1. උරග වර්ගය
1. උරග සූත්‍ර වර්ණනාව
මෙසේ එක්තැන් කරන ලද මෙහි උරග, චූල, මහා, අට්ඨක, පාරායණ යයි වග්ග හෙවත් කොටස් පහකි. එහි උරග වග්ගයෙහි සූත්‍ර දොළහකි. චූලවග්ගයෙහි දහ හතරකි. මහා වග්ගයෙහි දොළහකි. අට්ඨක වග්ගයෙහි දහසයෙකි. පාරායණ වග්ගයෙහි දහසයකැයි මුළු සූත්‍ර හැත්තෑවකි. උරග සූත්‍රයෙහි පටන් උගත යුතු බණවර අටකි.
“සපුන්ගේ විස බෙහෙත්වලින් නසන්නා සේ, පැවිදි වූ යම් තැනැත්තෙක් හටගත් තරහ දුරු කරත් ද, දිරාගිය පරණ හැවය ඉවතලන උරගයකු මෙන් (සසර සයුරෙන්) එතර යයි.”
මේ ආදී ගාථා ඇතුලත් සූත්‍රවල අරුත් විස්තර මෙතැන් සිට මෙසේ පැහැදිලි කරනු ලැබේ.
මෙම ගාථා, යම් කෙනෙකු විසින් යම් තැනකදී, යම් හේතුවක් නිසා කියන ලද ද, ඒ ආකාරයෙන් කරුණු සඳහන් කොට අරුත් පිළිබඳව විස්තර කරන්නෙමි.
කවරෙකු විසින් මෙම ගාථා කියන ලද්දේ ද? කොතැනදී කවදා, කුමක් නිසා කියන ලද ද? (ඊට අදාල කරුණු) මෙසේ කියනු ලැබේ. ඒ (ගොතම) බුදුරජාණන් වහන්සේ, (බෝසත් කල) බුදුවරුන් විසිහතර නමකගෙන් (අනාගතයේදී) බුදු බව ලබන බවට විවරණ ලැබ, වෙස්සන්තර ජාතකයෙහි දැක්වෙන පරිදි, එතෙක් පාරමිතා පුරා තුසිත දෙව්ලොව ඉපදුණාහ. එයින් ද චුතව, සැකි රජ කුලයෙහි උපත ලැබ, අනුපිළිවෙළින් ගිහිගෙයින් නික්ම, බෝරුක් මුල්හි සම්බුදු බව අවබෝධ කොට, දම්සක් පවත්වා දෙව් මිනිසුනට හිතසුව පිණිස දහම් දෙසූ සේක. ඒ බුදුරදුන් විසින් ගුරුවරයෙකු නොමැතිව තම නුවණින්ම දැන පවසන ලදී. අලව් නුවර දී, (ගස්වැල් තණ ආදියට අදාල වූ) භූතගාම නම් වූ සික පදය පනවන විට එහි පැමිණ සිටි පිරිසට දහම් දෙසනු පිණිස පවසන ලදැයි කෙටියෙන් සඳහන් කළ හැකිය. විස්තර කරන විට (ඊට මුල් වූ) අතීත, ආසන්න හා ඉතා සමීප හේතු ලෙස තුන් ආකාරව දත යුතුය. එහි අතීත හේතුව නම්, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් වත්මන් කතාව දක්වාය. ආසන්න හේතුව නම් තුසිත දෙව්ලොව සිට වත්මන් කතාව දක්වාය. බෝමැඩ සිට වත්මන් කතාව දැක්වෙන කොටස සමීප හේතුවයි.
මේ අයුරින් අතීත, ආසන්න හා සමීප හේතු සම්බන්ධය අතීත හේතු පිළිබඳ විස්තර අනුව දතයුතුය. එය ජාතක අටුවාවෙහි කියන ලද බැවින්, මෙහි විස්තර නොකරන ලදී. එබැවින් එම කරුණු එහි විස්තර අනුව දත යුතුය. එහෙත් මෙහි දී අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණු ඇත. එහි මුල් ගාථාව සම්බන්ධ වන්නේ සැවැත් නුවර මුල් වූ කතාවට වුවත්, මෙහි දැක්වෙන්නේ අලව් නුවර මුල්කොටගෙනය.
‘එසමයෙහි භගවත් සම්බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව චෙතිය නම් තන්හි වැඩ වසති. එකල එහි වැඩ වසන හිමිවරු නව (පිළිසකර ආදී) කටයුතු කරද්දී ගස් කපති. (වෙනත් තැනැත්තන් ලවා) කප්පවති. ආලවක නුවර වැසි එක්තරා හිමිනමක් ගසක් කපයි. ඒ ගසෙහි වසන දේවතාවා, ‘හිමියනි, තමන්ට නිවසක් සාදනු කැමතිව, මගේ නිවස නොකඩනු මැනව’යි (අයැදීය) ඒ හිමි එය නොඅසා ගස කැපුවේය. ඒ දේවතාවාගේ දරුවාට ද අතින් පහර දුනි. ‘මෙතැනදීම ඒ හිමිගේ ජීවිතය තොර කරන්නෙමි’යි ඒ දේවතාවාට සිතුණි. (නැවත) ඒ හිමිගේ ජීවිතය මෙහිදීම මම තොර කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙම කරුණ දන්වන්නෙම් නම් මැනවැ’යි දේවතාවාට සිතුණි. දේවතාවා භාග්‍යවතුන් වහන්සේට එය සැළ කළේය. ‘දේවතාවෙනි, ඔබ ඒ හිමිගේ ජීවිතය තොර නොකිරිම ඉතා යහපත්ය. එසේ තොර කරන ලද නම්, ඔබ බොහෝ පව් රැස් කරගන්නෙහිය. දේවතාවනි, අසවල් තැන හිරිහැරයෙන් තොරව විසිය හැකි ගසක් ඇත. එතැනට යව’යි වදාළහ.
එසේ පැවසූ භාග්‍යවතුන් වහන්සේ, දේවතාවාගේ තරහ දුරුකරනු පිණිස -
‘යම් කෙනෙකු තරහ සිතුවිලි ඇතිකර ගන්නේ නම්, එය පාලනය නොකරන ලද රියක් මෙන්’
යැයි අදහස් ඇති මේ ගාථාව දේශනා කළහ. ‘කෙසේ නම් සැකි කුල පැවිදි හිමිවරුන් ගස් කපන්නාහුද, කප්පවන්නාහු වෙත්ද? එක් ඉන්‍ද්‍රියක් ඇති ජීවයකට පීඩා කරතියි, මිනිසුන්ගේ දොස් කීම අසා, භාග්‍යවතුන් වහන්සේට හිමිවරුන් විසින් සැළකළවිටදී ‘පැළෑටි සිඳහෙලීම පාචිත්තියකැයි මෙම සිකපද පනවා එහි රැස් වූ පිරිසට දහම් දෙසන සේක්, -
යම් තැනැත්තකු, තරහ හටගත් විට, එය බෙහෙතින් සපුන්ගේ විස හරින්නා සේ දුරු කරන්නේ
යැයි මෙම ගාථාව වදාළහ. මෙසේ එකම කතාව විනයෙහි, ධම්මපදයෙහි සහ සුත්ත නිපාතයෙහි යන තුන් තැනක ඇත. මෙපමණකින් ඒ මාතිකාව දක්වන ලදී.