10. ආළවක සූත්ර වර්ණනාව
එවං මෙ සුතං ආලවක සූත්රයයි. එම සූත්රයට හේතු වූ කරුණ කුමක්ද? අරුත් විවරණය කරමින්ම, ඊට මූලික වූ නිදාන කතාවද දැක්වෙයි. අරුත් විවරණයෙහිදී එවමෙම සුතං එකං සමයං භගවා එය සඳහන් කොට ඇත. ආලවියං විහරති ආලවකස්ස යක්ඛස්ස භවනෙ මෙහි ආලවිය නම් කුමක්ද? භාග්යවතුන් වහන්සේ කුමන කරුණක් නිසා ඒ යකුගේ මැදුරෙහි වැඩසිටි සේක්ද? මේ පිළිබඳව සඳහන් කළ යුතුයි. ආලවී යැයි ඒ රටටද, නගරයටද කියනු ලැබේ. මෙහිදී රටත්, නගරයත් යන දෙකම සැළකිය හැකිය. අලව් නගරය ආසන්නව වැඩ සිටියද, ‘අලව් නුවර වැඩවසති’යි කියනු ලැබේ. ඒ නගරය ආසන්නව ගවුවක පමණ දුරින් ඒ මැදුර පිහිටියේය. අලව් රටෙහි වැඩසිටියද, ආලවියෙහි වැඩවසතියි කියනු ලබන්නේ අලව් යකුගේ මැදුරද එහි පිහිටි බැවිනි.
අලව් රජු, නොයෙක් කෙළි නළු වින්දන ඉවතලා, සොර බිය වළකා ගැනීමටත්, සතුරු රජවරුන්ගෙන් වන කරදරවලින් බේරීමටත්, දින සතකට වරක් මුව කෙළියට යද්දී, ‘යම් කෙනෙකු අසළින් මුවකු පලාගියහොත්, ඌ අල්වා ගැනීම ඔහුට භාර යැයි’ එක් දවසක් බලසෙන් හා කතිකාවක් කළේය. එක්වරෙක රජු අසළින් මුවකු ඉවතට දිව්වේය. වේගයෙන් දිවීමට හැකි රජු, දුනු හී ගෙන, ඒ මුවා තුන් යොදුනක්ම ලුහුබැඳ ගියේය. ‘එණි’ මුවෝ තුන් යොදුනක වේගයෙන් දුවති. (ඒ දුර දිවගිය) මුවා දිවීම අවසන් කොට දියට බැස සිටිනු දුටු රජු, (තමාට) මස් අවැසි නැතත්, ‘මුවා අල්ලා ගැනීමට නොහැකි වීය’ යන අපවාදයෙන් මිදීමට, ඌට වද දී, දෙකට කොට, කදක් බැඳගෙන එද්දී, නගරයට නුදුරු, අතුපතර විහිදි බොහෝ කොළ සහිත මහ නුග රුකක් දැක, වෙහෙස දුරු කිරීමට එහි සෙවනට ආවේය. ඒ නුග රුකෙහි ආලවක යකු (ඔහුගේ) මහ රජුගෙන් වරයක් ලැබ, මැදියම් කල එහි සෙවනැති තැනකට පිවිසි මිනිසුන් මරා කමින් වාසය කරයි. අලව් යකු රජු දැක, කෑමේ අදහසින් එතැනට ආවේය. ‘මා නිදහස් කරන්න, මම ඔබට දිනපතාම මිනිසෙකුද, බත් තලියක්ද එවන්නෙමි’යි රජු යකු හා කතිකා කළේය. අලව් යකාද, ‘රජෙකු ලෙස ඔබට ඇති කටයුතු අනුව එය පමා වී අමතක විය හැකියි. මම, මගේ වසන තැනට නොපැමිණීමෙන්ම අනුමැතිය නොලද මිනිසුන් මරා කෑමට නොලබමි. මම ඔබතුමන් නිදහස් කරන්නෙම් නම්, (අද) මා ජීවත්වන්නේ කෙසේද? (එහෙයින්) නිදහස් නොකරන’ බව කීය. ‘මිනිසකු නොඑවූ දිනක් වේනම් එදින මා අල්ලාගෙන කව’යි තමාම අනුමැතිය දී යකුගෙන් මිදී නගරයට දෙසට ගියේය.
මග කඳවුරු ලා සිටි බලසෙනග රජු දැක, ‘කුමක්ද? අපවාදයට බය වී මෙතරම් වෙහෙස වූයෙහි’දැයි කියමින් පෙරගමන් කොට රජු පිළිගත්තේය. රජු ඒ තොරතුරු නොපවසා, නගරයට ගොස්, උදේ ආහාර ගෙන, නගරයෙහි රැකවල්කරුට එය සැළකළේය. ‘දේවයනි කාලවේලාවක් නියමකොට කීවෙහිදැ’යි ඔහු ඇසීය. ‘දරුව, එසේ නොකළෙමි.’ ‘දේවයන් වහන්ස, නොමනා දෙයක් කර ඇත. නොමිනිසුන් වෙන් කරන ලද දෙයම ලබති. එසේ වෙන්කොට දී නැති බැවින් ජනපදයට හිරිහැර වන්නේය. කම් නැත දේවයන් වහන්ස’ (යකු) එසේ කළද, ඒ ගැන කලබල නොවී ඔබතුමන් රජසුව විඳිනු මැනව. මම එයට කළයුතු දේ කරමි’යි කීය. ඔහු උදැසනම සිරගෙට ගොස්, (නිදහසේ) ජීවත්වීමට කැමති කෙනෙකු වෙත්නම්, පිටව යේවා’යි වරදකරුවන්ට කියයි. එවිට, පළමුව නික්මෙන තැනැත්තා තම ගෙදරට කැඳවාගෙන ගොස්, නාවා, අනුභව කරවා, ‘මේ බත් තලිය යකුට දෙව’යි ඔහු පිටත්කර යවයි. ඔහු නුගරුක වෙත පැමිණිවිටම යකු අල කැබැල්ලක් සේ කයි. යකුගේ බලයෙන්, හිසකෙස්වල පටන් මුළු මිනිස් සිරුරම වෙඬරු පිඬක් මෙන් වෙයි. යකුට බත් ගෙනගිය මිනිස්සු ඒ දැක බියව ඒ බව යහළුවකුට සැළකළහ. ‘එතැන් පටන් රජු, සොරුන් ගෙන ගොස් යකුට දෙති’යි මිනිස්සුද සොරකමින් වැළකුණහ. මේ නිසා ටික කලකින් (අළුත) සොරකම් කරන්නන් නොමැති වීමෙන්ද කලින් සිටි සොරුන් නොමැති වීමෙන් සිරගෙවල්ද හිස්විය.