11. විජය සූත්‍ර වර්ණනාව
චරං වා යදි වා තිට්ඨං යනු විජය සූත්‍රයයි. කායවිච්ඡන්දනික සූත්‍රය යයිද කියනු ලැබේ. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? මෙම දේශනය දෙතැනකදී පවත්වන ලද බැවින් නිදාන කතා දෙකකි.
භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් කිඹුල්වත් පුරයට පැමිණ, සැකි කුලවතුන් හික්මවා නන්ද කුමරු ආදීන් පැවිදිකොට, (ඒ වනවිට) කාන්තාවනටද පැවිදිවීමට අනුදත් බැවින් ආනන්ද හිමින්ගේ සොහොයුරිය වූ නන්දා ද, සැකිකුල ඛෙමක රජුගේ දියණිය වූ අභිරූප නන්දා ද, ජනපදකල්‍යාණිය වූ නන්දා ද (නන්දා නමින්ම තිදෙනෙක්) පැවිදි වූහ. මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසති. අභිරූප නන්දා රුවින් අගපත්ව, දැකුම්කළු, පහදනසුළු වූවා, ඒ නමින්ම හඳුන්වන ලදී. ජනපදකලණිය වූ නන්දා ද තමා හා රුවින් සම වූ අන් තැනැත්තියක් නොදන්නේය. ‘භාග්‍යවතුන් වහන්සේ රූපය වැණුම් නොකරති. නින්දා කරති. නොයෙක් ලෙසින් රූපයෙහි දොස්ම දක්වති’යි මේ දෙදෙනාම උන්වහන්සේට උවටැන් කිරීමට නොයති. දැකීමටවත් නොකැමති වෙති. මෙසේ නොපැහැදී කුමක් නිසා පැවිදි වූවෝද? වැරදි අදහසිනි. අභිරූප නන්දා විවාහ ගිවිස ගැනීමට යෙදුනු දවසෙහිම (තමාට) හිමි සැකි කුල කුමරා මිය ගියේය. එවිට ඇගේ මවුපියෝ ඇය නොකැමති වුවත් පැවිදි කළහ. ජනපදකලණ නන්දා ද, ගරුකටයුතු නන්ද තෙරුන් අරහත් බවට පත් වූ කල, (ගිහි දිවියෙහි) ආසා නැතිව, ‘මගේ හිමියන් ද මව මහා පජාපතිද. අනෙක් නෑදෑයන්ද පැවිදිව ඇත. නෑදෑයන් නොමැතිව, ගෙදර වාසය කිරීම දුකකි. ගිහි දිවියෙහි අස්වැසුමක් නොලැබ, සැදැහැයෙන් තොරව පැවිදි වූවාය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, දහම් අවබෝධයට ඒ මෙහෙණින්ගේ නුවණ පිරිපුන් බව දැන, ‘සියළුම මෙහෙණින් පිළිවෙලින් අවවාද ලබාදීමට එවන ලෙස මහා පජාපති තෙරණියට අණ කළහ. ඒ මෙහෙණියෝ අවවාද ලබාගැනීමට තම වාරය පැමිණි විට වෙනත් මෙහෙණක යවන්නාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘වාරය පැමිණි විට අදාල මෙහෙණියම පැමිණිය යුතු බවත්, වෙනත් මෙහෙණියක නොඑවිය යුතු බවත් කීහ. එක් දිනක් අභිරූප නන්දා මෙහෙණිය අවවාද ලබාගැනීමට ගියාය. භාග්‍යවතුන් වහන්සේ (ඉඳු බලෙන් පෙන්වූ) රුවකින් සංවේගයට හා (අවබෝධයට උත්සාහවත් කොට) ‘ඇටවලින් කරන ලද නගරයක් බඳු’....... මෙම ධම්මපද ගාථාවෙන් ද
‘ගිලන් බවට පත්වන, නොයෙක් රෝග වැළඳෙන, ඉතා පිළිකුල් සහගත, කුණුවන, (ලේ, සැරව, මල මූ) කාන්දුවන, ගලන, අනුවණයන් සතුටුවනු ලබන මේ සිරුර දෙස නන්දාවනි බලන්න.’
රූමත් යැයි ඇතිකර ගන්නා මානය - උඩඟුකම අත්හැර, මෙහි කිසිවක් සදාකාලික හෝ නිති පැවැත්මක් නැති බව, අනිසි ලෙස නුවණින් මෙනෙහි කරන්න. එවිට මානය නැතිකිරිමෙන් සන්සුන්ව හැසිරෙන්න.’
යන මෙම ථෙරී ගාථාවලින්ද අනුපිළිවෙලින් අරහත් පලෙහි පිහිටියාය. එක්දිනක් සැවැත්නුවර වාසීහු පෙරබත් කාලයෙහි දානය දී, පෙහෙවස් සමාදන්ව, මනාව හැඳ පොරවාගෙන, සුවඳ මල්ගෙන, දහම් ඇසීමට ජේතවන විහාරයට ගොස්, දහම් දෙසුමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වැඳ නගරයට පිවිසෙති. මෙහෙණින් වහන්සේලාද දහම් කතා අසා අසපුවට යති. ඒ අතර මෙහෙණිහුද මිනිස්සුද භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියති. සිවුලෝ ධාතුවෙහි අපමණ වූ වසන්නන් අතර, සම්මා සම්බුදුරදුන් දැක නොපැහැදුණු කෙනෙක් නැත්තාහ. රූපයම මුල්කොට ගෙන බොහෝසයින් සිතන පුද්ගලයෝ පුරිස් ලකුණින් හා අනුසලකුණුවලින් විසිතුරු වූ, කේතුමාලාවෙන් හා බඹයක් පමණ විහිදෙන. බැබළෙන රැස්වලල්ලකින් අලංකාරවත් වූ ලොවට වැඩදායී වූ බුදුරජාණන් වහන්සේගේ රුව දැක පහදිති. කටහඬ ගැන අගයකොට සිතන්නෝ අපමණ ජාතක කතාවල අංග අටකින් යුතු කුරවිකෙවිල්ලන්ගේ බඳු මිහිරි හඬින් යුතු කටහඬ අසා පහදිති. රළු දිවිමග අගය කරන්නෝ රළු බවින් යුතු පාසිවුරු ආදියත්, අපහසුකාරී (පැවිදි) දිවිපෙවෙතත් දැක පහදිති. යහගුණ දම් අගයන්නෝ සීලාදී කිසියම් ගුණ සමුදායක් මෙනෙහිකොට පහදිති. එහෙයින් හැමතැනකම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියති. ජනපදකලණ නන්දා මෙහෙණියද අසපුවට පැමිණ, නොයෙක් අයුරින් කියන බුදුගුණ අසා බුදුරදුන් වෙත යනු කැමතිව, මෙහෙණින්ට සැළ කළාය. මෙහෙණියෝ නන්දා මෙහෙණිය සමග බුදුහිමියන් වෙත පැමිණියාහ.
භාග්‍යවතුන් වහන්සේද මුලදීම නන්දා මෙහෙණියගේ පැමිණීම දැන, කටුවකින් කටුවක්, ඇණයකින් තවත් ඇණයක් ඉවත් කරන මිනිසෙකු මෙන්, රූපයෙන්ම රූප මදය ඉවතලීමට, තම ඉඳු බෙලෙන්, පසළොස්-සොළොස්විය තරම් වූ ඉතා රූමත් කාන්තාවක් පසෙක සිට පවන් සලන අයුරු දැකීමට සැලැස්වූහ. මෙහෙණින් සමග පැමිණි නන්දා මෙහෙණියද භාග්‍යවතුන් වහන්සේට වැඳ උන්වහන්සේගේ පා තලයේ පටන් හිසකේ අග දක්වා රූ සිරි දැක, නැවත, පිටිපස සිටි, ඉඳු බලයෙන් දක්වන ඒ රුව ද දැක, ‘අහා! මේ කාන්තාව (මටත් වඩා) රූමත් යැයි තම රූ මානය ඉවත ලා, ඒ රූපය කෙරෙහි දැඩි ඇල්ම පෑවාය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තාව අවුරුදු විස්සක් තරම් දැකීමට සැලැස්වූහ. කාන්තාව සුන්දර පෙනුම ඇත්තේ අවුරුදු දහසයේදීමය. ඊට පසු එසේ නොවේ. ඇගේ රුව එසේ පිරිහෙනු දැක, නන්දා මෙහෙණියගේ රූපයෙහි ඇති දැඩි ඇල්ම හීන විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ඒ තැනැත්තිය දරුවකු බිහිනොකළ ලෙසින්, එක් දරුවකු වැදූ තැනැත්තියක ලෙසින්, මැදිවියේ, වැඩිමහළු ගැහැණියක ලෙසින් මෙන්ම අවුරුදු සියය දක්වා, කුදු ගැසුණු හැරමිටිය උදව් කරගන්නා, කැලැල් පිරි සිරුරෙන් යුතු අයුරුද දක්වා, බලා සිටියදීම, ඒ ගැහැණියගේ මරණයත්, ඉදිමුනු මළ සිරුරත්, කපුටන් රංචු ගැසී මස් කන සැටිත්, දුගඳ හා පිළිකුල් බවත් දැකගැනීමට සැලැස්වූහ. නන්දා ඒ සිදුවීම දැක, ‘මේ අයුරින් මට ද, අනෙක් හැමට ද එකසේ හැමදා පැවතිය නොහැකියැයි අනිස හැඟීම් ඇතිවිය. ඒ අනුව දුකත්, තමාටම කියා අයත් නොවන බවත් වටහා ගත්තාය. තුන්භවයම (ගිනි) ඇවිලගත් ගෙයක් බඳුව පිළිසරණක් නොමැති සේ වැටහිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘නන්දාවගේ සිත කමටහන් සඳහා සුදුසු වේ’ යැයි දැන, ඇයට ගැළපෙන පරිදි මෙම ගාථා වදාළහ.