7. වසල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු අග්ගික භාරද්වාජ සූත්‍රය වසල සූත්‍රය ලෙසද හඳුන්වනු ලබයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටු විසින් කරවන ලද ජේතවන අරමෙහි වැඩ වසති. කසීභාරද්වාජ සූත්‍ර විස්තරයෙහි දැක්වූ පරිදි, පසුබත් කිස අවසන බුදු ඇසින් ලොව බලද්දී අග්ගික භාරද්වාජ බමුණාට තෙරුවන් සරණ සිල්හි පිහිටීමේ හේතු සම්පත් දැක, ‘මා එහි ගියවිට සංවාදයක් පවත්නේය. ඒ කතාබහ අවසානයෙහි දහම් දෙසුම අසා ඒ බමුණා සරණයෙහි පිහිටා සිකපද සමාදන් වන්නේ යැයි දැන, එහි ගොස්, කතාබහ අතරතුර බමුණා දහම් දෙසන සේ ඉල්ලා සිටින ලදුව මෙම සූත්‍රය වදාළහ. එහි එවං මෙ සුතං ආදිය මංගල සූත්‍ර විස්තරයෙහිදී සඳහන් කරන්නෙමි. අථ ඛො භගවා පුබ්බණ්හසමයං ආදී කරුණු කසීභාරද්වාජ සූත්‍ර විස්තරය අනුව දතයුතුය.
තෙන ඛො පන සමයෙන අග්ගික භාරද්වාජස්ස යන්නෙහි විස්තර නොදැක්වූ කරුණක් වේ නම්, ඒ ගැන සඳහන් කරන්නෙමි. ඒ කෙබඳු අයුරින්ද? ඒ බමුණා ගිනි දල්වා ගරු පූජා පවත්වන හෙයින් අග්ගිකො නමින් පතළ විය. භාරද්වාජො පරම්පරාවයි. එහෙයින් අග්ගික භාරද්වාජ යැයි කියන ලදී. නිවෙසනෙ වසන ගෙයි, ඒ බමුණාගේ ගෙදර දොරටුවෙහි ඇතුළු පෙදෙසෙහි ගිනි පිදීම සඳහා සාලාවක් විය. එය ගෙදර දොරටුවේම යැයි කිවයුතු වුවත්, ඒ පිහිටි පෙදෙසෙහි ගෙයම ඇතුලත් කොට, නිවෙසනෙ යනුවෙන් කියන ලදී. සමීප අරුතෙහි ආධාර විබත් වචනයි. ගෙදර සමීපයෙහි යන අදහසයි. අග්ගි පජ්ජලිතො හොති ගිනි දල්වා, එතැන සිටියේ, ගින්න දැල්වීමට දර ඇතුළුකොට, හමන සුළඟින් දැක්වෙමින් ඉහළට නැගෙන ගිනිජාලාවෙන් ගැවසිණ. ආහුති පග්ගහිතා හිසෙහි පටන් දිය නා, මහත් ගරු බුහුමනින් කිරිබත්, ගිතෙල්, මීපැණි ආදිය ගෙනැවිත් (තැන්පත් කොට) ගින්නෙහි පූජා කිරීමට ගෙනෙන ලද සියල්ල ආහූතී යැයි කියනු ලැබේ. සපදානං ගෙයක් පාසා, භාග්‍යවතුන් වහන්සේ සියළු ජනයාටම උදව් කිරීම පිණිස ආහාර (ලද තරමින්) සතුටුවීමටද, උසස් පහත් යැයි සම්මත කුල නොසළකා පිඬු පිණිස හැසිරෙති. සපදාන පිණ්ඩාය චරමානො යැයි එහෙයින් කියන ලදී.
(එසේ වැඩම වූ බුදුන් දැක බ්‍රාහ්මණයාගේ සිත සතුටු නොවී රළු නපුරු වචනයෙන් බුදුන්ට කථා කළේය.) හැම අයුරින්ම හැමදෙනා පහදනසුළු භාග්‍යවතුන් වහන්සේ දැක, බමුණාගේ සිත නොපැහැදුනේ ඇයි? කුමක් නිසා මෙසේ නපුරු වචනයෙන් කතා කළේද? ඒ පිළිබඳ කිවයුතු මෙයයි. මේ බමුණා යහපත් කටයුතුවලදී මහණුන් දැකීම අයහපත් දෙයකැයි දැඩි අදහසින් යුතුය. මහා බ්‍රහ්මයා අනුභව කරන වේලාවෙහි කාලකණ්ණි, හිස මුඩුකරන ලද මහණුන් මගේ නිවහනට පැමිණියේ යැයි සිතා සිත කිලිටි කර ගත්තේය. හුදෙක්ම නපුරු තරහව ඇතිකර ගත්තේය. ඉක්බිති, නපුරුව, නොසතුටුව, එම හැඟීම් පිට කරන ලද්දේ තත්‍රෙව මුණ්ඩක ආදී ලෙසිනි. හිස මුඩු කිරීම අසුබ අයහපත් යැයි බමුණන්ගේ හැඟීමයි. එහෙයින් මෙහි පැමිණියේ අයහපත් කෙනෙකි. එහෙයින් මොහු දෙවියන්ගේ, බමුණන්ගේ පූජකයකු නොවේ යැයි පිළිකුල් කරමින් මුණ්ඩක යැයි කීය. හිස මුඩු කරන ලද බැවින්, ඉතිරි වන (ඉඳුල්) ආහාර ලබාගැනීමට මොහු මේ පෙදෙසට ඒම සුදුසු නැත. මහණකු වුවත්, කයෙහි කිලිටි බව අගය නොකරත්දැ’යි මහණකමටද පිළිකුල් කරමින් සමණක යැයි කීය. හුදෙක් තරහෙන්ම නොව, වසලයෙකු හෝ පැවිදිව ඔවුන් හා එක්ව ආහාර අනුභව කිරීම් ආදියෙන්, මේ තැනැත්තා වසලයෙකුටත් වඩා පව්කාරයෙකැයි පිළිකුල් කරමින් වසලක යැයිද කීය. උපතින්ම වසලයන් වූවන්ට හෝ පූජා ලැබීම, දැකීම, වේද මතුරු ඇසීම පව් සිදුවේ යැයි හඟිමින් එසේ කීය.
බමුණා එලෙස කිවූවත්, භාග්‍යවතුන් වහන්සේ පහන් වූ මුහුණින් යුතුව, මිහිරි හඬින් බමුණා කෙරේ අනුකම්පාවෙන් සිහිල් වූ සිතින් තමා හැමදෙනාටම සමානතාවයෙන් නොවෙනස්ව පවතින බව පහදා දෙමින් ජනාසි පන ත්‍වං බ්‍රාහ්මණ යැයි කීහ. එවිට බමුණා භාග්‍යවතුන් වහන්සේ එයින් කම්පා නොවන බව පසන් මුහුණින් පිළිබිඹු වන අයුරු දැන, අනුකම්පාවෙන් සිහිල් වූ සිතින් නිකුත් මිහිරි හඬ අසා, අමාවෙන් අබිසෙස් ලද සේ සතුටු හදින්, පැහැදුනු ඉඳුරන් ඇතිව, නිහතමානීව, බමුණකුව ඉපදීමෙන් හටගත් විස පිටකිරීමක් බඳු නිතර කී රළු වචන හැර ‘මම යම් ආකාරයකට පහත් ඉපදීමකින් වසලයකැයි බලාපොරොත්තු වූයෙම්ද? ඔහු උසස් අදහස් ඇති බව පෙනෙන හෙයින් වසලයෙකු නොවේ. පහත් ඉපදීමක් ඇත්තෙකු ද නොවේ. වසලයෙකැයි මේ සළකනු ලබන කරුණු සළකා, න ඛො අහං භො ගොතම යැයි කීය. යම් කෙනෙකුට උසස් අවබෝධය ලැබීමට හේතු සම්පත් ඇත්තේ නම්, එය ලැබීමේදී නපුරු කෙනෙකු වුවත්, මොළොක් බවට පත්වීම (සොබා) දහමට අනුකූල වූවකි.
සාධූ - මෙම වචනය, ඉල්ලීම, පිළිගැනීම, සතුට පළකිරීම, එකඟතාව දැක්වීම, යහපත, අවධාරණය කොට දක්වන තැන යෙදේ. සාධු මෙ භන්තෙ භගවා - සංඛිත්තෙන ධම්මං දෙසෙතු ‘භාග්‍යවතුන් වහන්ස, මට සැකෙවින් දහම් දෙසන සේක්වා! - මෙහි ඉල්ලීමක් ලෙස යෙදී ඇත. ‘සාධු භන්තෙ ති ඛො සො භික්‍ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා...’ ‘යහපති හිමියෙනි, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේ කියන ලද කරුණු කෙරෙහි අනුමෝදන්ව......’ ආදී තැන්වල (එම අදහස) පිළිගැනීමේදී යෙදී ඇත. ‘සාධු... සාධු සාරිපුත්ත...’ ‘හොඳයි, මැනවි සාරිපුත්තය - සතුට දැක්වීමටය.