8. මෙත්ත සූත්‍ර වර්ණනාව
කරණීයමත්ථකුසලෙන මෙත්ත සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? හිමාලයෙහි දී දේවතාවුන්ගෙන් හිරිහැරයට පත් පැවිදි පිරිස සැවැත්නුවර, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේලාට රැකවරණය පිණිසද, භාවනාවට අරමුණ හෙවත් කමටහන් පිණිසද මෙම සූත්‍රය වදාළහ. මේ කෙටියෙනි. විස්තර මෙසේය.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වස් එළඹ සැවැත් නුවර වැඩවසති. එහිදී, වේරඤ්ජා නුවර බොහෝ හිමිවරු භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ලබා, ඒ ඒ සුදුසු තැන්හි වස් එළඹීමට කැමතිව, උන්වහන්සේ වෙතට පැමිණෙති. රාග චරිත ඇත්තවුන්ට ජීව අජීව ආදී ලෙසින්, එකොළොස් ආකාර පිළිකුල් ලෙස මෙනෙහි කිරීමේ අරමුණ ද, කෝපවන චරිත ඇත්තන්ට සිවු ආකාර වූ මෙත් සහගත අරමුණ ද, මුලාවන චරිත ඇත්තන්ට මරණය සිහිගැන්වීමේ අරමුණද, ගැටෙන අදහස් ඇත්තන්ට හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළට හෙළීම ගැන අරමුණු කිරීමට හා කසිණ ආදී භාවනාද සැදැහැ ඇත්තන්ට බුදුගුණ සිහිකිරීම ආදියද, නුවණැත්තන්ට ධාතු කොටස් සතර පිළිබඳවද යන මේ ආකාරයෙන් අසූහාර දහසක් ගති සොබාවනට ගැලපෙන පරිදි උපදෙස් දෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙතින් කමටහන් ලද පන්සියයක් පමණ වූ පැවිදි පිරිස, සුදුසු සෙනසුන් ද පිණ්ඩපාතය ආදිය ලැබිය හැකි, ගොදුරු ගම්ද පිරික්සමින්, පිළිවෙලින් ගොස්, ඈත හිමාලයෙහි නිල්මැණික් වන් එකට යාවුනු ගල්තලාවෙන් හෙබි, තද සිහිලැල් සෙවණින් යුතු, කැලෑවෙන්, අලංකාරවත් වූ, මුතුදැල් රිදී පටක් බඳු වැලිතලා බිම් පෙදෙසකින්ද යුතු මනහර සිහිල් දිය පිරි ගිරිකුළක් දුටහ. ඒ පැවිදි හිමිවරු එහි එක් රැයක් වැස, රැය පහන් වූ කල, සිරුරු කටයුතු කොට, එක් නුදුරු ගමකට පිඬු පිණිස ගියහ. ඒ ගම අධික ජනගහණයෙන් යුතු පවුල් දහසකින් යුතුය. එහි මිනිස්සුද පහන් සැදැහැතියහ. පැවිදි දසුනක් දුලබව, ඈත පෙදෙසක වසන ඔවුහු ඒ පැවිදි පිරිස දැක, සොම්නස් සිතැතිව, උන්වහන්සේලා වළඳවා, ‘හිමිවරුනි, තුන් මසම මෙහිම වාසය කරනු මැනවැ’යි ඉල්ලා, භාවනා කුටි පන්සියයක් කරවා, එහි ඇඳ, පුටු ද පානයට සුදුසු පැන් කළවලද පුරවා තබා, සියළු උපකරණ පිළියෙල කළහ.
උන්වහන්සේලා දෙවන දවස්හි වෙනත් ගමකට පිඬු පිණිස වැඩියහ. එහි මිනිස්සුද එසේ උවටැන් කොට වස් කාලය එහි ගතකරනු පිණිස ඉල්ලා සිටියහ. හිමිවරු ‘අනතුරු නැතැ’යි ඉවසා, ඒ කැලැ පෙදෙසට පිවිස, දිවා රෑ තිස්සේම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව, කාලය හඟවන ගෙඩිය (වත් පිළිවෙත් සඳහා දැනුම් දීමට හඬ නැවීමට ලී කොටයකින් තැනූ එල්ලා ඇති උපකරණයකි) සකසා, කමටහන් නුවණින් මෙනෙහි කරමින් රුක්මුල් කරා එළඹ හිඳිති. සිල්වත් මහණුන්ගේ බලයෙන්, බල රහිත වූ රුක් දේවතාවියෝ තම විමන්වලින් බැස, දරුවන්ද රැගෙන එහා මෙහා සැරිසරති. රජවරුන් හෝ රජ මැති ඇමතිවරුන් ගමක වාසයට ගියවිටදී (රාජකාරි කටයුතු සඳහා තාවකාලික නවාතැන්) ගම්වාසීන්ගේ නිවෙස්වල ඉඩ ලබාගත්විට, නිවැසියන් ඒවායින් නික්ම, වෙනත් තැන්හි වසමින්, කවදා යන්නාහුදැයි දුර සිට බලා සිටිනා සේ, දේවතාවියෝ තම විමන් හැරදමා, එහා මෙහා සැරිසරමින්, හිමිවරුන් ආපසු කවදා යතිදැ’යි බලා සිටිති. දේවතාවියෝ එකම අයුරින් සිතූහ. මුල් වස් එළඹි මහණහු අවැසි ලෙසම තෙමසම මෙහි වසන්නාහ. අපට එතෙක් කල් දරුවන් රැගෙන ඉවත්ව විසීමට නොහැකිය. අපි මහණුන්ට බය උපදවන අරමුණු දක්වන්නෙමු නම් මැනවයි රෑ කල මහණුන් භාවනා කරනවිට බිය දනවන යක් රූප මවාගෙන ඉදිරියෙන් ඉදිරියෙන් සිටිති. බිය ගන්වන හඬ නංවති. ඒ රූප දැක, ඒ හඬද අසා හිමිවරුන්ගේ හදවත සැලිණ. සිරුර පැහැ වෙනස් විය. සුදුමැලිව නහර ඉල්පිණ. සිත එක් අරමුණක පිහිටුවා ගැනීමට නොහැකි විය. උන්වහන්සේලාගේ සිත් නොයෙක් බියෙන්ද යළි යළිත් සංවේගයට ද, මුළා බවටද පත්විය. මුලා වූ සිතින් සිටි ඒ හිමිවරුන්ට දුගඳ වහනය වන අරමුණු ද යෙදවූහ. ඒ ගඳ මැඩලීමට (හිස්) මොළයට සිදුවූයෙන්, බලවත් හිස වේදනා ඇතිවිය. ඒ තොරතුරු ඒ හිමිවරු එකිනෙකාට නො පැවසූහ.