4. කසීභාරද්වාජ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං යනු කසීභාරද්වාජ සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි දකුණුගිරි පෙදෙසෙහි ඒකනාලා නම් බමුණු ගමෙහි (වැඩ වසද්දී) පෙර බත්කිස හා පසුබත්කිස යන බුදුරදුන්ගේ වැඩපිළිවෙල අතුරින් පසුබත්කිස අවසානයෙහි, බුදු ඇසින් ලොව බලනවිට භාරද්වාජ පෙළපතට අයත් කසී නම් බමුණා අරහත් ඵල ලැබීමට නුවණ මුහුකුරා ඇතැයි දැන ‘එහි මා ගිය කල, සංවාදයක් පවතින්නේය, ඒ කතාව අවසානයෙහි දහම් දෙසුම අසා ඒ බමුණා පැවිදිව රහත් බවට පත්වන්නේ යැයි’ එහි ගොස් කතාබහ කොට මෙම සූත්‍රය වදාළහ.
බුදුවරුන්ගේ පෙරබත් කිස කවරේද? පසුබත්කිස කවරේද? එය මෙසේ විස්තර කරනු ලැබේ. භගවත් බුදුරජාණන් වහන්සේ උදෑසනම පිබිද, උවටැන් කරන්නවුන්ට උපකාර පිණිසද, සිරුරට පහසුව පිණිසද, මුව සේදීම් ආදී සිරුරු කටයුතු කොට, පිඬු පිණිස කාලය එළඹෙන තෙක් විවේකීව අසුනක හිඳ සුදුසු කාලයෙහි (අඳනය) හැඳ පටිය බැඳ සිවුරු පොරවා පාත්‍රය ගෙන, ඇතැම් විටක තනිවමද, තවත් විටක බික්සඟන පිරිවරා ද වරෙක නොයෙක් පෙළහර සිදුවෙමින් පවත්නා අතරද, වරෙක එවන් වෙසෙස් බවක් නොමැතිවද ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙති. ඒ තතු කෙසේද යත්, ලොවට පිහිටවන බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වඩිනවිට මුදු සුළං ඉදිරියෙන් ඉදිරියෙන් හමමින් බිම පිරිසිදු කරයි. වළාකුළු දිය මුදාහරිමින් මගෙහි දුවිලි ඉවත්කොට (අහසෙහි) මුදුන්හි වියනක් සේ පැතිර සිටී. සුළඟට පාවී එන මල් මගෙහි විසිරෙයි. බිම උස්ව පිහිටි තැන් පහත් වේ. වලගොඩැලි තැන් උඩට මතුව සම වෙයි. පා තබනවිට බිම සමව පිහිටයි. සුව පහස දෙමින් පියුම් හෝ මතුව පා පිළිගනී. එළිපත්ත අතරෙහි දකුණු පා තැබූ විට සිරුරෙන් සවණක් රැස් නික්ම, මැදුරු, කුළුගෙවල් රන්වන් රත්පැහැ මුසු ගුලාවක් කරමින්, එහා මෙහා දිවෙයි. ඇත් අස් කුරුළු ආදීහු තමන් තමන් සිටි තැන්වලම සිටි මිහිරි ලෙස නාද කරති. එසේම බෙර වීණා ආදී වාදන භාණ්ඩද මිනිසුන් පැළඳි අබරණ ද නද දෙයි. ඒ සළකුණින් මිනිස්සු අද බුදුරදුන් මෙහි පිඬු පිණිස වැඩිසේකැ’යි දැනගනිති. ඔවුහු මැනවින් ඇඳුම් හැඳ-පෙරව සුවඳ මල් ආදිය ගෙන, නිවෙස්වලින් නික්ම, අතුරු විදියට පිවිස, සුවඳ මලින් බුදුන්වහන්සේ ගරු බුහුමනින් පුදා, වැඳ ‘හිමියනි, අපට දසනමක්, අපට විසි නමක්, අපට සියක් නමක් ලබාදෙනු මැනව’යි ඉල්ලා, බුදුරදුන්ගේ පාත්‍රය ද ගෙන, ආසන පනවා මනාව ආහාර පිළිගන්වති.
භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන, සිත්සතන් බලා දහම් දෙසති. එවිට ඇතමෙක් තෙරුවන් සරණ යති, ඇතමෙක් පන්සිල්හි පිහිටති. ඇතමෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි ඵල අතරින් එක් ඵලයකට පත්වෙති. ඇතමෙක් තෙරුවන් සරණ යති, ඇතමෙක් පන්සිල්හි පිහිටති, ඇතමෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි ඵල අතරින් එක් ඵලයකට පත්වෙති. ඇතමෙක් පැවිදිව උසස්ම පලය වූ අරහත් බව ලබති. මෙසේ ඒ ඒ අයුරින් ජනතාවට උපකාර කොට, අසුනින් නැගිට විහාරයට වඩිති. අනෙක් හිමිවරුන් වළඳා අවසන් වනතුරු එහි රවුම් හැඩයට තනා ඇති සාලාවෙහි පනවා ඇති උතුම් බුදු අසුනෙහි වැඩ හිඳිති. හිමිවරුන් වළඳා අවසන් බව උවටැන් කරනු ලබන හිමියෝ උන්වහන්සේට දන්වති. එවිට උන්වහන්සේ සුවඳ කුටියට පිවිසෙති. මේ පෙර බත් කිසයි. මෙහි සඳහන් නොකරන ලද කරුණු බ්‍රහ්මායු සූත්‍රයෙහි දක්වා ඇති අයුරින් දතයුතුය.