12. මුනි සූත්‍ර වර්ණනාව
සන්‍ථවාතො භයං ජාතං යනු මුනි සූත්‍රයයි. එය දේශනා කිරිමට හේතුව කුමක්ද? මෙම සූත්‍රයෙහි සියළුම ගාථාවලට හේතු වූයේ එකම කරුණක් නොවේ. එහෙත් එහි මුල පටන් සිවුවන ගාථාවට අදාල වන කතාවයි මේ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයෙහි ගම්වැසි එක් දිළිඳු, වැන්දඹු ගැහැණියක් තම පුතු පැවිදිකොට, මෙහෙණින් අතර පැවිදි වූවාය. ඒ දෙදෙනාම සැවැත් නුවරම වස් එළඹ නිතර එකිනෙකා දකිනු කැමති වූහ. මව කිසියම් දෙයක් ලැබුණු විට පුතුට ගෙන යන්නීය. පුතුද ලද දෙයක් මවට ගෙන යයි. මෙසේ උදේත්, සවසත්, එකිනෙකා හමුව ලද ලද දේ බෙදා ගනිමින්, සතුටුසාමීචියෙහි යෙදෙමින්, සැප දුක විමසමින්, බිය සැක නොමැතිව සිටියහ. නිතර නිතර දැකීමෙන් ඔවුන් අතර ඇසුර වැඩිවිය. ඒ ඇසුර එකිනෙකා තදින් ඇදහීමත්, ඒ ඇදහීමෙන් වැරදි සිදුවීමට ඇති ඉඩකඩත්, රාගයෙන් මැඩුණු සිත්වලට පැවිදි ජීවිතය ගැනද, මව පුතු හැඟීමද අතුරුදන් කරනු ලැබීය. එයින් සීමා ඉක්මවා අයහපත් දෙයෙහි නියැලුණහ. අවමානයට පත්ව, උපැවිදි වී ගිහිව වාසය කළහ. සංඝයා වහන්සේලා එය භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ‘මහණෙනි, කිමෙක්ද? මව පුතු කෙරෙහි රාගයෙන් නොඇලිය යුතු බවත්, පුතු මව කෙරෙහි රාගයෙන් නොඇලිය යුතු බවත්, ඒ හිස් මිනිසා නොදනීදැ’යි ගරහා, ‘මහණෙනි, මම වෙනත් එකම රූපයක් නොදකිමි. ‘නාහං භික්‍ඛවෙ අඤ්ඤං එක රූපම්පි සමනුපස්සාමි’ ආදී ලෙසින් වෙනත් සූත්‍ර දේසනයෙන්ද මහණුන් (දහමෙහි) උනන්දු කොට, ‘එබැවින් මහණෙනි, ඉතා නපුරු වසවිසක් මෙන්ද, තඹලෝ සැලියක උණුවෙන තෙල් මෙන්ද කාන්තාව දුරුකළ (යුතු) වන්නේය.
විසං යථා හලාහලං තෙල මුක්කථිතං යථා
තම්බලොහ විලීනංව මාතුගාමං විවජ්ජයෙ
යනුවෙන්ද කියා නැවත දහම් දෙසනු පිණිස සන්‍ථවාතො භයං ජාතං යන තමා උපමා කෙරෙන ගාථා සතරක් වදාළහ.
එම ගාථාවෙහි සන්‍ථවො තණ්හා, දිට්ඨි, මාන ලෙස තුන්ආකාර යැයි පෙර කියන ලදී. මෙහි තණ්හා, දිට්ඨි අදහස් කෙරේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සන්‍ථවාතො භයං ජාතං යැයි කීහ. ‘බලවු, මහණෙනි, නිතර දැකීමට කැමතිව, ඇලීම් ආදී ආසාවෙන් ඒ හිස් මිනිසාට බලවත් කෙලෙස් බය හටගත්තේය. එය දරාගත නොහැකිව මව කෙරෙහි වැරදි ලෙස කටයුතු කළේය. තමාට එල්ලවන අපහාස හෝ මහත් බය නිසා හෝ සසුන අතහැර ගිහි බවට පත්විය. නිකෙතා ‘ගහපතිය, රූපය නිමිතිකොට ගිහිගෙයි වාසය කිරීමේ බැඳීම නිකෙතසාරි යැයි කියනු ලැබේ. රූපනිමිත්තනිකෙන විඝාරනිවිබන්‍ධා ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති යනුවෙන් කියන ලද පරිදි ඒ අරමුණ දැඩිව සිතට ගැනීමයි. ජායතෙ රජො රාග, දෝස, මෝහ නැමති දූවිලි හටගැනීමේදී, කුමක් නිසා කියන ලද ද? හුදෙක් එබඳු තැනැත්තාට එක්ව ඇසුරු කිරීමෙන් පමණක් බිය ඇති නොවේ. එම කෙලෙස්වලට වසන තැනක් (රැඳෙන තැනක්) සේ ඒවා අරමුණු කොට නිකෙත යැයි කියනු ලබයි. දැන් ඔහුගේ සංවර බව බිඳී ඇති බැවින්, සංවර සීමා ඉක්මවා ඇති බැවින්, පහසුවෙන්ම කෙලෙස් දූවිලි හටගන්නා නිවහනක් වෙයි. එයින් කිලිටි වූ සිතින් බොහෝ දුකට පැමිණෙන්නේය. නැතහොත් ‘බලව, මහණෙනි, එක්ව ඇසුර නිසා මේ හිස් මිනිසාට බය ඇති වූවා සේම, මග පලයකට නොපත් සියළුම ජනයාට කෙලෙස් දූවිලිවලට නිවහන වේයැයි මෙසේ පද දෙකට යෙදිය යුතුය.
භාග්‍යවතුන් වහන්සේ මේ මුල් පද දෙකෙන් පුහුදුන් මිනිසාගේ (කරුණු) තේරුම් ගන්නා අයුරු දොස් දක්වා තම දැකීම පසසමින් අනිකෙතං යැයි පසු පද දෙක වදාළහ. ඉහත කියන ලද පරිදි, ගිහිගෙයි පිළිකෙව් කිරීම අනිකෙතං කෙලෙස් සහගත ඇසුරක් නොවීම අසන්‍ථවං යැයි දතයුතුය. මේ නිවනට සමාන පද දෙකකි. එතං වෙ මුනි දස්සනං මෙම ගිහිගෙය පිළිකෙව් කිරීම සහ කෙලෙස් සහගත ඇසුර බුදුමුනිවරුන් විසින් දක්නා ලදැයි තේරුමයි. වෙ යනු පුදුමය අරුත දනවන නිපාතයකැයි දතයුතුය. එයින්ද ගිහිගෙයි ඇසුරු කිරිමෙන්, මව පුතු කෙරෙහි වැරදි අයුරින් පිළිපදිනවිටකදී. ගිහි නිවස හා ඇසුරෙන් ඈත්වී මුනිවරයන් වහන්සේ විසින් දක්නා ලද්දේ, අහා! පුදුම දෙයකි යන අදහස මුල් වේ. නැතහොත් මුනිවරයාගේ එම දැක්මම - මුනිදැකුමයි - මුනිදස්සනං - දස්සන නම් කැමැත්ත හෝ පියතාවයයි.
යම් මහණකු කිසියම් දෙයක් කෙරෙහි ඇතිකරගන්නා, උපදවා ගත් කෙලෙස් හැඟීම් මෙන්ම උපන් අකුසල් දුරු කරන්නේද, එසේ උත්සාහ කරමින්, ඒ දේ කෙරෙහි නැවත හටනොගන්නා ලෙස ඒවා ඉවත ලන්නේද, වත්මනෙහි (ඒ වේලාවෙහි) පවතින්නා වූ ඒ කෙලෙස් අනාගතයටද (තවදුරටත්-මතුවටද) පැවැතීමට ඉඩ ඇති බැවිනැයි දෙවන ගාථාවෙහි යො ඡාතමුච්ඡිජ්ජා යනුවෙන් කියනු ලැබේ. න රොපයෙය්‍ය ජායන්තං යම්සේ නූපන් අකුසල් ඇති නොවීමට වෑයම් කරමින්, නැවත අකුසල් ඇතිකර නොගන්නේ යැයි තේරුමයි. එසේ උපදවා නොගන්නේ කෙසේද? අස්ස නානුප්පවෙච්ඡෙ කෙලෙස් හටගැනීමට හේතුවන කරුණු මතුවීමට ඉඩ නොදෙන්නේය. ඒ කරුණු එක්තැන් නොකරන්නේය. මෙසේ එක්රැස් නොකරන බැවින්, ඒවා හටගෙන වැඩිදියුණු වීමටද ඉඩ නොතබන්නේය. නැතහොත්, මගපල සඳහා වන භාවනාවෙන්, කලින් තිබූ කෙලෙස් උදුරා, සිඳ දමනු ලබයිද, එවිට මතු විපාක නොමැති බැවින්, වත්මනෙහිද (කෙලෙස් සිඳ දමන ලද මොහොත) වැඩි දියුණු වීමක් එහි නොමැත. කෙලෙස් ඉපදවීම නසන ලදින්, අනාගතයෙහිද පවත්නා වූ සිත් පරම්පරාවකටද පිවිසීමට ඉඩක් නැත. එහෙයින් යම් මහණෙක්, උතුම් මගපල ලබන භාවනාවෙන්, හටගත් කෙලෙස් උදුරා දමා, යළි ඇති නොවන ලෙස, වැඩිදියුණු වීමට කටයුතු නොකරයි. මතුවටද එහෙයින් මතුවටද ඒවා හටගැනීමේ ඉඩක් නැත. තමාහු එකං මුනිනං චරන්තං අද්දක්‍ඛි සන්තිපදං මහෙසී ඒකාන්තයෙන්ම කෙලෙස් රහිත බැවින් මෙහි යෙදෙන අයුරු මෙසේද දතයුතුය. එකං උසස් යන අරුතින් හෝ එකං නම් වේ. මුනිනං මුනිවරයකු, මුනිවරුන් අතර හෝ එක් මුනිවරයෙකු චරන්තං හැම අතින්ම පිරිපුන්ව ලොවට හිතසුව පිණිසද, මුනිවරයාට අදාල වන හැසිරීම් රටාව අනුව යන, අද්දක්‍ඛි දුටුවේය. සො හටගත් කෙලෙස් උදුරා හරිමින්, නැවත හටගැනීම වැළැක්වීමට සමත් වූ ඒ මුනිවරයා, න රොපයෙය්‍ය, ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ යනු (ඉහත) සඳහන් කරන ලද බුදුවරයා, රහතන් වහන්සේ හෙවත් මුනිවරයා, සනතිපදං සන්සිඳුණු කොටස, දෙසැටක් වැරදි දැකීම්, විදසුන්, නිවන යන කරුණු තුනක් අතරින්, සම්මතයක් ලෙස සැළකෙන සන්සිඳීම කෙලෙස් යටපත් කිරිමෙන් ලබන සන්සිඳීම හා මුළුමනින්ම (කෙලෙස් නැතිකොට) ලබන සන්සිඳීම උසස්ය. මෙසේ කලබලකාරි ලෝකයෙහි සියළු දෙයින්ම නිදහස්ව ලබන - ඒවා ඉක්මවා ලබන සන්සිඳීම උසස් බව පසක්ව දුටුයේ මහෙසී යැයි මෙසේ අරුත දතයුතුය.