරක්) අතමිට මොලවාගෙන, වෙනත් වෑයක් හෝ ආයුධයක් ගෙන, හැසිරෙමින්, කුසගිනි දැනුණ විටකදී හමුවන ගහකින් පොතු ලබාගෙන කමින් සමාදන් වූ පෙහෙවස් මෙනෙහිකොට, සිවු බඹ විහරණ වඩන්නෝ අස්සමුට්ඨිකා නම් වෙති. ඔවුහු අනග්ගපක්කියනට වඩා උසස් වෙති. දන්තලුය්‍යකා නමින් හැඳින්වෙන්නේ ගලක් හෝ අතමිට මොලවා නොගෙන, ඇවිදිනවිටදී කුසගිනි වූ විට හමුවන ගසකින් පොතු දත්වලින් උදුරා කා පෙහෙවස් සමාදානය මෙනෙහිකොට බඹවිහරණ වඩන්නන්ය. ඔවුහු අස්සමුට්ඨිකයනට වඩා උසස් වෙති. පවත්තඵලිකා යනු සොබාවිකව හටගත් විලක් හෝ කැලෑවක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහ. ඒ විලෙහි නෙළුඹුදැලි ආදිය හෝ කැලෑවෙහි මල් හටගන්නා කල මල්ද, ගෙඩි හටගන්නා කල ගෙඩිද කති. මල්පල නැතිවිට යටත් පිරිසෙයින් එහි ගස්වල පොතු හෝ කා වසති. ආහාර පිණිස වෙනතකට නොයති. සමාදන් වූ කරුණුද, බඹවිහරණ වැඩීමද කරති. ඔවුහු දන්තලුය්‍යක වූවන්ට වඩා උසස් වෙති. වණ්ටමුත්තිකා නම් නටුවෙන් මිදී බිම වැටුණු වැටුණු කොළ ආදියම කති. අනෙක් කරුණු ඉහත කී පරිදිය. ඔවුහු සියල්ලන්ටම වඩා උසස් වෙති.
‘මේ බමුණු කුලපුතු තවුස් පැවිද්දෙහි උසස්ම පැවිදිවත අනුව පැවිදි වන්නෙමි’යි වණ්ටමුත්තිකව පැවිදි වී, හිමාලයෙහි උස් පව් දෙකතුනක් පසුකොට ගොස් අසපුවක් කරවා වසයි. මේ අතර, (අප ගොතම) බුදුරජාණන් වහන්සේ, ලෝ පහළව, උතුම් දම්සක් පවත්වා, අනුපිළිවෙලින් සැවැත්පුරට පැමිණ අනේපිඬු සිටු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසති. එකල්හි සැවැත්පුර වැසි එක් මිනිසෙක් හිමාල පව්වෙහි සඳුන්හර ආදිය සොයමින්, ඒ අසපුවටද පැමිණ, තවුසාට වැඳ එකත්පස්ව සිටියේය. තවුසා ඔහු දැක ‘කොහි සිට ආවෙහිදැ’යි විචාළේය. ‘හිමියනි, සැවැත්පුර සිට’ යැයි කීය. එහි තොරතුරු කෙසේදැයි තවුසා ඇසීය. ‘එහි මිනිස්සු නොපමාව දානාදී පින්කම් කරති.’ ‘ඒ කවරකුගේ අවවාද අසාද?’ භගවත් බුදුරජාණන් වහන්සේගෙන්’ යැයි මිනිසා කීය. තවුසා බුද්ධ යන වචනයෙන් විස්මිතව පින්වත, ඔබ බුදුරජාණන් වහන්සේ ගැන කියහිදැ’යි අසා, ආමගන්‍ධ සූත්‍ර විස්තරයෙහි කී පරිදි තෙවරක්ම එසේ විචාරා, ‘එබඳු හඬක් වුවද ලොව ඇසීම දුලබ’ යැයි සතුටුව, භාග්‍යවතුන් වහන්සේ හමුවීමට යනු කැමතිව, ‘බුදු කෙනෙකු සමීපයට හිස්අතින් යෑම සුදුසු නොවේ, කුමක් ගෙන යන්නෙම් දැ’යි සිතුවේය. නැවතද මෙසේ සිතීය. ‘බුදුවරු නම් ලාභසත්කාරයට ගරු නොකරති. එහෙයින් මම දහම් පඬුරක් ගෙන යමි’යි ගැටළු සතරක් සැකසීය.