5. චුන්ද සූත්‍ර වර්ණනාව
පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං යනු චුන්‍ද සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? තම අදහස පරිදි, අනුන්ගේ අදහස පරිදි, අදාල තැනට ගැළපෙන පරිදි, විමසීමකට පිළිතුරු ලෙස යන සිවු ආකාරයෙන් වූ (දහම් දෙසුම් අනුව) කෙටියෙන් සඳහන් කළොත්, මෙම සූත්‍රය විමසූ කරුණකට පිළිතුරකි. සවිස්තරව දක්වතොත් මෙසේය. එක් කලක භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකා කරද්දී, බොහෝ පැවිදි පිරිසක් සමග පාවා නුවර වැඩ විසූහ. භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්‍ද නම් ලෝකුරු පුතුගේ අඹවනයෙහි වෙසෙති. ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පා සිවුරු ගෙන, බික්සඟන සමග චුන්‍ද නම් ලෝකුරු පුතුගේ නිවසට වැඩියහ. පැමිණ පනවන ලද අසුනෙහි වැඩහුන්හ’ යනුවෙන් මෙතැන් පටන් (උදාන) සූත්‍රයෙහි සඳහන් අයුරින්ම විස්තර කළ යුතුය.
මෙසේ බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල චුන්‍ද ලෝකුරු පුතු උන්වහන්සේලා මනාව වළඳවමින්, එළවළු හොදි ආදිය සඳහා රත්රන් බඳුන් පිළිගැන්වීය. (මේ පිළිබඳ) සිකපද පනවා නොතිබූ බැවින්, ඇතැම් හිමිවරු රන් බඳුන් පිළිගත්හ. ඇතැම් හිමිවරු නොපිළිගත්හ. භාග්‍යවතුන් වහන්සේගේ එකම බඳුන ගලින් කරන ලද පාත්‍රයයි. ඒ හැර වෙනත් බඳුනක් බුදුවරු පරිහරණය නොකරති. එහිදී එක් පවිටු මහණෙක්, සොර සිතින් තමන්ට ලබාදුන් දහසක් අගනා රන් බඳුන යතුරු බහාලූ පසුම්බියෙහි තැබුවේය. වළඳා අත සෝදා සිටි භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන චුන්‍ද, බික්සඟන දෙස බලන විට ඒ මහණ දැක, නොදුටුවාක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, තෙරුන් වහන්සේලා කෙරෙහිත් ඇති ගරුසරු බව නිසාත්, මිසදිටුවන්ට දොස් නොනැගීම පිණිසත් කිසිවක් නොපැවසීය. චුන්‍ද සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, ‘පැවිදි වූවන් සංවර විය යුතු නොවෙත්ද? නැතහොත් බිඳුනු සංවරය ඇත්තේ මෙබඳු පැවිද්දන් දැ’යි පුච්ඡාමි මුනිං යනුවෙන් විමසීය.
පුච්ඡාමි විමසීම් තුන් ආකාරය. ඒ පිළිබඳව, නොදුටු දෙයක් එළිදරව් කරගැනීම ආදී ලෙසින් නිද්දෙසයෙහි දක්වා ඇති පරිදි වේ. මෙහිදී මුනි යන වචනයට ‘මොන යනු නුවණට කියයි, යහපත් දැකීම ආදිය තියුණු නුවණින් දැකීමෙන් යුතු වූයේ ‘මොන බවට පත්’ - නුවණැති බවට පත් මුනිවරයා මේ, කය පිළිබඳ නුවණින් දැනීම ආදී ලෙස එය තුන් ආකාරය. ‘මේ එහි සඳහන්ව ඇති පරිදි කෙටියෙන් දැක්වීමයි. පුච්ඡාමී අවසර ලබා ගැනීම පිණිස, මුනිං මුනිවරයාණෙනි, භාග්‍යවතුන් වහන්සේට ඇමතීමයි. පහූත පඤ්ඤං ආදිය තුති වචනයි. අගය කිරීමයි. එහි පහූත පඤ්ඤං - මහත් නුවණැති බවයි. දැනීම කෙළවර කොට ඇති බැවින් බුදුරදුන්ගේ නුවණෙහි පිරිපුන් බව දතයුතුය. ඉති චුන්‍දො කම්මාර පුත්තො මෙය ධනිය සූත්‍රයෙහි කියන ලද පරිදිය. මෙයින් පසු එපමණ කරුණු නොදක්වා, කලින් විස්තර වූ කරුණු අත්හැර සඳහන් නොකළ කරුණු දක්වන්නෙමි.
බුද්ධං තුන් බුදුවරුන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ධම්මස්සාමි මගපල දහම උපදවන ලද බැවින්, පුතකුට පියකු මෙන්, සිප්හල් ආදියට ගුරුවරයෙකු මෙන්, දහමට හිමිකරු වූ, දහමට ඉසුරු වූ දහමෙහි රජ වූ දහමෙහි වසඟයෙහි පවත්නා වූ යන තේරුමයි. මෙසේ ද කියන ලදී.
‘බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ, නොතිබූ මගක් සකස් කරන ලදහ. හඳුනා නොගත් මගක් හඳුන්වා දෙමින්, නොකියූ මගක් පහදා දෙමින්, ඒ මග දන්නා වූ, එහි නුවණැති වූ, එම මගෙහි සමත්කම් දැක්වූ සේක. දැන් උන්වහන්සේගේ සව්වෝද ඒ මග අනුගමනය කරති.’
වීත්තණ්හං කාම, භව, විභව තණ්හා දුරු කරන ලද, දීපදුත්තමං දෙපා ඇත්තවුන් අතුරෙන් උතුම්, භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියවුන් අතුරෙන් පමණක් උතුම් නොවේ. යම්තාක් හිඳ නොමැති හෝ හැඟීම් රහිත (බ්‍රහ්මාදීන්) දක්වාම ඒ සියල්ලන්ටම වඩා උතුම්ය. එමෙන්ම සියළුම ලෝකවාසීනට වඩා උසස්ම යැයි දැක්වීමට දෙපා ඇත්තවුන් අතුරෙන් උතුම්ම යැයි කියති. දෙපා ඇත්තවුන් අතර, උසස් වූ සක්විති රජු, පසේ බුදුවරුන් උපදනා බැවින් ඔවුන් අතුරෙන් ද, හැමදෙනාටම වඩා උසස්ම යැයි කියන ලදී. සාරථීනං පවරං හසුරුවයි, හසුරුවන්නා යන තේරුමෙන් සාරථි ය. ඇතුන් හික්මවන්නන් ආදීනට සමාන වදනකි. භාග්‍යවතුන් වහන්සේ සියළු කෙලෙසුන් දමනය කරන ලද බැවින්, මිනිසුන් ඇතුන් ආදීන්ද හික්මවීමට හැකියාව ඇති බැවින්, ඔවුන්ටද වඩා උසස් වෙති. එහෙයින් කියන ලදී -
‘මහණෙනි, ඇතුන් හික්මවන, ඇතුන් හසුරුවන්නෙක්, නැගෙනහිර දිසාවට හෝ බටහිර දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ එවන් එක් දිසාවකට දුවයි ද, මහණෙනි, අසුන් දමනය කරන්නෙක් එම ගවයන් හික්මවන්නෙක්...... දුවයිද, මිනිසුන් දමනය කරන, හික්මවන, තථාගත අරහත් සම්මා සම්බුදුවරයාණන් විසින් (සත්වග හික්මවමින්, හසුරුවමින්) අට දිසාවටම යොමුවෙති. රූපී (ලොවෙහි) රූ දකී. මේ එක් දිසාවකි. දැනීම් විරහිතව, ඒ බව දන්නා සමවතට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි’ යනුවෙන්.