2. ආමගන්ධ සූත්‍ර වර්ණනාව
සමාකචිංගුලචීනකා යනු ආමගන්‍ධ සූත්‍රයයි. එහි නිදාන කතාව කුමක්ද? (අප) භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ නොවූ කල්හි, ආමගන්‍ධ නම් බමුණෙක්, තරුණයන් පන්සියයක් සමග තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාලයට පිවිස උස්බිම් අතරෙහි අසපුවක් කරවා වනමුල්පල ආහාරයට ගනිමින් වාසය කරයි. කිසිවිටකත් මස් මාළු නොකයි. ලුණු ඇඹුල් ආදියද අනුභව නොකරන බැවින්, ඒ තවුසන්ට පාණ්ඩු රෝගය වැළඳුණි. එවිට ඔවුහු ‘ලුණු ඇඹුල් ආදිය ලබාගනු පිණිස මිනිස් වාසයකට යමු’යි (කතිකාකොට) ඈත ගමකට පැමිණියහ. මිනිස්සු ඒ තවුසන් දැක, ආරාධනා කොට වැළඳවූහ. බත්කිස අවසානයෙහි, තවුසන්ට පරිහරණය සඳහා ඇඳ, පුටු, බඳුන්, පාපුටු ආදිය දී, ‘හිමියනි, මෙහි වාසය කරනු මැනව, කලකිරිමට පත් නොවනු මැනවැ’යි වසන තැන්ද සකසා ගියහ. පසුදිනද තවුසන්ට දානය දී, නැවත නිවෙස් පිළිවෙලින් එක් එක් දින දානය දුන්හ. සිවුමසක් එහි වැස, ලුණු ඇඹුල් ආදිය සහිත ආහාර ලැබීමෙන් සිරුරු පැහැපත් වූ තවුසෝ ඇවැත්නි, අපි යමු යි මිනිසුන්ට සැළකළහ. මිනිස්සු තවුසන්ට තෙල්, සහල් ආදිය දුන්හ. ඔවුහු ඒවා රැගෙන තම අසපුවලට ගියහ. එසේම වසරින් වසර ඒ ගමටද පැමිණියහ. මිනිස්සුද තවුසන් පැමිණෙන කාලය දැන, දානය පිණිස, සහල් ආදිය පිළියෙල කොට තබති. තවුසන් පැමිණිවිට එසේ පිළිගන්වති.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, උතුම් දම්සක් පවත්වන ලදුව, අනුපිළිවෙලින් සැවැත්නුවරට ගොස්, එහි වසන සේක්, ඒ තවුසන්ගේ (දහම් අවබෝධයට) හේතුසම්පත් දැක, එතැනින් නික්ම, බික්සඟන පිරිවරා ගම් සැරිසරා, ඒ ගමටද පැමිණියහ. මිනිස්සු උන්වහන්සේ දැක මහදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දහම් දෙසූහ. ඒ දහම් ඇසූ ඇතමෙක් සෝවාන්, සකදාගාමී, අනාගාමී පල ලැබූහ. ඇතමෙක් පැවිදිව රහත්බවට පත්වූහ. භාග්‍යවතුන් වහන්සේ නැවත සැවැත් නුවරට වැඩියහ. පසුව ඒ තාපසවරු එම ගමට ආහ. මිනිස්සු තවුසන් දැක, පෙර පරිදි ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට උනන්දුවක්, වෙසෙසක් නොපෙන්වූහ. ‘ඇවැත්නි, මේ මිනිස්සු දැන් පෙර පරිදි නොවෙති, කිම? ගමට රජු දඬුවම් නියම කිරීමෙන් උවදුරු වීද? නැතිනම් ආහාර ආදිය හිඟවීමනක්ද? නැතිනම්, අපටත් වඩා සීලාදී ගුණයුත් කිසියම් පැවිද්දෙක් මේ ගමට පැමිණියේදැයි තවුසෝ ඇසූහ. ‘හිමියනි, රාජ දඬුවමකින්, ආහාර හිඟයකින් මේ ගමට උවදුරු නැත. බුදුවරයෙක් ලොව උපන්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසමින් මෙහි පැමිණිසේකැ’යි මිනිස්සු කීහ.
ඒ ඇසූ ආමගන්‍ධ තවුසා, ‘ගහපතිවරුනි, බුදුකෙනෙකු ගැන කියවුද?’ ‘හිමියනි, බුදුකෙනෙකු ගැන කියමු’යි තෙවරක්ම කියා, ‘ලෝකයෙහි බුද්ධ යැයි ඇසෙන හඬ දුලබ යැයි’ සතුට පළකොට, ‘ඒ බුදුවරයා ‘ආමගන්‍ධය’ අනුභව කරත්ද, නැද්දැ’යි ඇසීය. ‘හිමියනි, ‘ආමගන්‍ධ’ යනු කුමක්දැයි මිනිස්සු විමසූහ. ‘ගහපතිවරුනි, ආමගන්‍ධ නම් මාළුමස් යැයි කීය. ‘හිමියනි, භාග්‍යවතුන් වහන්සේ මාළුමස් වළඳති’යි මිනිස්සු කීහ. ‘එසේනම් බුදු කෙනෙකු විය නොහැකි’ යැයි තවුසා විපිළිසර විය. එවිටම බුදුවරුන්ගේ පහළවීම නම් දුලබය. විමසා දැනගන්නෙමි’යි නැවත සිතීය. එහිදී භාග්‍යවතුන් වහන්සේ වැඩිය මග ඒ මිනිසුන්ගෙන් විචාරා වසුපැටවාට ආසා වූ එළදෙනක මෙන් වහ වහා එක රැයකින්ම තම පිරිස සමග සැවැත්නුවරට පැමිණ, ජේතවනාරාමයට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේද එවේලෙහි දහම් දෙසනු පිණිස ආසනයෙහි වැඩසිටියහ. තවුසෝ බුදුහිමි වෙත පැමිණ, නොවැඳම, නිහඬව එකත්පස්ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ‘ඉසිවරුනි, ඔබලාගේ සුවදුක් කෙසේද?’ ආදී ලෙසින් ඔවුන් හා පිළිසඳර කතා කළහ. ඔවුහුද ‘පින්වත් ගොතම, සුවෙන් සිටිමු’යි කීහ. එහිදී ආමගන්‍ධ නම් බමුණා (තවුසා) ‘පින්වත් ගොතම, ආමගන්‍ධය අනුභව කරහිද? නොකරහිදැ’යි විචාළේය. ‘බමුණ, ඒ ආමගන්‍ධය නම් කුමක්ද? (බුදුහු ඇසූහ.) ‘පින්වත් ගොතම, මස් මාළු’ යැයි පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, ‘බමුණ, ආමගන්‍ධ යනු මාළු, මස් නොවේ. එහෙත් ආමගන්‍ධ යනු සියළුම පාපී, අයහපත් කෙලෙස්’ යැයි පවසා ‘බමුණ, ආමගන්‍ධය ගැන විමසුවේ ඔබ පමණක්ම නොවේ. අතීතයේද තිස්ස නම් බමුණා කසුප් බුදුරදුන්ගෙන් මෙලෙසම විමසන ලදින්, ඒ කසුප් බුදුරදුන් මෙසේ පැහැදිලි කරන ලදැයි සාමාකචිංගුලකචීන්තානි යන ගාථාව ගෙනහැර දැක්වූහ. මෙය මෙම සූත්‍රයෙහි නිදාන කථාවයි.
අතීත කථාව නම්, අසංඛෙය්‍ය අටකුත් කප් සුවහසක් පෙරුම් පිරූ කසුප් බෝසත්තුමා බඹදත් නම් බමුණාගේ, ධනවතී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. අගසව් බවට පත්වන තැනැත්තාද, එදිනම දෙව්ලොවෙන් චුතව, දෙවන පුරෝහිත බමුණාගේ, බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. මෙසේ ඔවුන් එක දවසෙහිම කුස පිළිසිඳ ගැනීමද - බිහිවීමද සිදුවිය. එකම දිනයෙහිම, ඔවුන්ගෙන් එක් දරුවෙකුට කස්සප යැයි ද, අනෙක් දරුවාට තිස්ස යයිද නම් කළහ. ඔවුහු පස් තවරාගෙන කෙළිදෙලින් පසුවන කාලයේ පටන්ම (වැලි කෙළියේ පටන්) එකිනෙකා මිතුරුව කෙමෙන් වැඩුණහ. ‘දරුව, මේ කස්සප ගිහිගෙයින් නික්ම, පැවිදිව බුදුබව ලබන්නේය. ඔබද එතුමන් ළඟ පැවිදිව සසර දුක කෙළවර කරව’යි තිස්සගේ පියා පුතුට අණකළේය. ඔහු යහපතැ’යි පිළිවදන් දී, බෝසතුන් ළඟට ගොස්, මිතුර, අපි දෙදෙනාම පැවිදි වන්නෙමුදැ’යි කීහ. බෝසත් කසුප් ‘යහපතැ’යි පිළිවදන් දුන්නේය. වැඩිවියට පත් කල්හිද තිස්ස බෝසතුන් ළඟට පැමිණ, ‘එන්න මිතුර, පැවිදි වන්නෙමු’යි කීය. බෝසත් ගිහිගෙයින් නික්මුණේ නැත. තිස්ස, ‘තවමත් තම මිතුරාගේ නුවණ මෝරා නැතැ’යි සිතා, ගිහිගෙයින් නික්ම, තවුස් පැවිද්දෙන් පැවිදිව, කැලයෙහි පව්වක පාමුල අසපුවක් සකස්කොට, වසයි. බෝසත්ද නිවසෙහිදීම ආනාපානසතිය වඩා, දැහැන් සතර හා වෙසෙස් නුවණ (අභිඤ්ඤා) උපදවා, පහයෙන්ම බෝමැඩ කරා ගොස්, ‘පහය පිහිටි තැනම නැවත තිබේවා’යි අදිටන් කළේය. එය පෙර තිබූ තන්හිම පිහිටියේය. පැවිදි බව නොලබා බෝමැඩට පැමිණීමට නොහැකිය. කසුප් පැවිදිව බෝමැඩට පැමිණ, හිඳ සත්දිනක් උත්සාහ වඩා සත්වන දින සම්මා සම්බුදුබව අවබෝධ කළහ.