9. හේමවත සූත්‍ර වර්ණනාව
අජ්ජ පණ්ණරසො යනු හේමවත සුත්‍රයයි. එම සූත්‍රයට හේතු වූ කරුණු කෙසේද? විමසීමකට කරුණු පහදා දීමකි. හේමවත විසින් විමසන ලද, විමසන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ ඡස්සු ලොකො සමුප්පන්නො යැයි වදාළහ. එහි අජ්ජ පණ්ණරසො ආදිය සාතාගිර විසින් කියන ලදී. ඉති සාතාගිරො සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලා විසින් පවසා ඇත. කච්චි මනො ආදිය හේමවත විසින් කියන ලදී. ඡස්සු ලොකෙ භාග්‍යවතුන් වහන්සේ විසිනි. ඒ සියළු ගාථා එක්කොට හේමවත සුත්ත යැයි කියනු ලැබේ. ඇතැමෙක් සාතාගිර සුත්ත යැයි ද කියති.
එහි අජ්ජපණ්ණරසො යැයි ගාථාව මේ සූත්‍රයට මුල් විය. මේ යහපත් කපෙහිම අවුරුදු විසිදහසක් ආයු ඇති මිනිසුන් අතර ඉපිද, අවුරුදු දහසය දහසක් වැඩසිට පිරිනිවන් පා වදාළ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසන් කටයුතු මහත් පුදසත්කාර සහිතව පැවැත්වූහ. උන්වහන්සේගේ ධාතු නොවිසිරි, රන් කඳක් මෙන් ඝනව පිහිටියේය. එය දිගුකලක් ජීවත් වූ බුදුවරුන්ට ආවේණික කරුණකි. අඩු ආයු කාලයක් ඇති බුදුවරු බොහෝ ජනයාට දැකීමට නොලැබ, පිරිනිවන් පාති. එබැවින් ධාතු පූජා පවත්වා ඒ ඒ මිනිසුන්ට පින් රැස් කරගැනීමට හැකිවෙතියි අනුකම්පාවෙන් ධාතු විසිරි යන පරිදි ඒ බුදුවරු අදිටන් කරති. ඒ අදිටන අනුව උන්වහන්සේලාගේ ධාතු රන් කුඩු මෙන් විසිරෙති. අපගේ (ගොතම) භාග්‍යවතුන් වහන්සේගේ ධාතු මෙනි.
මිනිස්සු කසුප් බුදුරදුන්ගේ ධාතු තැන්පත් කිරීමට එකම දාගෙයක් (ධාතුඝරං) කොට, යොදුනක් උස, යොදුනක වටරවුමක් ඇති සෑයක්ද පිහිටවූහ. එහි එක් එක් ගවුවක දුරින් දොරටු සතරකි. එක් දොරටුවක් කිකී රජුට වෙන් විය. ඔහුගේ පුත් පඨවින්‍ධරට එක් දොරටුවක්ද තවත් දොරටුවක් සෙන්පති හා මැති ඇමතිවරුන්ට වෙන්විය. අනෙක් දොරටුව සිටුවරුන් හා ජනපදවාසීන් වෙනුවෙනි. රත්පැහැ රනින් කරන ලද (මෙන්ම) එකට කැටිවූ රන් පිඬුවන්, කාන්තියෙන් බබළන, නා නා මැණික්වලින් සකසන ලද ගඩොල්, එක එකක් සියදහසක අගයක් වූ අතර, ඒවා හිරියල් රත්සිරියල් මැටියෙන් සුවඳ තෙලින් දියකිස කොට දාගැබ තැනවූහ.
මෙසේ දාගැබ පිහිටුවනු ලැබූ කල්හි, යහළු කුල පුතුන් දෙදෙනෙක් ගෙයින් නික්ම (යද්දී) හමුවූ සාවක තෙරුන් වහන්සේලා වෙත පැවිදි වූහ. දිගුකලක් වැඩවසන බුදුවරුන්ගේ එසේ හමුවීමට ලැබෙන සාවකයන් වහන්සේලා ලවා පැවිද්ද ලබති. උපසම්පදා ලබති. නිස හෙවත් අවවාද හා උපකාරද ලබති. අඩු ආයු ඇති බුදුවරුන්ගෙන් එලෙස සිදු නොවේ. මෙහිදී ද ඒ කුලපුත්තු ‘සසුනෙහි ධුර මොනවාදැයි විමසූහ. තෙරුන් වහන්සේලා ‘වාසධූර, පරියත්ති ධූර යනුවෙන් දෙකක් ඇතැයි කීහ. පැවිදි වූ කුලපුතකු විසින් ගුරු හිමියන් සහ අවවාද අනුසාසනා කරන හිමියන් සමීපයෙහි පස් වසරක් වාසය කරමින් වත්පිළිවෙත් සපුරා පාමොක්ද, බණවර දෙකක් හෝ තුනක සූත්‍ර මැනවින් දැන, කමටහන් ඉගෙන, කුල (නැදැයන් හෝ) (තමා හා වෙසෙන අනෙක්) පිරිස ගැන හෝ නොඇලී, වනයට පිවිස අරහත් බව අවබෝධ කරනු පිණිස උත්සාහ කළ යුතුය. වෑයම් කළ යුතුය. මෙය වාස ධූරය නම් වේ. තමාට හැකි පරිදි (දීඝ ආදී) එක් නිකායක් හෝ මනාව පුහුණු වී, නිකාය දෙකක් හෝ පහක්ම හෝ ඉතා පැහැදිලිව අරුත් වටහා ගනිමින් ඉගෙන සසුනෙහි කටයුතුවල යෙදීම පරියත්ති ධූරයයි. එවිට ඒ කුලපුත් හිමිවරු, එම ධුර දෙකින් වාස ධුරයම උසස්යැයි කියා, ‘අපි තවම තරුණ වෙමු, වියපත් වූ කල වාස ධුරය මනාව පිළිපදින්නෙමු. එතෙක් පරියත්තිධුරය පුරමු’ යැයි ඒ අනුව සසුනෙහි උත්සාහවත් වූහ. ඒ හිමිවරු සහජයෙන්ම නුවණැත්තෝය. නොබෝ කලකින්ම, මුළු බුදුවදනම මනාව දැන, විනයද මැනවින් ඉගෙන, විනය කරුණු තීරණයෙහිද සමත් වූහ. උන්වහන්සේලාගේ දහමෙහි පිරිපුන් දැනුම නිසා, පිරිවරද ඇතිවිය. පිරිවර නිසා සිවුපසයද පහසුවෙන් ලැබුණි. එක් හිමිනමකට පන්සියක් පිරිවර මහණහු වූහ. උන්වහන්සේලා බුදු සසුන බබළවමින් වැඩ සිටියහ. යළිත් බුදුවරයකු ජීවමාන කාලයක් මෙන් විය.
එකල දහමට ගරුකරන පැවිද්දෙක් හා අදැහැමි පැවිද්දෙක්ද ගමෙහි ආවාසයක වසති. අදැහැමි මහණ නපුරු, රළුවචන කියන, දොඩමළු සුළු වූවෙකි. ඒ මහණුගේ හැසිරීම අනෙක් මහණ හට දැනගැනීමට ලැබිණ. එහිදී ‘ඔබේ මේ කටයුතු සසුනට සුදුසු නොවේ’ යැයි චෝදනා කළේය. ඒ මහණ, කුමක්ද? ඔබ දුටුවෙහිද? කුමක් ඇසුවෙහිදැ’යි අවුලට පත් විය. ‘විනයධර හිමිවරු එය දැනගන්නාහ’යි දැහැමි මහණ කීය. එවිට අදැහැමි මහණ, ‘මේ කරුණ විනයධර හිමිවරුන් තීරණය කරන්නාහු නම්, නිසැකවම මට සසුනෙහි විසුමක් නොවන්නේ’ යැයි දැන තම අදහස ඉවත් කර ගැනීමට නොකැමතිව, එකෙණෙහිම පිරිකර ගෙන, ඒ විනයධර හිමිවරුන් දෙනම වෙත පැමිණ පිරිකර දී උන්වහන්සේලා ඇසුරෙහි වාසය කිරීමට පටන් ගත්තේය. ඒ හිමිවරුන් දෙදෙනාටම සියළු උවටැන් කරමින්, මනාව වත්පිළිවෙත් සපුරනු කැමති සේ කටයුතු කළේය. එක් දවසක් උවටැන් පිණිස ගොස් වැඳ, උන්වහන්සේලා විසින් (එතැනින්) ඉවත්ව යාමට අවසර දෙනු ලැබුවත්, නැවතී සිටියේය. විනයධර හිමිවරු, කිවයුතු කිසියම් දෙයක් ඇත්දැයි විමසූහ. ‘හිමියනි, සිකපද වැරදි හැසිරිමක් නිසා, එක් මහණක සමග විවාදයක් ඇත, ඒ මහණ එම කරුණ ඔබවහන්සේලා වෙත සැළ කළහොත්, එය නියමිත අයුරින් තීරණය නොකළ යුතුයැයි කීය. විනයධර හිමිවරු කරුණු දැනගත්විට, නිවැරදි අයුරින් තීරණය කරනු මිස, වැරදි ලෙස තීරණය කිරීම නුසුදුසු බව කීහ. එවිට ඒ මහණ, ‘හිමියනි, එසේ කරනු ලැබුවහොත්, සස්නෙහි මට පැවැත්මක් නැත, එහි පාපය මටම වේවා! ඔබවහන්සේ, මා ගැන එසේ තීරණය නොකරනු මැනවැ’යි පැවසීය. විනයධර හිමිවරු දෙනම, ඒ මහණගේ ඇවිටිල්ල නිසා (ඉල්ලීම) පිළිගත්හ. මෙසේ උන්වහන්සේලා පොරොන්දු කරවාගෙන, නැවත ඒ ආවාසයට ගොස්, ‘සියළු විනයධර හිමිවරුන් හමුව එය අවසාන වී’ යැයි කියා, ඒ ධම්මවාදී මහණට පෙරටත් වඩා අවමන් කරමින්, නපුරු වචනයෙන් අවමන් කරයි. ධම්මවාදී වූ මහණ, ‘සැකයක් මේ ගැන ඇතිවී’ යැයි එකෙණෙහිම නික්ම, (විනයධර) තෙරුන් වහන්සේලාගේ පිරිවර වූ පන්සියක් මහණුන් වෙත පැමිණ, ‘ඇවැත්නි, කිසියම් කරුණක් ඇතිවූ විට එය දහමට අනුකූල අයුරින් තීරණය කළයුතු නොවේද? නැවත සිහි නොකරවා හෝ එකිනෙකා අතර ඇවැත් දේසනා කරවා හෝ සමගි කළයුතුය. මේ තෙරුන් වහන්සේලා කරුණ ගැන තීරණය නොකළාහ. සමගි නොකළාහ. මෙහි තේරුම කුමක්දැ’යි පැවසීය. ඒ හිමිවරු නිහඬව සිටියහ. ‘මෙය කිසියම් ගුරු හිමිවරුන් හෝ දැනසිටිය යුතු නොවේද? (එසේ සිදු නොවූ බැවින් අධම්මවාදී මහණ ඒ අවසරයෙන් ‘ඔබ, කලින්ම විනයධර හිමිවරුන් ගැන දැන සිටිති’යි (මට) කියහි. එසේනම් දැන් ඒ විනයධර හිමිවරුන්ට ඒ කරුණ සැළකරව’යි ධම්මවාදී හිමි එසේ අසහනයට පත් කරමින්, ‘අද පටන් ඔබ පැරදුණෙහි’ය, ආවාසයට නොපැමිණෙව’යි ඉවත්ව ගියේය. එවිට ධම්මවාදී මහණ තෙරුන් වහන්සේලා වෙත පැමිණ, ‘ඔබවහන්සේලා සසුනෙහි (පැවැත්ම) නොබලා, අපගෙන් උවටැන් ලැබුවෙහු (එයින්) සතුටු වූවහු, එක් තැනැත්තෙක් ගැනම බලාපොරොත්තු වූවෙහු, සසුන නොරැක පුද්ගලයෙකු රකිවුද? අද මෙතැන් පටන් ඔබවහන්සේලාගේ තීරණය නොවටනේය. කසුප් බගවත් හිමි අද පිරිනිවන්පෑහ’යි මහ හඬින් හඬා, ‘බුදුසසුන නැසුනේ’ යැයි වැළපෙමින් ගියේය.