6. පරාභව සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු පරාභව සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? ‘භාග්‍යවතුන් වහන්සේ මංගල සූත්‍රයෙන් මිනිසුන්ගේ දියුණුවද සැප ලබන මගද ලෙස එක් කොටසක් පමණක් පවසන ලදී. පිරිහෙන කරුණු පෙන්වා දී නැත. මිනිසුන් පිරිහී, විපතට පත්ව වැනසෙන හේතු විමසන්නෙමු නම් මැනවැ’යි මංගල සූත්‍රය ඇසූ දෙවියන්ට සිතුණි. ඉක්බිති, මංගල සූත්‍රය දේශනා කරන ලද දිනට පසුදින දස දහසක් සක්වළ දෙවියෝ පිරිහීමට හේතු අසනු කැමතිව, මෙම එකම සක්වළෙහි රැස්ව, එක හිසකේ අගක තරම් තැනක දහසක්, විස්සක් තිහක්, හතළිහක්, පනහක්, හැටක්, හැත්තෑවක්, අසූවක් සියුම් රූ මවාගෙන, සියළු දෙව් බඹ මිනිසුන්ගේ සිරියාවද තේජසද වඩාත් මැඩලමින්, පිරිහීමට හේතු අසනු පිණිස, පනවන ලද උතුම් අසුනෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ. එහිදී සක්දෙවිඳුගෙන් අණ ලද එක්තරා දෙව්පුතෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිහීමේ කරුණු විචාළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇසූ දෙයට පිළිතුරු ලෙසින් මෙම සූත්‍රය දේශනා කළහ.
එහි එවං මෙ සුතං යයි ගරුකටයුතු ආනන්ද හිමි විසින් කියන ලදී. පරාභවන්තං පුරිසං යනුවෙන් කරුණු ඇතුළත් එක් ගාථාවක් කියන ලද්දේ දෙව් පුතු විසිනි. සුවිජානො භවං හොති ආදී ලෙස එක් ගාථාවක් අතර ඇති ගාථා මෙන්ම අවසාන ගාථාවද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ඒ සියල්ල එක්කොට පරාභව සූත්‍රය යැයි කියනු ලැබේ. එවං මෙ සුතං ආදී තන්හි කිවයුතු සියළු කරුණු මංගල සූත්‍ර විස්තරයෙහිදී කියමු.
පරාභවන්තං පුරිසං යන්නෙහි පරාභවන්තං පිරිහීමට විනාශයට තේරුමයි. පුරිසං කිසියම් පුද්ගලයෙකු පිළිබඳ දැනගැනීමට, මයං පුච්ඡාම ගොතමං අනෙක් දෙවියන් සමග තමන් දක්වමින් අවසර ලබාගැනීමට ඒ දෙව්පුතු ‘ගොතම’ යන පරම්පරා නමින් භාග්‍යවතුන් වහන්සේ අමතයි. භගවන්තං පුට්ඨුමාගම්ම’ අපි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නෙමු’යි ඒ ඒ සක්වළින් පැමිණියෙමු යන තේරුමයි. එයින් (උන්වහන්සේට ඇති) ඇල්ම ආදරය දැක්වෙයි. කිං පරාභවතො මුඛං එසේ පැමිණි අපට මිනිසාගේ පිරිහීමට හේතු මොනවාද? පිරිහීමට පිවිසෙන දොරටු මොනවාද? පිරිහීමේ මුල කුමක්ද? ඒ කරුණු මොනවාද? ඒ ආකාරයෙන් අපි මිනිසා පිරිහෙන අයුරු දැනගන්නෙමු යන තේරුමයි. පරාභවන්තං පුරිසං එසේ කියන ලද පිරිහීමට පත්වන මිනිසාට ඊට මුල්වන කරුණු විමසයි. පිරිහෙන කරුණු දැනගත් විට, ඒ කරුණු සමානකොට, පිරිහෙන කිසියම් මිනිසකු ගැන වටහා ගැනීමට හැකිවෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම කරුණු පහදා දීමේ පහසුව සළකා ඊට වෙනස්වන කරුණුවලට පුද්ගලයකු යොමුවන අයුරු සුවිජානො භවං යන ගාථාවෙන් (මුලදී) පැවසූහ. එහි තේරුම මෙසේය. භවං (ගුණ දහම් වැඩෙන, නොපිරිහෙන මිනිසා, සුවිජානො හොති පහසුවෙන්, නිසැකවම මනාව දැනගැනීමට හැකිවේ. යම් කෙනෙක් පිරිහීමට පත්වේද, පරාභවො ඔහු පිරිහෙයි. වැනසෙයි. ඔබලා මිනිසා පිරිහීමට පිවිසෙන දොරටු මගෙන් විමසුවෙහු නම්, එය ද සුවිජානො ඒ කෙසේ ද? ඒ තැනැත්තා ධම්මකාමො භවං හොති (නොපිරිහෙන තැනැත්තා) දසකුසල දහමෙහි යෙදීමට කැමති වෙයි. සතුටු වෙයි. අසයි. පිළිපදියි. ඔහු ඒ පිළිවෙත දැක, දැනගත යුතු දේ මැනවින් දැනගත්තේය. අනෙක් තැනැත්තා ධම්මදෙස්සී පරාභවො ඒ යහපත් දහමට රුචි නොකරයි. කැමති නොවෙයි. බලාපොරොත්තු නොවෙයි නො අසයි. පිළිනොපදී. ඒ දුසිරිත් පිළිවෙත දැකීමටත්, ඇසීමටත් (ලැබෙන අතර) පහසුවෙන් දැනගත යුතු බැවින් සුවිජානො නම් වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ (දියුණුවට) සතුරු වන කරුණු දක්වමින්ද, දහමට කැමති සැටිද වැටහෙන අයුරු පෙන්වා දුන් බව දතයුතුය.