සාධූ - මෙම වචනය, ඉල්ලීම, පිළිගැනීම, සතුට පළකිරීම, එකඟතාව දැක්වීම, යහපත, අවධාරණය කොට දක්වන තැන යෙදේ. සාධු මෙ භන්තෙ භගවා - සංඛිත්තෙන ධම්මං දෙසෙතු ‘භාග්‍යවතුන් වහන්ස, මට සැකෙවින් දහම් දෙසන සේක්වා! - මෙහි ඉල්ලීමක් ලෙස යෙදී ඇත. ‘සාධු භන්තෙ ති ඛො සො භික්‍ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා...’ ‘යහපති හිමියෙනි, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේ කියන ලද කරුණු කෙරෙහි අනුමෝදන්ව......’ ආදී තැන්වල (එම අදහස) පිළිගැනීමේදී යෙදී ඇත. ‘සාධු... සාධු සාරිපුත්ත...’ ‘හොඳයි, මැනවි සාරිපුත්තය - සතුට දැක්වීමටය.
‘සාධු ධම්මරුචි රාජා - සාධු පඤ්ඤාණ වා නරො
සාධු මිත්තාන මද්දූභො - පාපානං අකරණං සුඛං’
‘රජ දහමට කැමතිවීම හොඳය, නුවණැත්තෙකැයි හඳුනා ගැනීමට ලකුණු තිබීම මිනිසාට හොඳය. සුහද මිතුරු බව හොඳය. පව් නොකිරීම සුවයකි’
මෙහි යහපත - හොඳය යන අදහසටය. ‘සාධුකං සුණෙව මනසි කරොම’ ‘මැනවින් අසමු, මෙනෙහි කරමු’ යන තැන අවධාරණයෙන් දැක්වීමටය. මෙම සූත්‍රයෙහි යෙදුනේ ඉල්ලීමක් ලෙසයි.
තෙන හි යනු ඔහුගේ අදහස් දැක්වීමයි. ඔබ දැනගැනීමට කැමතිවෙහි නම්, යන අදහසින් කියන ලදී. ඊට අදාල වන පරිදි ඔහුට දැනගැනීමට කැමති වන ආකාරයට ‘බමුණ අසන්න, හොඳින් මෙනෙහි කරන්න. ඔබට දැනගැනීමට හැකිවන පරිදි ඔබට කියන්නෙමි’යි පසුපදය හා සම්බන්ධකොට දතයුතුය. එහි සුණාහි කණ නම් වූ ඉන්‍ද්‍රිය අසන කරුණට අදාලව මිස වෙනත් දෙයකට යොමුවීම වැළකීමයි. සාධුකං මනසිකරොහි (අසන දේ) ගැන නුවණ මෙහෙයා කල්පනා කරමින්, මනස නම් වූ ඉන්‍ද්‍රිය වෙනත් අරමුණකට ඇදී යාම වැළකීමයි. මෙහි මුලින් පෙන්වූයේ කරුණු වෙනස් අයුරින් තේරුම් ගැනීම වැළකීමයි. පසුව පෙන්වූයේ තේරුම් ලෙස වරදවා ගැනීම වැළකීමය. මුලදී දහම් ඇසීමෙහි (සූදානම් වීම) පෙන්වයි. පසුව, ඇසූ දහම් කරුණු සිත දරා විමසා බැලීමද ලෙසිනි. මුලින්, ‘මෙම දහම කරුණුවලට අදාලව මනා පද ගැළපීම සහිතය. එබැවින් ඇසිය යුතු යැයි ද පෙන්වා දෙයි. පසුව දැක්වූයේ එහි අරුත් සහිත බවය. එහෙයින් මෙනෙහි කළ යුතුය. යහපති, හෙවත් ‘සාධු’ යන්න පද දෙකෙහිම යොදා, මේ දහමෙහි ගැඹුරු බවද දේශනාවේ උසස් බවද (සළකා) හොඳින් අසන්න. තවදුරටත් ගැඹුරු අරුත්ද, අවබෝධයෙහි ගැඹුරු බවද (සළකා) හොඳින් මෙනෙහි කරන්නැයි පහදමින් සූණහි, සාධුකං මනසිකරොහි යැයි වදාළහ.
ගැඹුරු වූ දහමෙහි මා කෙසේ පිහිට ලබන්නෙම්දැ’යි මෙසේ කලකිරීමෙන් සිටි ඒ බමුණා උත්සාහවත් කරමින්, භාසිස්සාමී යැයි කීහ. ‘ඔබ ඒ කරුණු වටහාගන්නා ආකාරයට මම පදවහර මනාව ගළපා අදහස් මුදුන්පත් වන ලෙසින් කියන්නෙමි’ යන අදහස දතයුතුය. එයින් උත්සාහවත්ව, එවං හොති ඛො අග්ගිකභාරද්වාජො බ්‍රාහ්මණෙ භගවතො පච්චස්සොසි, පිළිගත්තේ යැයි කියන ලදී. දේශනයෙන් දැක් වූ පරිදි පිළිපැදීමේ අදහසින් ඉදිරියේ සිට ඇසුවේය යනුයි. ඉක්බිති ඔහුට භගවා එතදවොච දැන් කිවයුතු දේ සඳහා කොධනො උපනාහි ආදී ලෙසින් වදාරන ලදී.
කොධනො යනු කිපෙනසුළු බවයි. උපනාහි ඒ කිපීම දැඩි ලෙස ගෙන දිගින් දිගට පවත්වා ගැනීමයි. අනුන්ගේ ගුණ මකයි. පිසදා හරියි. මක්‍ඛී වේ. අයහපත් පවිටු ගති ඇති එබඳු තැනැත්තා, පාපමක්‍ඛී විපන්න දිට්ඨි යහපත් දැකීම නොමැති, අත්හරින ලද බවයි. වැරදි ලෙස ගත් හෝ නිවැරදි යයි සිතාගත් කරුණු දහයක් වූ වැරදි හැඟීම්වලින් යුතු වූයේ, මායාවී තමන්ගේ ඇති දොස් සඟවන ලකුණින්, කපටිබවෙන් යුතු, තං ජඤ්ඤා වසලො මෙබඳු පහත් ගතිවලට වසඟව, එය ජීවිතයෙහි (ආලේපයක්) මෙන් තබාගෙන සිටින තැනැත්තා වසලයා යැයි දැනගනුව. ඉදින් බ්‍රහ්මයාගේ (මුවින් උපන්නේ) යැයි මුදුනින් පිළිගත්තද, මොහුගේ අදහස අනුව (මූලික අදහස) වසලයකුමය. (එයින්) තම හදවතේ සතුට මිස වෙනත් තැනැත්තන්ට එසේ සතුටක් ඇති නොවේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මුල් පදයෙන්ම ඒ බමුණාට කෝපයෙහි දොස් දක්වා, කෝප ආදී පවිටු ගුණවලින් යුතු තැනැත්තන්ගේ සිතැඟි පහදාදීමත්, ඒ ගැන විස්තර කරමින්, ඒ අනුව වසලයකු හා වසලයකු සේ සැළකෙන කරුණු දෙසූ සේක. ‘ඔබ හා මා යැයි සැළකීමක් නොකොට, තමා උසස් බව හඟවා අනුන් පහත්කොට සැළකීමද නොකොට, දහම් නය අනුව තමන්වහන්සේ බ්‍රාහ්මණයකු වන අයුරුත්, භාරද්වාජ බමුණාගේ වසල බවත් පහදා දුන්හ.